ආරම්භය සහ විකාශනය

නූතන මනෝචිකිත්සනයේ ප්‍රධාන මානසික රෝගයක් ලෙස සැලකෙන Bipolar Affective Disorder හෙවත් ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාවය යන්නෙහි ආරම්භය සිදුවනුයේ 19 වන සියවස ආරම්භයේදීය. වර්ෂ 1854 දී ජූල්ස් බෙයිලාජර් (Jules Baillarger) සහ ජීන් පියර් ෆෝල්රෙට් (Jean Pierre Falret) විසින් පැරීසියේදී Academia de Medicine හි ප‍්‍රථමවරට මේ පිළිබඳව ස්වාධීනව අදහස් ඉදිරිපත් කරන්නට විය.

එහිදී බෙයිලාජර් (Baillarger) විසින් මෙම තත්ත්වය ද්විත්ව ස්වරූපයේ උමතුව හෙවත් Dual form insanity  ලෙසත්  ෆෝල්රෙට් (Falret) විසින්  චක‍්‍රීය උමතුව හෙවත් Circular Insanity ලෙසත් හඳුන්වන්නට විය.

අනතුරුව 19 වන සියවයේ මුල්භාගයේදී ප‍්‍රකට මනෝ චිකිත්සකවරයෙක්ව සිටි එමිල් ක්‍රෙප්ලින් (Emil Kraepelin) විසින් එවකට සමාජයේ ව්‍යාප්තව පැවති යක්ෂයින් ආවේශවීම, මායාත්මක රෝගය හෙවත් භින්නෝන්මාදය (Schizophrenia) සඳහා ‘Manic Depressive Psychosis’ යන නාමය ඉදිරිපත් කරන්නට විය. එහෙත් ක්‍රෙප්ලින්ට උන්මාද සහ විශාද රෝග ලක්ෂණ දෙක ම පවතින පුද්ගලයින් පිළිබඳව පැහැදිලිව හඳුනාගත නොහැකි වූ අතර මෙම තත්ත්වය වර්ෂ 1960 පමණ වන තෙක් ම පැවතුණි.

පසුව වර්ෂ 1980 දී පමණ ‘Manic Depressive Psychosis’ යන නාමය වෙනුවට Bipolar Affective Disorder යන නම ව්‍යවහාරයට පැමිණෙන්නට විය. එහෙත් අද ද ඇතැම් චිකිත්සකවරු පැරණි නාමය ම භාවිතා කරන අවස්ථා ද දක්නට ලැබෙන අතර එයට හේතුව වනුයේ එමගින් රෝගයේ පවත්නා ප‍්‍රධාන රෝග තත්ත්වයන් කවරේද යන්න ඉන් ප‍්‍රකට කෙරෙන නිසාවෙනි.

Bipolar යනු අන්ත දෙකක් යන අර්ථය සහිත වචනයකි. එනම්, මෙම තත්ත්වයේදී පුද්ගල මනෝභාවයන් උන්මාද රෝගයේ උග‍්‍ර මට්ටමටත් විශාද රෝගයේ උග‍්‍ර මට්ටමටත් ගමන් කිරීම දක්නට ලැබේ. එබැවින් සිංහල භාෂාවෙන් මෙම රෝග තත්ත්වය ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාවය ලෙසින් හඳුන්වනු ලැබේ. මෙය සයිකෝෂීය හෙවත් උග‍්‍ර මානසික රෝග තත්ත්වයක් ලෙස සැලකෙයි.

සාමාන්‍ය පුද්ගල මනෝභාවය

මනෝභාව යනු විශ්වසාධාරණ සංකල්පයකි. එනම්, ලෝකයේ සෑම පුද්ගලයෙකු ම බාහිරට පෙන්වන මනෝභාවයන්ගේ වාස්තවික ස්වාභාවයක් පවතී. එනම්, සතුටකදී සිනහාව පළ කිරීමත් දුකකදී දුක්මුසු ස්වාභාවයක් පළ කිරීමත් තරහාව, ලැජ්ජාව, පුදුමය සහ බය වැනි හැඟීමකදී ද සැමට පොදු වූ මුහුණේ ඉරියව් ප‍්‍රකට කෙරේ. එමෙන්ම දෛනික ජීවිතයේදී ද පුද්ගලයා තුළ මෙවැනි මනෝභාවයන් සමතුලිතව පවත්වා ගැනීම ඉතා වැදගත්ය. එනම්, එක් මනෝභාවයක අවස්ථානුකූලව සහ ඉතා අඩු කාලයක් තුළ පමණක් පැවතීම සාමාන්‍ය ස්වාභාවය යි. ඒ අනුව සාමාන්‍ය මනෝභාවයක් සහිත පුද්ගලයකුගේ ස්වාභාවය මෙලෙස දැක්විය හැක.

සාමාන්‍ය පුද්ගල මනෝභාවය

ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාව සහිත පුද්ගල මනෝභාව

එහෙත්  ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාවය සහිත පුද්ගලයෙකුට සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් සමබරව සහ සමතුලිතව තම මානසික ස්වාභාවය පවත්වාගෙන යාම අසීරුය. ඒ අනුව ඔවුන්ගේ මානසික, චර්යාත්මක සහ ප‍්‍රජානනික ලක්ෂණයන් නිරන්තරයෙන් ම වෙනස් වේ. ඒ අනුව ද්වීධ‍්‍රැව මනෝභාවයක් සහිත පුද්ගලයකුගේ ස්වාභාවය මෙලෙස දැක්විය හැක.

ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාව

ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාවයේ ලක්ෂණ

මෙහිදී ප‍්‍රධාන වශයෙන් උන්මාද රෝගයේ සහ විශාද රෝගයේ විවිධ රෝග පරාසයන් හෙවත් උත්සන්නතාවයේ අඩු වැඩිවීම් හඳුනාගත හැකි අතර ඒ අනුව පුද්ගල මානසික සහ චර්යාත්මක ක‍්‍රියාකාරීතවයෙහි වෙනස්කම් ඇති කෙරේ.

ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාවයේ ලක්ෂණ

ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාවයේ ප‍්‍රභේද

පුද්ගලයාගේ  පෞද්ගලික ජීවිතයටත්, වෘත්තීය ජීවිතයටත්, සමාජීය කටයුතු සහ සම්බන්ධතා පැවැත්වීම සඳහා සෘජුව දැඩි බලපෑම් ඇති කරවන මෙය ළමා වියේදී හෝ නව යොවුන් විය මුල් කරගෙන ඇතිවිය හැකි මානසික රෝගී තත්ත්වයකි. ලෝක ජනගහනයෙන් 1% කට පමණ ඇතිවන තත්ත්වයක් වන අතර එහි උග‍්‍ර ස්වාභාවය පුද්ගලානුබද්ධව වෙනස් වේ. ඒ අනුව මෙහිදී ප‍්‍රධාන ලෙස ම ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාවයේ ප‍්‍රභේද කිහිපයක් හඳුනාගත හැකි වේ. එනම්.

ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාවයේ ප‍්‍රභේද
  1. Bipolar Disorder I

මෙම තත්ත්වයේදී මද උන්මාද තත්ත්වයන් එකක් හෝ පැවතිය යුතු අතර එය උග‍්‍ර උන්මාද හෝ උග‍්‍ර විශාද අවස්ථාවකට පෙර හෝ පසුව ඇතිවිය හැක. ඇතැම්විට මෙම උන්මාද ස්වාභාවය නිසා යාථාර්ථය බිදීයා හැක.

  • Bipolar Disorder II

මෙම තත්ත්වයේදී මද උන්මාද තත්ත්වයක් හෝ උග‍්‍ර විශාද අවස්ථාවක් පැවතිය හැකි අතර කිසිවිටෙක උග‍්‍ර උන්මාද තත්ත්වයක් පැවතිය නොහැක.

  • Cyclothymia 

මෙම තත්ත්වයේදී මද උන්මාද තත්ත්වයක් හෝ විශාද තත්ත්වයක් වසර දෙකක් හෝ ඊට වැඩි කාලයක් අඛණ්ඩව ම ළමාවියේදී හෝ යොවුන්වියේදී පැවතිය යුතුය.

  • Other

මෙහිදී දිගුකාලීන උග‍්‍ර ආතතිය, තමාට සමීප ආදරණීය අයෙකු මියයාම, ඇතැම් ඖෂධ, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය, හෘදය ආබාධ සහ ආඝාතය වැනි තත්ත්වයන් හේතුවෙන් පසු කාලීනව ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාවය ඇතිවිය  හැක.

උන්මාද රෝගයේ සායනික ලක්ෂණ

  1. තමන් ඉතා ශක්තිමත් බව දැනීම
  2. ශාරීරික ක‍්‍රියාකාරකම් අධික වීම
  3. චංචලභාවය
  4. අසාමාන්‍ය ලෙස අධිකව ඇති සතුට
  5. ඉතාමත් සුළු දෙයකට වුවද අධික ලෙස ආවේගශීලී වීම
  6. වේගයෙන් සිතිවිලි ගලා ඒම සහ එම සිතිවිලි වේගයෙන් එකිනෙකට මාරුවීම
  7. කථනය වේගවත්වීම
  8. නින්ද නොයෑම
  9. තම හැකියාවන් සහ බලයන් පිළිබඳව අධි තක්සේරුව
  10. නිවැරිදි නොවූ තීරණ ගැනීම
  11. අධික ලෙස අනවශ්‍ය දෑ සඳහා මුදල් වැය කිරීම
  12. දැඩි ලිංගික ආශාව සහ ඒ ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම්වල අධික ලෙස නිරතවීම
  13. මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය
  14. ප‍්‍රචණ්ඩකාරී හා කලහකාරී බව
  15. දෛනික දින චර්යාවේ විශාල වෙනස්කම් ඇතිවීම

මෙවැනි ලක්ෂණ තුනක් හෝ ඊට වැඩියෙන් වැඩි කාලයක් දිගින්දිගට ම පවතී නම් උන්මාද රෝගී තත්ත්වය යැයි රෝග විනිශ්චය කළ හැක.

විශාදය රෝගයේ සායනික ලක්ෂණ

  1. කල්පවතින දුක්මුසු සහ කනස්සලූ ස්වාභාවය
  2. සර්ව අශුභවාදී බව
  3. අපේක්ෂාභංගත්වය
  4. කලකිරීම් ස්වාභාවය
  5. තමා පිළිබඳ වටිනාකම අඩුවීම
  6. සෘණාත්මක ආත්ම සංකල්පයක් පැවතීම
  7. පෙර දී සතුටක් සහ විනෝදයක් ලැබූ පුද්ගලයින්ගෙන් ඈත්වීම
  8. අධික විඩාබර ස්වාභාවය
  9. මතකය  සහ අවධානය අඩුවීම
  10. නිවැරිදි සහ ක්ෂණික තීරණ ගැනීමේ අපහසුව
  11. නින්ද නොයෑම හෝ අධික ලෙස නින්ද යාම
  12. ආහාර රුචිය අඩුවීම් හෝ වැඩිවීම
  13. ශරීර බර අඩුවීම හෝ වැඩිවීම
  14. අහේතුක ශාරීරික වේදනාවන් ඇතිවීම
  15. සියදිවි හානි කර ගැනීමට සිත් ඇතිවීම හෝ උත්සහ කිරීම

මෙවැනි ලක්ෂණ පහක් හෝ ඊට වැඩියෙන් වැඩි කාලයක් දිගින්දිගට ම පවතී නම් විශාදය රෝගී තත්ත්වය යැයි රෝග විනිශ්චය කළ හැක.

ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාව ඇතිවීමට හේතු

මෙම තත්ත්වය ඇතිවීම සඳහා නිශ්චිත හේතුවක් ඉදිරිපත්ව නොමැති අතර පර්යේෂණවලින් අනාවරණය කර ගන්නා ලද සායනික තොරතුරු සහ දත්තයන්ට අනුව මූලික ලෙස හේතු දෙකක් බලපානු ඇත. එනම්, 

ජීවවිද්‍යාත්මක සාධක

ජීවවිද්‍යාත්මක  සාධක  යනු පුද්ගල මොළයේ භෞතික ස්වාභාවය වෙනස්වීමයි. මේ සඳහා ශරීර අභ්‍යන්තරිකව  පවත්නා සෙරටොනින්, ඩොපමීන් වැනි    ස්නායු  සම්ප්‍රේෂක  රසායනිකයන්ගේ වෙනස්වීමත් හෝර්මෝනවල සිදුවන වෙනස්කම් බලපානු ඇත. මීට අමතරව පළමුවරට තමාට ඥාතියෙකු වන දෙමාපියන් හෝ සහෝදර සහෝදරියන් වැනි අයගෙන් ජාන පදනම මත ද මෙම රෝග තත්ත්වය ඇතිවිය හැක.

පාරිසරික සාධක

පාරිසරික සාධක යනු දිගුකාලීනව පවතින මානසික ආතතිය, ඇබ්බැහිගත චර්යාවන් සහ වෙනත් හදිසි ව්‍යසනකාරී අවස්ථාවන් හේතුවෙන් ද  මෙම රෝග තත්ත්වය ඇතිවිය හැක.

ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාව සඳහා ප‍්‍රතිකාර

මෙම රෝග තත්ත්වය සඳහා ප‍්‍රතිකාර වශයෙන් ප‍්‍රධාන ලෙස යොදා ගනු ලබන්නේ ඖෂධ ප‍්‍රතිකාර (Drug Therapy)” මනෝප‍්‍රතිකාර (Psychotherapy)  සහ විද්‍යූත් කම්පන ප‍්‍රතිකාර  (Electro Convulsive Therapy/ECT) යනාදිය යි. එමෙන් ම ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාවයේදී විශාදය සහ උන්මාදය යන රෝග තත්ත්ව ද්විත්වයට ම ප‍්‍රතිකාර කළ යුතු අතර මනෝභාව සමතුලිතව පවත්වා ගැනීම සඳහා ද ඖෂධ ලබාදිය යුතුය. ඒ සඳහා භාවිතා කරන ඖෂධ රැසකි.

ඒවා නම්,

  1. Antidepressants Tablets
  2. Antimanic Tablets
  3. Anticonvulsants
  4. Benzodiazepines
  5. Lithium Carbonate/ Lithium Salt
  6. Valproate / Valproic Acid
  7. Carbamazepine
  8. Lamotrigine
  9. Gabapentin
  10. Topiramate
  11. Oxcarbazepine                                                   
  12. Olanzapine
  13. Lamotrigine
  14. Asenapine
  15. Divalproex
  16. Aripiprazole
  17. Risperidone 
  18. Carbamazepine
  • විෂාදය සඳහා ඖෂධ ප‍්‍රතිකාර කිරීම
විෂාදය සඳහා ඖෂධ ප‍්‍රතිකාර
  • උන්මාදය සඳහා ඖෂධ ප‍්‍රතිකාර කිරීම
උන්මාදය සඳහා ඖෂධ ප‍්‍රතිකාර
  •  මනෝභාව සමතුලනය සඳහා ඖෂධ ප‍්‍රතිකාර කිරීම
මනෝභාව සමතුලනය සඳහා ඖෂධ ප‍්‍රතිකාර
  • ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාව සඳහා මනෝප‍්‍රතිකාර

සාමාන්‍යයෙන් මෙවැනි රෝගී තත්ත්වයකදී එක්වරම මනෝප‍්‍රතිකාර ලබා දීමට නොහැකි වන අතර යම්කිසි කාලයක් අඛණ්ඩව ඖෂධ ප‍්‍රතිකාර ලබා ගනිමින් රෝගයේ උත්සන්න ස්වාභාවය අවම මට්ටම කරා පැමිණෙන විට රෝගියා මනෝ ප‍්‍රතිකාර සඳහා යොමු කළ හැකි වේ. එහිදී බොහෝවිට මනෝ ප‍්‍රතිකාර වශයෙන් Talk Therapy, Cognitive Behavior Therapy (CBT), Interpersonal and social rhythm Therapy, Stress reduction Techniques, Relaxation වැනි දෑ යොදා ගනු ලබන අතර ප‍්‍රතිකාරකවරයාගේ අත්දැකීම් සහ පළපුරුද්ද මත මනෝප‍්‍රතිකාර ක‍්‍රම වෙනස්වීමට හැකියාවක් පවතී.

ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාව සහ බහුවිධ ප‍්‍රවේශයන්ගේ මතවාද

  • මනෝවිශ්ලේෂණවාදී ප‍්‍රවේශය

උන්මාදීය සහ විශාදීය අවස්ථා කෙරෙහි බලපාන ප‍්‍රධානතම හේතුව වනුයේ පුද්ගල මනසේ  පවත්නා ආත්ම සංකල්පයේ දුර්වලත්වයයි. විශාදීය අවස්ථාවේදී මෙය දැඩිව දක්නට ලැබෙන අතර අවිඥානිකව මරණාශය අරමුණු කොට ක‍්‍රියාත්මක වේ. උන්මාදීය අවස්ථාවේදී එයට එරහිව දැඩි ආත්ම සංකල්පයක එල්බ ගෙන අවිඥානිකව ජීවනාශය අරමුණු කොට ක‍්‍රියාත්මක වේ.

  • ගතිලක්ෂණ පිළිබඳ ප‍්‍රවේශය

මෙහිදී උන්මාදයට හා විශාදයට ආවේණික වූ ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාවයට අයත් කායික, මානසික, චර්යාත්මක හා ප‍්‍රජානනික වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කෙරේ.

  • ජීවවිද්‍යාත්මක ප‍්‍රවේශය

මෙහිදී ඩොපමීන්, සෙරටොනින්, නෙරැප්‍රිනෙෆ්‍රින් වැනි ස්නායු රසායනික සම්ප්‍රේෂකයන්ගේ අඩුවීමක් හෝ වැඩිවීමක් හේතුවෙන් මෙම රෝගය ඇතිවන බව පෙන්වාදෙයි.

  • මානුෂවාදී හා සාංදෘෂ්ටිකවාදී ප‍්‍රවේශය

යම් පුද්ගලයෙකුට ඔහු තුළ ජීවත්වන සැබෑ පුද්ගලයා තවත් අයෙකු මත නවත්වා ගැනීමට හෝ බාහිරට මතුවීමට බාධා කිරීමට සිදු වී නැවත ඔහු ලිහිල් කිරීමට පෞද්ගලිකව හෝ බාහිරින් බලපෑම් එල්ල වනවිට ආත්ම සාක්ෂාත්කරණය කරා යනු වෙනුවට ඔහු තුළ පැවති සිහින, ආශාවන්, ප්‍රේරණයන් සහ විභ්‍යවතාවයන් ඉටු නොවීයාම නිසා මානසිකව හටගන්නා පරාරෝපණය හේතුවෙන්  ඇතිවන තත්ත්වයකි.

  • චර්යාත්මක සහ සමාජ ඉගෙනුම් ප‍්‍රවේශය

මෙම තත්ත්වය උගත් චර්යාවන්ගේ ප‍්‍රතිඵලයක් වන අතර කාලයත් සමඟ එම චර්යා ශක්තිමත් වීම මත රෝගය උග‍්‍ර මට්ටමට පැමිණේ.

  • ප‍්‍රජානන ප‍්‍රවේශය

උන්මාද අවස්ථාවේදී පුද්ගලයාට නිතරම තමා උසස් අයෙකු ලෙසත්  ඕනෑම දෙයක් සිදු කළ හැකි ලෙසත් විශාද අවස්ථාවේදී ආත්ම සංකල්පයට් විරුද්ධ වූ සෘණාත්මක සිතිවිලිත් ඇතිවී සියල්ල අත්හැරීමට සහ මඟහැරීමට පෙළඹවීමක් ඇති කෙරේ.

ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාව නැවත ඇතිවීම වළක්වා ගැනීම

සාමාන්‍යයෙන් මෙම රෝග තත්ත්වය සඳහා අඛණ්ඩව ප‍්‍රතිකාර ගත යුතු අතර ප‍්‍රතිකාර ගැනීමේදී එහි උග‍්‍ර තත්ත්වය ක‍්‍රමයෙන් අවම වී ගොස් නැවත ඇත්විමේ ස්වාභාවයක් පවතී. එබැවින් මෙහිදී විශේෂයෙන් ම පැවතිය යුතු පවත්වාගත යුතු කාරණා කිහිපයක් පවතී. ඒවා නම්,

  1. පවුලේ සාමාජිකයින් තුළ රෝගියාගේ ස්වාභාවය සහ රෝගයේ ස්වාභාවය පිළිබඳව මනා දැනුවත්භාවයක් පැවතිය යුතුය.
  2. රෝගියාගේ වෙනස්කම් පිළිබඳව මනා වැටහීමක් පැවතීමෙන් නැවත ප‍්‍රාථමික මට්ටමේ රෝග ලක්ෂණ මතුවන අවස්ථාවකදී එය පහසුවෙන් හඳුනා  ගෙන ඒ සඳහා සුදුසු ක‍්‍රියාමාර්ග ගැනීමෙන් රෝගය උත්සන්නවීම වළක්වාගත හැක.
  3. විශාදය සහ උන්මාද රෝග තත්ත්වයන් ද්විත්වයට ම ප‍්‍රතිකාර ගත යුතුය.
  4. රෝගියාගේ කැමැත්තට හෝ හිතුමනාපයට අනුව ඖෂධ නතර නො කළ යුතුය.
  5. පුහුණුවලත් වෛද්‍යවරයෙකුගෙන් ප‍්‍රතිකාර  ලබා ගත යුතුය.
  6. රෝගියා සමඟ පවුලේ සාමාජිකයින් ද වෛද්‍යවරයා හමුවීමට යා යුතුය.

ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාවයෙන් ලොව ජයගත් විද්වතුන්

  1. Fredrick Handel සහ Ludwig Von Beethoven වැනි සුප‍්‍රකට කලාකරුවන්
  2. Isaac Newton වැනි විද්‍යාඥයින්
  3. Mark Twain වැනි ලේඛකයින් 
  4. Jean Claude Van Dame සහ Jim Carey වැනි සුප‍්‍රකට හොලිවුඞ් නළුවන්
  5. Theodore Roosevelt සහ Winston Churchill වැනි රාජ්‍ය නායකයින්

මේ අනුව නූතන මනෝවිද්‍යාව සහ මනෝ ඩවෛද්‍ය විද්‍යාව තුළ උග‍්‍ර මානසික රෝග කාණඩයට අයත් මනෝභාව වෙනස්වීම මත පදනම්ව ඇත්වන මානසික රෝගී තත්ත්වයක් ලෙස ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාවය හඳුනාගත හැකි වේ. එමෙන් ම මේ සඳහා ඖෂධ ප‍්‍රතිකාර ප‍්‍රධාන තැනක් ගනු ලබන අතර රෝගයේ රෝග මට්ටම අනුව මනෝප‍්‍රතිකාර ද ලබා ගනිමින් සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් ම දෛනික ජීවිතයේ වැඩකටයුතු සහ සම්බන්ධතා පැවැත්වීම් වැනි සමාජ කුසලතා වර්ධනය කරගනිමින් සමබර සෞඛ්‍යමත් ජීවන රටාවක් පවත්වා ගැනීමට හැකියාවක් පවතින බව පැවසීම යුක්ති යුක්තය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  1. A Brief history of bipolar disorder. (1995). Retrieved Retrieved on August 21, 2019, from      http://www.caregiver.com/channels/bipolar/articles/brief_history.htm
  2. Bipolar disorder. (2008). Retrieved Retrieved on August 21, 2019,  from http://www.nimh.nih.gov/health/publications/bipolar-disorder/complete-index.shtml
  3. Bipolar Disorder. (n.d.). Mayo Foundation for Medical Education and Research, Retrieved Retrieved on August 21, 2019, from http://www.mayoclinic.org/diseases-conditions/bipolar-disorders/symptoms-causes/syc-20355955
  4. Bowden, C. (2010). Cognitive Dysfunction in Bipolar Disorder: A Guide for Clinicians. The American Journal of Psychiatry, 167(2), 223.  Retrieved on August 21, 2019, from Platinum
  5. Burton, Neel, M. D. (2012). A short History of Bipolar Disorder, Retrieved Retrieved on August 21, 2019, from http://www.google.com/amp/s/www.psychologytoday.com/us/blog/hide-and-seek/201206/short-history-bipolar-disorder%3famp
  6. Cavanagh, J., Schwannauer, M., Power, M., & Goodwin, G. (2009). A novel scale for measuring    mixed states in bipolar disorder. Clinical Psychology & Psychotherapy, 16(6), 497-509. doi:10.1002/cpp.633.
  7. Duffy, A. (2009). The Early Course of Bipolar Disorder in Youth at Familial Risk. Journal of the Canadian Academy of Child & Adolescent Psychiatry, 18(3), 200-205. Retrieved from Academic Search Complete database.
  8. Friedman, S. (2009). Postpartum Mood Disorders: Genetic Progress and Treatment Paradigms. The American Journal of Psychiatry, 166(11), 1201-4.  Retrieved on August 21, 2019, from Platinum Periodicals. (Document ID: 1895160381).