පරිගණකය පදනම් කරගත් වත්මන් තරුණ පරපුරේ ඕනෑම කෙනෙක්ට ඇසීමට ලැබෙන වචන යුගලක් ලෙස ‘නර්ඩ් (Nerd)’ සහ ‘ගීක් (Geek)’ දැක්විය හැකිය. විශේෂයෙන්ම ‘ගීක්’ කියන වචනය ලාංකික සමාජ මාධ්‍යය පිටු අතර නිතරම සැරිසන වචනයක් වී ඇත. සමහරවිට ඔබ මෙම වචන දෙකම එකම පුද්ගල ස්වරූපයක් හැදින්වීමට ගනු ලබන සමාන පද ලෙසද වටහා ගෙන සිටීමට ඉඩ ඇත. කෙසේ වෙතත් මෙම වචන ද්විත්වය බොහෝ දුරට සමාන පුද්ගල ස්වරූපයක් හැදින්වීමට යොදා ගනු ලැබුවද, මෙම ස්වරූප අතර කැපීපෙනෙන වෙනස්කම් පවතී.

නර්ඩ් යන්නෙහි තේරුම

නර්ඩ් කියන වචනය ජන වහරට පැමිණෙනුයේ 1940 දී, ග්‍රින්ච් (The Grinch) සහ ලෝරෙක්ස් (The Lorax) වැනි ළමා කතා රචනා කල සුප්‍රසිද්ධ ඇමරිකානු ලේඛක, ඩොක්ටර් සයූස් (Dr Seuss) විසින් ‘පිස්සු පුද්ගලයා (Crazy Person)’ යන තේරුම ගෙන දෙන, ‘නර්ට් (Nert)’ යන වචනය හදුන්වා දීමත් සමඟය. මෙසේ නර්ඩ් යන්න පිස්සු යන තේරුමත් සමඟ සම්භවය වූවත්, වර්තමානයේ පරිගණකය හා වෙනත් තාක්ෂණික කටයුතු වලට ඇබ්බැහි වූවෙකු ලෙස තේරුමක් ලබා දේ. තවද, නර්ඩ්වරු උසස් අධ්‍යාපනය හැදෑරූ උගත් පුද්ගලයන් වේ. එසේම මොවුන්ගේ කථනය, අන් අයගේ සිත දිනා ගැනීම, සාමූහිකත්වය වැනි සමාජ කුසලතා (Social Skills) වල අඩුවක් දක්නට ලැබෙන අතර අධ්‍යාපනයට ඉතා උද්යෝගී වූවන් ලෙස දැක ගත හැකිය.

ගීක් යන්නෙහි තේරුම

ගීක් වචනය ඉංග්‍රීසි භාෂාවට පැමිණෙනුයේ මෝඩයා (Fool) හා විකාර කරන්නා (Freak) යන තේරුම ලබා දෙන ‘Geck’ යන ජර්මානු (German) වචනයෙන් ය. වර්තමානයේ බුද්ධිමත් (Intelligent) එහෙත් විලාසිතා වලට රුචියක් නොදක්වන (Unfashionable) තමාගේ ආකල්ප වලට සමාන ආකල්ප ඇති පුද්ගලයන් පමණක් ඇසුරු කරන චරිත ගීක්වරු ලෙස හුවා දක්වනු ලැබේ. මෙවන් පුද්ගලයින් ඉතා පුළුල් දැනුම් පරාසයකින් හෙබි වූවත්, ඔවුන් යහපත් අධ්‍යාපනික සුදුසුකම් වලින් පිරිපුන් වූවන් නොවේ.

නර්ඩ්වරු සහ ගීක්වරු අතර වෙනස

පහත පරිදි මෙම පුද්ගල ස්වභාවයන් ද්විත්වය අතර චරිතාංගමය වෙනස්කම් පෙන්වා දිය හැකිය.

නර්ඩ්වරු ගීක්වරු
අන්තර්වර්තිකයන් (Introvert) වේ.අන්තර්වර්තික තත්වයෙන් බොහෝ දුරට මිදී ඇත.
ඉතා නිරවද්‍යය ප්‍රකාශ සිදු කරනු ලබන අතර තමා ප්‍රකාශ කරන දෙයට වඩා වැඩි දැනුමකින් හෙබි පුද්ගලයන් වෙති.අන් අයගේ සිත දිනා ගැනීමට පැහැදිලි කිරීම් වලදී සාවද්‍ය තොරතුරුද ප්‍රකාශ කරති. 
තමාට වඩාත් ඵලදායී හා උසස් උපාංග භාවිතා කරනු ලැබේ.නවතම තාක්ෂණික උපාංග භාවිතා කරනු ලැබේ. 
විවිධ භාණ්ඩයන්ගේන් පිරිණු, අවුල් සහගත කාමරයගේ (Messy Rooms) හිමිකරුවන් වෙති.සෘව්‍ය හා දෘශ්‍ය පට (Audio and Video CD), සමරුසටහන් (Autograph), පරිගණක ක්‍රීඩා තැටි (Game CD) වැන්න එකතු කරන්නන් වේ.
ඉතා පිළිවෙල් සහගත ඇදුම් පැළදුම් පළදී.ටීෂර්ට් වැනි ඉතා සැහැල්ලු හා අවිධිමත් ඇදුම් පළදුම් පළදිති.
විද්‍යාඥයින් (Scientists), ඉජිනේරුවන් (Engineers), සංගීතඥයින් (Musicians), මහාචාර්යවරුන් (Professors) වැනි රැකියාවල නිරත වේ.වෙඩ් අඩවි සංවර්ධකයින් (Web Developers), නිර්මාණකරුවන් (Designers), අලෙවිකරුවන් (Marketers) වැනි රැකියා වල නිරත වේ.

අවසාන වශයෙන්

නර්ඩ්වරයෙකු වීම ගීක්වරයෙකු වීමට වඩා වැඩි ආයාසක් ගන්නා කටයුත්තකි. එබවින් ඔබ නර්ඩ්වරයෙකු නම් ඔබ ඉතා ආඩම්බර විය යුතු අතර, නිතර ඔබගේ සමාජ කුසලතා ද වර්ධනය කොට, ඔබට පවතින ප්‍රබල හැකියා වලින් උපරිම ප්‍රයෝජන ගත යුතුය.

නර්ඩිනෝට් හි අපගේ අදහස නම්, ඕනෑම අයෙකුට ගීක්වරයෙක් විය හැකි වන අතර, නර්ඩ්වරුන් ඔවුන්ගේ හැකියාවන් උප්පත්තියෙන් උරුම වූවන් වේ. (Nerds are born, but anybody can try to be a Geek.)