අභිප්‍රේරණය යනු මානසික ක්‍රියාවලියකි. ප්‍රේරණයක් යනු පුද්ගලයින්ගේ ඉටු නොවූ අවශ්‍යතාවයන්ය. ඕනෑම පුද්ගලයෙකු තමන්ගේ ප්‍රයත්නයන් යොදනු ලබන්නේ ඉටු නොවූ අවශ්‍යතාවයන් වෙනුවෙනි. ​ ​ව්‍යාපාර ආයතනයන් තමන් යායුතු දිශාව තීරණය කර එම ඉලක්ක සහ අරමුණු ඉටු කරගැනීම උදෙසා කල යුතු කාර්යයන් හදුනාගෙන ඒවා දෙපාර්තමේන්තු අතර මෙන්ම පුද්ගයන් අතර බෙදා දෙනු ලබයි. එක් එක් පුද්ගලයන් සඳහා වෙන වෙනම පවරා දෙනු ලබන ඉලක්කයන් ආයතනයේ සමස්ත අරමුණු ඉටු කරගැනීම උදෙසා මෙහෙයවිය යුතුය. අභිප්‍රේරණය තුලින් කරනු ලබන්නේ එසේ එක් දිශාවකට සේවකයන් රැගෙන යාම සඳහා චර්යාත්මකව බලපෑමක් ඇති කිරීමයි. අභිප්‍රේරණය යන්නෙන් අදහස් වෙන්නේ යම් පුද්ගලයෙකු යම්කිසි කාර්යක් ඉටු කිරීම සඳහා අන්‍යන්ගේ බලපෑමකින් තොරව තම කැමැත්තෙන්ම හා තෘප්තියෙන්ම ඉදිරිපත්වීම සඳහා යොදා ගන්න අභ්‍යයන්තර මානසික ශක්තීන් ලෙසය. කළමනාකරණයේ වගකීම වන්නේ ආයතනයේ ඉලක්ක සහ අරමුණු දෙසට ස්වකැමැත්තෙන්ම සේවකයන් එක් කර ගැනීමයි. අභිප්‍රේරණය මානසික ක්‍රියාවලියක් වන අතර එය ආරම්භ වන්නේ ඉටු නොවූ අවශ්‍යතාවයන්ගෙනි. ( රූපසටහන 1) ​  

අභිප්‍රේරණය මානසික ක්‍රියාවලිය

රූපසටහන 1

මේ අනුව අභිප්‍රේරණය ක්‍රියාවලිය ආරම්භ වන්නේ ඉටු නොවූ අවශ්‍යතාවයන්ගෙනි. උදාහරණයක් ලෙස සේවකයෙකුට රැකියා උසස්වීමක් පිලිබඳ අවශ්‍යතාවක් හටගනී. මෙය පුද්ගල පාදක මෙන්ම සමාජ අවශ්‍යතා මත ඇති විය හැකිය.  අවශ්‍යතාවය සපුරා ගැනීමට නම් ඔහු මහන්සි වී වැඩ කල යුතු වේ. ආයතනය විසින් මොහුට මාසික, කාර්තු, අර්ධ වාර්ෂික හෝ වාර්ෂික ඉලක්කයක් දෙනු ලැබේ. සේවකයා ඒ අනුව ඉලක්කය හඹා යමින් තමන්ගේ ඉටු නොවූ අවශ්‍යතාවය සපුරාගැනීමට වෙහෙසෙනු ඇත. මොහුට වැඩ කිරීමට අණ දීම අවශ්‍ය නොවේ. මන්ද ඔහු විසින්ම පෙළඹවීමක් ඇති කරගෙන ඇති බැවිනි. ඔහු සාර්ථක ලෙස ඉලක්ක කරා ලඟා වූ පසු රැකියා උසස්වීම ඔහුට ලැබෙනු ඇත. ඒ තුලින් ඔහුගේ අවශ්‍යතාව සම්පුර්ණ වේ. නමුත් මෙම ක්‍රියාවලිය මෙතනින් අවසන් වන්නේ නැත. පුද්ගල අවශ්‍යතාවයන් අසීමිත වී, එක් අවශ්‍යතාවක් ඉටු වූ පසු නැවත නැවත ඉටු නොවූ අවශ්‍යතා රාශියක් පැන නඟි. නමුත්,මානසික තෘප්තිය පමණක් පුද්ගලයාගේ කාර්යපල ඉහල නැංවීමට ප්‍රමාණවත් නොවේ. ඒ සදහා සේවකයාගේ හැකියාව ඉහල මට්ටමක පැවතිය යුතුය. මේ අනුව යහපත් කාර්යපලයන් යනු සේවක අභිප්‍රේරණය සහ හැකියාවේ එකතුවක්ය.

කාර්යපල( performance )= අභිප්‍රේරණය  ( Motivation ) + හැකියාව (Skills)

ඉහත සමීකරණයේ හැකියාවන් වැඩි දියුණු කරගැනීම සේවකයන්ගේ වගකීමකි.හැකියාවන්ට අදාලව තනතුරු පිහිටුවා නිසි පරිදි අභිප්‍රේරණය  කර ඔවුන්ගේ දායකත්වය ලබාගැනීම ව්‍යාපාර කළමනාකරුවන්ගේ වගකීමයි.

අභිප්‍රේරණය  න්‍යායන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.
සංයුක්ත  න්‍යායන් (content theories )
ක්‍රියාවලි  න්‍යායන්  ( process theories )

සංයුක්ත න්‍යායන් (content theories ) යටතේ ප්‍රධාන වශයෙන් යොදාගන්නා න්‍යායන් කිහිපයකි

  1. අවශ්‍යතා දුරාවලි න්‍යාය (Abraham Maslow )
  2. ත්‍රිත්ව අවශ්‍යතා න්‍යාය (David C McClelland )
  3. ද්වීසාධක න්‍යාය (Frederick Herzberg )

ක්‍රියාවලි න්‍යායන් ( process theories )

  1. සාධාරණත්ව න්‍යාය (Stacy Adams )
  2. අපේක්ෂතා න්‍යාය (Victor  Vroom )
  3. පොටර් සහ ලොව්ලර් ආකෘතිය(Porter and Lawler)