අප සමාජය තුළ පරිගණක ක්‍රීඩා (eSports) සාමාන්‍යයෙන් වඩාත් ප්‍රචලිත වී ඇත්තේ පිරිමි ළමුන්ගේ විනෝදාංශයක් ලෙසය. නමුත් WCG (World Cyber Games) වැනි අන්තර්ජාතික වශයෙන් පවත්වනු ලබන පරිගණක ක්‍රීඩා උළෙලන්හි දස දහස් ගණන් ප්‍රේක්ෂකයින් අතර විශාල කාන්තා නියෝජනයක් සිටීම මෙන්ම එම තරඟවලට ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය මගින් වර්තමානයේ පරිගණක ක්‍රීඩා පිරිමි මෙන්ම් ගැහණු දරුවන්ගේද විනෝදාංශයක් බව මනාව පිළිඹිබු වේ. එලෙසම ලංකාවේ විවිධ නගරයන්හි Dialog හා SLT වැනි ආයතන විසින් පවත්වනු ලබන පරිගණක ක්‍රීඩා තරඟයන්හි පවතින කාන්තා නියෝජනයේ ප්‍රවණතාව ශ්‍රී ලාංකික දැරියන්ගේ පරිගණක ක්‍රීඩා නැඹුරුතාවය පෙන්නුම් කරයි. මෙය දියුණු වෙමින් පවතින රටක් ලෙස ලංකාවේ යහපත් කාන්තා පරිගණක සාක්ෂරතාවය (Computer Literacy of Women) පෙන්වනු ලබන දර්ශකයක් (Indicator) ලෙස හැඳින්වීමටද පිළිවන.

පරිගණක ක්‍රීඩා වල නිරත වීම හුදෙක් විනෝදාංශයක් ලෙස සැළකීමට නොහැකි වනුයේ පරිගණක ක්‍රීඩා වල නිරත වීම අද වෘත්තියක් ලෙස පැවතීමයි. එලෙසම ස්ටෆර්ඩ්ශයර් විශ්ව විද්‍යාලය (Stafforshire University) වැනි අන්තර්ජාතික විශ්ව විද්‍යාල මගින් පිරි නමනු ලබන BA (Hons) in Esports උපාධි පාඨමාලවලට සහභාගීවී පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයටම වෙන්වු රැකියාවල නියලෙන විශාල කාන්තා වෘත්තිකයින් ප්‍රමාණයක් ක්ෂේත්‍රය තුළ දැකගත හැකිය.

පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය වඩාත් කැපී පෙනෙන අවස්ථාවක් නම් පරිගණක ක්‍රීඩා අලෙවිකරණයයි (Marketing). පරිගණක ක්‍රීඩා මෘදුකාංග (Software), දෘඩාංග (Hardware) අලෙවි ප්‍රවර්ධනය මෙන්ම පරිගණක ක්‍රීඩා සමාලෝචන (Reviews) හා උපදෙස් දීම වැනි ක්‍රියාවන්ට  කාන්තාවන් ඉතා සාර්ථකව සිය දායකත්වය ලබා දෙනු ලැබේ. එබැවින් යුටියුබ් හි පරිගණක ක්‍රීඩා පිළිබඳව පවතින සුප්‍රසිද්ධ යුටියුබ් නාලිකා (Youtube Channel) වල හිමිකරුවන් කාන්තාවන් වීම අරුමයක් නොවේ.

යුටියුබ් හි ජනප්‍රිය ගැහැණු පරිගණක ක්‍රීඩිකාවන් (Female Gamers) කිහිප දෙනෙකුගේ නාලිකා ලැයිස්තුවක් පහත දැක්වේ.

SSSniperWolf (එස්-එස්-ස්නයිපර්-වුල්ෆ්)

2013 සිට යුටියුබ් හි පරිගණක ක්‍රීඩා පිළිඹඳ විඩියෝ නිර්මාණය කර ඇති SSSniperWolf නොතහොත් ලියා (Lia) මහත්මිය, එංගලන්ත ජාතික තරුණියෙකි. ඇයගේ යුටියුබ් නාලිකාව GTA 5, Call of Duty, OverWatch වැනි ක්‍රීඩා වලට අදාළ විඩියෝ වලින් අඩංගු වේ. මීට අමතරව, රූපලාවන්‍යය හා ඉවුම් පිහුම් වැනි පරිගණක ක්‍රීඩා වලින් පරිබාහිර වීඩියෝද ඇය විසින් නිර්මාණය කොට ඇත.


iHasCupquake (අයි-හෑස්-කප්-ක්වේක්)

iHasCupquake යුටියුබ් නාලිකාව ටිෆනි ගර්ෂියා (Tiffany Garcia) මහත්මිය විසින් 2010 සිට පවත්වාගෙන එනු ලබන අතර මෙමගින් ඇය යුටියුබ් පරිශීලකයින්ගේ ඉමහත් ආදරයට හා ප්‍රසාදයට ලක්විය. ඇමරිකානුවෙකු වන මෙම යුටියුබ් සුපිරි තරුව, World of Warcraft, Minecraft, League of Legends, The Sims වැනි ක්‍රීඩා පිළිබඳව විඩියෝ නිර්මාණය කර ඇත.


Sqaishey Quack (ස්කයිෂේ ක්වාක්)

බෙතානි බේට්ස් (Bethany Bates) මහත්මිය විසින් පවත්වාගෙන යනු ලබන Sqaishey Quack නාලිකාව මිලියනකට ආසන්න යුටියුබ් පරිශීලකයන් විසින් නිතර පරිශීලනය කරන අතර ඇය මෙම නාලිකාවට අමතරව සංගීතමය යුටියුබ් නාලිකාද පවත්වාගෙන යමින් ජනාදරයට පත්වී ඇත. Lego Pirates of the Caribbean, Kirby and the Rainbow Paintbrush, Club Penguin Island, The Sims 3 වැනි පරිගණක ක්‍රීඩා මෙම නාලිකාව තුල සමාලෝචනය කොට ඇත.


YogsLomadia (යොගොස්-ලොමාඩියා)

YogsLomadia යුටියුබ් නාලිකාව එක්සත් රාජධානියේ වාසය කරන හැනා රදර්ෆර්ඩ් (Hannah Rutherford) මහත්මිය විසින් 2009 සිට පවත්වා ගෙන යනු ලබන මිලියනයකට අධික පරිශීලක සංඛ්‍යාවකින් සමන් විත යුටියුබ් නාලිකාවකි. Resident Evil, Assassin’s Creed, Metro Exodus,The Walking Dead වැනි ක්‍රීඩා ඇයගේ යුටියුබ් නාලිකාවේ විශේෂාංග ලෙස ගෙන හැර දක්වා ඇත.


Gaming With Jen (ගේමින් විත් ජෙන්)

ජෙනිෆර් ෆ්ලැග් (Jennifer Flagg) මහත්මිය විසින් නිර්මාණය කොට ඇති Gaming with Jen නාලිකාව තුළ Roblox හා Minecraft වලට අදාළ වීඩියෝ සමන්විත වේ. ඇයගේ මෙම යුටියුබ් නාලිකාව මිලියන 5කට වැඩි අනුගාමිකයින්ගෙන් ප්‍රාසාදයට පත්වී ඇත.


LDShadowLady (එල්-ඩි-ෂැඩොව්-ලේඩි)

ලිසී (Lizzie) මහත්මිය, බ්‍රිතාන්‍යය ජාතික පරිගණක ක්‍රීඩා යුටියුබ් බ්ලොගර්වරියෙකි. ඇයගේ LDShadowLady නාලිකාව Minecraft, The Sims, World of Warcraft, Call of Duty ආදී ක්‍රීඩා කරන අයුරු පෙන්වා දෙනු ලබන වීඩියෝවලින් යුක්ත අතර බිලියනයකට අධික නැරඹීම් ප්‍රමාණයකට ඇගේ වීඩියෝවන් උරුමකම් දී ඇත.


Stacyplays (ස්ටේසි-ප්ලෙයිස්)

Stacyplays නාලිකාව ප්‍රධාන වශයෙන්ම Minecraft පිළිබඳ වීඩියෝවන් අඩංගු යුටියුබ් නාලිකාවකි. මෙම නාලිකාව පවත්වාගෙන යනු ලබන්නේ ඇමරිකානු ජාතික ස්ටේසි හිනොජෝසා (Stacy Hinojosa) මහත්මිය විසිනි. 


KittyKatGaming (කිටී-කැට්-ගේමින්)

තවත් ඇමරිකානු ජාතික තරුණියක් විසින් 2014 සිට පවත්වාගෙන යනු ලබන KittyKatGaming නාලිකාව ඉතා සිත් ඇද ගන්නා සුළු පරිගණක සජීවීකරණයෙන් (Animated) තැනූ කෙටි කතාවන් හා Monster Hunter වැනි ක්‍රීඩා පිළිබඳ විඩියෝ දර්ශණවලින් සංයුක්ත වේ. මෙම යුටියුබ් නාලිකාවේ නිර්මාතෘ වන්නේ සුසෑන් බර්හෝ (SuzanneBerhow ) මහත්මියයි. ඇය පූසන්ට ඉතාමත් කැමති තැනැත්තියක් විය යුතුය.


Aphmau (ඇප්හ්ම)

බිලියන 2කට අධික යුටියුබ් නැරඹීම් ප්‍රමාණයකින් හෙබි Aphmau නාලිකාව ඇමරිකාවේ හූස්ටන් නගරයේ වාසය කරන ජෙසිකා බ්‍රාවුරා (Jessica Bravura) මහත්මිය විසින් පවත්වා ගෙන යනු ලබන පරිගණක ක්‍රීඩා පිළිබඳ වීඩියෝ අඩංගු නාලිකාවකි. මෙම නාලිකවේ කතාබස් කරනි ලබන ක්‍රීඩා නම් Minecraft, Monster Prom, Gacha Life. මීට අමතරව ඇය තවත් යුටියුබ් නාලිකා රැසකට සිය දායකත්වය සපයයි.

අවසාන වශයෙන්…

පරිගණක ක්‍රීඩාවන්හි නිරතවීම පිරිමින්ට පමණක් උරුම වූවක් නොවේ. කාන්තාවන්ද මෙම ක්ෂේත්‍රය තුළ විශාල මෙහෙවරක් කරන අතර ඉහත සඳහන් යුටියුබ් නාලිකා ඊට මානා නිදසුන් වේ. නමුත් සිය නිවසේ කටයුතුත් සමඟ පරිගණක ක්‍රීඩාවල නිරත වීමට කාන්තාවන්ට කාලයක් ලබා ගැනීම ඉතා අපහසුය. එබවින් වඩාත් වැදගත් වනුයේ පරිගණක ක්‍රීඩා ස්වයං-පාලනයකින් තම දෛනික දිවියට හානියක් නොවන පරිදි මුසු කර ගැනීමයි.