B-2 Spirit Bomber ගැන අහල තියනවද?B-2 Spirit කියන්නේ යුධ කටයුතු අරමුණු කරගෙන ඇමෙරිකාවේ Northrop Grumman Corporation විසින් නිෂ්පාදනය කරන ලද ගුවන් යානයක්. Northrop Grumman Corporation කියන්නේ යුධ උපකරණ නිෂ්පාදනයට හොඳ කීර්ති නාමයක් උසුලන සමාගමක්, ඇමරිකාවේ වර්ජිනියා වල තමයි මෙයාලගේ ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන්නේ. මෙම ගුවන් යානයක් අපිට හිතා ගන්නවත් බැරි  ගණනකට තමයි  මිල කරලා තියෙන්නේ, දන්නවද කීයද  කියලා?? ඩොලර් මිලියන 737 ක් ($737 million). හිතා ගන්නත් අමාරුයි නේද??. සාමාන්‍ය මෝටර්  රථ 55,275 ක් මිලදී ගන්න පුළුවන් අපිට මෙම ගුවන් යානයේ වටිනාකමින් !!!

මෙම ගුවන් යානයට පේදුරු තුඩුවේ සිට දෙවුන්දර  තුඩුව දක්වා ගමන් කිරීමට ගත වන්නේ විනාඩි 25කටත් අඩු කාලයක්. ඒ කියන්නේ මෙහි වේගය 1,010 km/h පමණ වෙනවා. ගුවන් යානයේ වේගය පමණක් නොවේ B-2 Spirit තවත් බොහෝ ඇදහිය නොහැකි හැකියාවන්ගෙන් සමන්විත වෙනවා. සාමාන්‍ය ගුවන් යානාවක ස්වරුපයෙන් තරමක් වෙනස් වූ හැඩයකට තමා මෙම ගුවන් යානය නිර්මාණය කරලා තියෙන්නේ. සම්පුර්ණ ලෙස ඉන්ධන පිරවීමකින් පසුව 11,100 km දුරක් ගමන් කල හැකි  අතර අඩි 50,000ක උසකට ගමන් කරන්න පුළුවන්, ඒ කියන්නේ පොළොව මට්ටමේ සිට 15 km පමණ උසක්.

B-2 Spirit Bomber මෙතරම් මිල අධික වන්නට හේතුව දන්නවද? එයට ප්‍රධානතම හේතුව තමයි මෙම ගුවන් යානයට රේඩාර් තරංග වලට හසුනොවී ගමන් කිරීමට ඇති හැකියාව. ඒ කියන්නේ සතුරාගේ ගුවන් කලාපයට රහසේම පැමිණ ප්‍රහාර එල්ල කර පලා යෑමට මෙම ගුවන් යානයට පුළුවන්. කෙතරම් රේඩාර් තරංග මගින් මෙම යානය නිරීක්ෂණය කිරීමට උත්සහ කලද එම උත්සාහය ව්‍යාර්ත වන්නේ මෙම ගුවන් යානය සාදා ඇති අමුද්‍රව්‍ය රේඩාර් තරංග අවශෝෂනය කරගන්නා නිසයි (Radar Absorbent Materials). මෙහි යෝදා ඇති මෙම RAM අමුද්‍රව්‍ය වල ගුණාත්මක බාවය රැක ගැනීම සදහා මෙම ගුවන් යානය නවතා තැබෙන්නේ විශේෂ ලෙස සකස් කල ගුවන් යානා අංගනයකයි.

මෙහි ගුවන් නියමුවන් දෙදෙනෙකු ගමන් කරන අතර අවශ්‍යනම් තුන් වැන්නේකුටද ඉඩ පහසුකම් සලසා ඇත. ඉතා දිගු මෙහෙයුම් කටයුතු වලදී ගුවන් නියමුවන් සදහා විවේක ගැනීමට හැකිවන  අයුරින්  මෙහි නියමු අසුන් නිපදවා තිබෙනවා. ගුවන් යනයේ බර 71,700 kg වන අතර 23,000 kg ක යුධ අවිද, 75,750 kg ක ඉන්ධනද ගෙන යා හැක. ගුවන් යානය ඉහල අහසේ තිබියදීම වෙනත් යානයකින් මෙම යානයට ඉන්ධන සැපයිය හැකි අතර (air to air refueling) මෙම හැකියාව නිසා B-2 Spirit හට ඉතා දිගු මෙහෙයුම් කටයුතු වල නිරත විය හැක.

දැනට ලෝකයේ ඇත්තේ B-2 Spirit Bomber ගුවන් යානා 20ක් පමණයි. Northrop Grumman Corporation විසින් ගුවන් යානා 21ක් නිෂ්පාදනය කලද 2008 වර්ෂයේදී Andersen ගුවන් හමුදා කදවුරේ සිදුවූ අනතුරෙන් එක් ගුවන් යානාවක් විනාශ වී ගියා. 2000 වර්ෂයේදී මෙම ගුවන් යානා නිෂ්පාදනය අවසන් කල අතර 2058 වර්ෂය දක්වා මෙහෙයුම් කටයුතු කිරීමට ඇමෙරිකා ගුවන් හමුදාව බලාපොරොත්තුවෙන් සිටිනවා.