භාවනාව පිළිබඳව හැඳින්වීම හා එහි නිර්වචන

බෞද්ධ මනෝවිද්‍යාව තරම් මිනිස් සිත හෙවත් මනස පිළිබඳව කතා කරන තවත් විද්‍යාවක් හෝ දර්ශනයක් තවත් නැති තරම් ය. සිත යනු ඉතා ප‍්‍රබල හා විශ්මයජනක දෙයක්වන අතර සිත නිරන්තරයෙන් ම ක‍්‍රියාත්මකව පවතී. එනම්, මිනිස් සිත සෑම මොහොතකදී ම රූප, ශබ්ද, ගන්ධ යනාදි අරමුණු ෂඞ් ඉන්ද්‍රියන් ඔස්සේ ලබා ගනිමින් අරමුණෙන් අරමුණට ගමන් කරමින් ක‍්‍රියාත්මකව පවතී. මෙම සිත පිළිබඳව කතා කරන විට නිතැතින් ම ඒ සමඟ සම්බන්ධවෙමින් සිහියට නැගෙනුයේ භාවනාව යි. භාවනාව පිළිබඳ ඉතිහාසය ඉතා ඈතට විහිදී යන අතර ඒ හරහා වර්ධනය වූ උසස් සිත් පිළිබඳව ද සාකච්ඡුා බොහෝ ය. ලොව වසන අන් සියලූ ම සත්ත්වයන් අතුරින් මිනිසා වෙනස් වනුයේ ද ඔහු සතු මෙම උසස් මනස හේතුවෙනි. එබැවින් මිනිස් මනස දියුණු කරවන ක‍්‍රමවේදයක් ලෙස භාවනාව හැඳින්විය හැක.

භාවනාව යනු නාම පදාර්ථ සහිත වචනයකි. එහි ක‍්‍රියා පද ස්වරූපය වනුයේ “භාවෙති” යන්නයි.  එහි අර්ථය වනුයේ වර්ධනය හෙවත් දියුණු කිරීම යන්නයි. මෙලෙස වර්ධනය කරනුයේ කුසල් ය.  කුසල් යනු පුද්ගල සිතෙහි පවත්නා ලෝභ, ද්වේශ හා මෝහ යන අකුසල මූලයන් මැඩපවත්වමින්  වර්ධනය කර ගනු ලබන අලෝභ, අදෝශ සහ අමෝහ යනාදි මානසික ස්වාභාවයන් ය. සාමාන්‍ය සමාජය තුළ මෙය මනස දියුණු කිරීම ලෙසින් හඳුන්වනු ලබයි. ඒ අනුව භාවනාව යනු උක්ත අකුසල දුරුකොට කුසල් වර්ධනය සහ ඒවා පවත්වා ගැනීම සඳහා සිදු කෙරෙන මානසික අභ්‍යාසයකැයි සරලව නිර්වචනය කළ හැකි වේ. මේ හේතුවෙන් ලෝකය තුළ එදා මෙදාතුරව විවිධ ආගමික සම්ප‍්‍රදායානුකූලව භාවනාව යන අභ්‍යාසය භාවිතයේ පවතී. ඒ අනුව භාවනාව පිළිබඳව ලෝ පුරා බහුවිධ නිර්වචනයෝ ඉදිරිපත් කර ඇත.

මලලසේකර ඉංග‍්‍රීසි සිංහල ශබ්දකෝෂයෙහි සඳහන් වන පරිදි භාවනා කිරීම යනු “යම් කිසිවක් කේන්ද්‍රය කරගනිමින් සිත යොමු කිරීම, සිතින් සැලසුම් කිරීම” යන්නයි.

නව ලෙක්සිකොන් වෙබ්ස්ටර් ශබ්දකෝෂයට අනුව භාවනාව යනු “යම් ආගමික සම්බන්ධාතාවයකින් යුතුව ගැඹුරට විහිදුවන ලද සිතිවිලි ඇති අධ්‍යාත්මික අභ්‍යාසයකි.”

බ්‍රිටැනිකා විශ්වකෝෂයෙහි සඳහන් වන පරිදි භාවනාව යනු “ශාරීරික සන්සුන්බව හෝ අධ්‍යාත්මික සංවර්ධනය වැඩිදියුණු කිරීමෙහිලා විවිධ ක‍්‍රම ඇතුළත් වූත් ඒ සඳහා පෞද්ගලිකව අනුබල ලබාදෙන කිසියම් කැපවීමක් හෝ මානසික ව්‍යායාමයකි.”

ඒ අනුව බටහිර අර්ථකථනයන්ට අනුකූලව භාවනාව යනු භෞතික ශරීරය ගැඹුරු සංයමයකට පත්කිරීමෙන් හා කවරාකාර හෝ සිතිවිලි මනසට නො එන පරිදි එය හිස්කොට තබා ගනිමින් ස්වාභාවික ම සිතිවිලිවලින් මිදීම අරමුණු කරගත් අභ්‍යාසයකි. මෙම තත්වය පුද්ගල කුසලතාවය මත තත්පර කිහිපයක සිට පැය ගණනක් හෝ දින ගණනක් දක්වා වුවද පවත්වා ගත හැකි වේ.

බෞද්ධ දර්ශනයට අනුව භාවනාව යනු සිත දියුණු කිරීමේ සමස්ත ක‍්‍රියාවලිය යි. මෙකී බෞද්ධ සන්දර්භය තුළ ඇති භාවනාව පිළිබඳ සංකල්පයට අනුව භාවනා කරනු ලබන පුද්ගලයා සක‍්‍රීය අයෙකු ලෙස හඳුනාගත හැක. එනම්, බෞද්ධ භාවනාවේදී මිනිස් සිත යෝජිත අරමුණක පිහිටුවා එය එම අරමුණෙහි ම පවත්වා ගැනීම සිදු කරයි. මෙය කමටහන ලෙස හැදින්වේ. ඒ අනුව මෙලෙස සිත එක අරමුණක නාභිගත කිරීම සඳහා බහුවිධ භාවනා ක‍්‍රම බුදුදහම තුළ භාවිතා කෙරේ. ඒ අතර සමථ සහ විදර්ශනා භාවනාව ප‍්‍රධාන වේ. මීට අමතරව මෛත‍්‍රී භාවනාව, අසුබ භාවනාව, අනුස්සති භාවනා, කසිණ භාවනා යනුවෙන් කිහිපයකි. මේ අතුරින් පුද්ගලයාගේ චරිත ස්වාභාවය මත ඔවුන්ගේ සිත සංයමයට හෙවත් භාවනාවට පත් කිරීම සඳහා වැදගත්වන භාවනා ක‍්‍රමයක් ලෙස “කසිණ භාවනා” හැඳින්විය හැක.

කසිණ භාවනා පිළිබඳ හැඳින්වීම

කසිණ භාවනාව යනු සිත එකඟ කර ගැනීම හෙවත් චිත්ත ඒකාග‍්‍රතාවය ඇති ගැනීමේ භාවනා ක‍්‍රමයකි. මෙමගින් අදහස් කරනුයේ භාවනා කරන්නාගේ මනස නිරවුල් කිරීමකි. මෙය විවිධ ආගමික සම්ප‍්‍රදායන්හී සමථ, ධ්‍යාන හා ඣාන ලෙසින් ද හඳුන්වනු ලබයි. පාරිභාෂික ශබ්දාර්ථයෙන් ගත් කළ කසිණ යනු සාකල්‍ය, සම්පූර්ණ, සමස්ත යන අර්ථය ගෙනදෙන වචනයකි. මේ පිළිබඳව බුදුදහම, පාලි, හින්දු සහ සංස්කෘත ව්‍යවහාරය තුළ බහුවිධ අර්ථ ඉදිරිපත් කෙරෙන අතර සාහිත්‍යානුකූලව ද (විමුක්තිමග්ගය හා විශුද්ධිමග්ගය) බෞද්ධාගමික සම්ප‍්‍රදායන් (තායිලන්ත ක‍්‍රමය හා බුරුම ක‍්‍රමය) තුළ ද මෙය විවිධාකාරයෙන් භාවිතා වේ.

පාලි ත‍්‍රිපිටකයෙහි සඳහන්වන පරිදි කසිණ භාවනාව සඳහා යොදා ගැනෙන කසිණය යනු දෘශ්‍ය භාවනාත්මක වස්තුවකි (Visual Meditation Object). එනම්, මනස ඒකාග‍්‍ර කර ගැනීම සඳහා උපකාරීවන දර්ශීය වශයෙන් පවත්නා අර්ධ හෝ කවාකාර හෝ උපකරණයකි. එහෙත් එහි බාහිර හැඩය නිශ්චිත කළ නො හැක. මේ අනුව කසිණ ප‍්‍රභේද දහයකි. එනම්,

1. පඨවි කසිණ        

පළමුව අරුණ වර්ණ පඨවි ස්වරූපයෙන් යුක්ත වස්තුවක්, කසිණයක් හෙවත් පරිකම්ම නිමිත්තක් ලෙස ගෙන ඒ දෙස බලා ක‍්‍රමයෙන් “පඨවි” යනුවෙන් ප‍්‍රකාශ කරමින් කසිණය දෙස ම  එකඑල්ලේ බලමින් සිටින අතර දෑස වැසීමෙන් පසු උක්ත කසිණය දිස්වීම “උග්ගහ නිමිත්ත” ලෙස හැඳින්වේ. මෙහිදී පඨවි ස්වාභාවය පමණක් සැලකිල්ලට ගත යුතු අතර වර්ණය නොසලකා හැරිය යුතුය. මෙය අඛණ්ඩව කිරීමෙන් පසුව කාලානුරූපීව දෑස් වසා සිටියදී සජීවී රූපයක් ලෙසින් කසිණය දිස්වන අතර එය පටිභාග නිමිත්ත ලෙස හඳුන්වනු ලබයි. මෙය  ඕනෑ ම ස්ථානය සිට සිදු කළ හැකි අතර පුහුණුව සමඟ කසිණය දිස්වන ආකාරයේ සජීවී ස්වාභාවය වැඩි වේ.

2. ආපෝ කසිණ

මෙහිදී කසිණය ලෙස යොදා ගනු ලබන්නේ පිරිසිදු ජලය යි. බිමට පතිත නොවන සේ ජලය භාජනයකට ගෙන ඇස සහ සිත “ආපෝ” යන වචනය උච්චාරණය කෙරෙහි අවධානය යොමු කරමින් කසිණය මෙනෙහි කළ යුතු අතර එවිට ක‍්‍රමයෙන් කාලානුරූපීව පරිකම්ම, උග්ගහ සහ පටිභාග නිමිත්ත ඇති වේ.

3. තේජෝ කසිණ

මෙහිදී කසිණය ලෙස  ගින්දර යොදා ගැනෙන අතර වියතක් සහිත රෙදි කැබැල්ලක් ගෙන අගල් හතරක පමණ සිදුරක් කපා ඒ තුළින් ගින්දර දෙස බලනු ලබයි. අනතුරුව ඒ දෙස බලමින් ඇස සහ සිත “තේජෝ” යන වචනය උච්චාරණය කෙරෙහි අවධානය යොමු කරමින් කසිණය මෙනෙහි කළ යුතු අතර එවිට ක‍්‍රමයෙන් කාලානුරූපීව පරිකම්ම, උග්ගහ සහ පටිභාග නිමිත්ත ඇති වේ.

4. වායෝ කසිණ

මෙහිදී උණ ශාකයක හෝ උක් ශාකයක පත‍්‍ර සුළඟින් සෙලවෙන ආකාරය දෙස අරමුණු කරමින් “වායෝ” යන වචනය උච්චාරණය කෙරෙහි අවධානය යොමු කරමින් කසිණය මෙනෙහි කළ යුතු අතර එවිට ක‍්‍රමයෙන් කාලානුරූපීව පරිකම්ම, උග්ගහ සහ පටිභාග නිමිත්ත ඇති වේ.

5. නීල කසිණ, පීත කසිණ, ලෝහිත කසිණ,  ඕධාත කසිණ

මෙහිදී පිළිවෙලින් නිල්, කහ, රතු සහ සුදු යන වර්ණ සහිත මල් හෝ කඩදාසි වලින් සැකසූ කසිණයක් ගෙන “නීලං” හෝ “පීතකං” හෝ “ලෝහිතකං” හෝ “ ඕධාතකං” යන වචනය උච්චාරණය කෙරෙහි අවධානය යොමු කරමින් කසිණය මෙනෙහි කළ යුතු අතර එවිට ක‍්‍රමයෙන් කාලානුරූපීව පරිකම්ම, උග්ගහ සහ පටිභාග නිමිත්ත ඇති වේ.

6. ආලෝක කසිණ

මෙහිදී ගස් අතුරින් බිමට වැටෙන ආලෝකයක් හෝ කළයක සිදුරක් සාදා ඒ තුළ පහනක් දල්වා එම ආලෝකය බිත්තියට වැටෙන ආකාරය දෙස බලා “ආලෝකෝ” යන වචනය උච්චාරණය කෙරෙහි අවධානය යොමු කරමින් මෙම කසිණය මෙනෙහි කළ යුතු අතර එවිට ක‍්‍රමයෙන් කාලානුරූපීව පරිකම්ම, උග්ගහ සහ පටිභාග නිමිත්ත ඇති වේ.

7. පරිච්ඡින්නාකාස කසිණ

මෙහිදී බට පැලැල්ලක් අතුරින් හෝ කිසියම් සිදුරක් තුළින් ආකාශය පෙනෙන දෙස බලා එය නිමිති කොට ගනිමින් “ආකාසෝ” යනුවෙන් පවසමින් එහි උච්චාරණය කෙරෙහි අවධානය යොමු කරමින් කසිණය මෙනෙහි කළ යුතු අතර එවිට ක‍්‍රමයෙන් කාලානුරූපීව පරිකම්ම, උග්ගහ සහ පටිභාග නිමිත්ත ඇති වේ.

කසිණ භාවනා සිදු කරන ආකාරය

පූර්ව කෘත්‍ය වශයෙන් කසිණ භාවනාවට කැමති යෝගියා පෙර කළ කී කාමයන්ගේ ආදීනව ද ඉන් මිදීමෙන් ඇතිවන අනිශංස පිළිබඳව ද මෙනෙහි කරගෙන භාවනා ආරම්භයට කැමැත්තක් ඇති කර ගත යුතුය. අනතුරුව සුදුසු පරිදි පඨවි, ආපෝ, තේජෝ  යනාදි කිසියම් කසිණයක් රවුමට, හතරැස්ව හෝ ත‍්‍රිකෝණාකාරව සාදාගෙන බඹයක් පමණ වූ පැහැදිලිව පෙනෙන දුරකින් තබා නිදහස්ව භාවනා කළ හැකි පන්සලක්, ගල් ගුහාවක්, රුක් සෙවනක් වැනි නිදහස් ස්ථානයක් සකස් කර ගත යුතු ය. පසුව කසිණ මණ්ඩලය පැහැදිලිව පෙනෙන ආකාරයෙන් තබා ශරීරය සෘජුව තබා පැදුරක් මත හෝ බිම පර්යංකයෙන් හිඳගෙන කසිණය වෙත ම අවධානය යොමු කළ යුතුය. අනතුරුව කාලානුරූපීව පුහුණුව හා අවධානය යොමු කිරීම මත ක‍්‍රමයෙන් උද්ගහ නිමිත්ත සහ පටිභාග නිමිත්ත උපදවනු ලබයි. පටිභාග නිමිත්ත මත සිත එකඟ කිරීමෙන් සිත සමාධිගතව ඇලවීමෙන් ප‍්‍රථම ධ්‍යානය උපදියි. එහිදී විතර්ක, විචාර, පීති, සුඛ සහ ඒකග්ගතා යන ධ්‍යානාංග පහ ම පිහිටුවයි. ඒ සමඟ ම කාමයන්ගෙන් වෙන් වීම, කාය සහ චිත්ත විවේකය යනාදිය පහළ වේ. තව ද මෙහිදී පංච නීවරණ ධර්මයෝ පහළවීම ද සිදු නොවේ. එමෙන් ම වස්තුකාම හා ක්ලේෂකාම හෙවත් අකුසල මූලයන් පහළ ද නොවේ.

අනතුරුව විතර්ක හා විචාර යන්න මානසික බාධාවකැයි අවබෝධයෙන් දැක එය සිදු නොකිරීමට උත්සහ කරමින් ද්විතීය ධ්‍යානයෙහි කැමැත්ත ඇති කොට ප‍්‍රීති, සුඛ සහ ඒකග්ගතා යන ධ්‍යානාංග ස්පර්ෂ කරමින් හා ප‍්‍රතිභාග නිමිත්ත ඇසුරෙහි ම හිඳීමෙන් දෙවන ධ්‍යානය පහළ වේ. මෙමගින් යෝගියා මරණින් මතුව වැඩි සැපතකට පත්වීම, එනම්, බ‍්‍රහ්ම තලයක ශරීර ප‍්‍රභාව ඉතා ඉහළින් ඇතිව උපදියි. එමගින් ප‍්‍රීතියෙන් පිනා යයි.

අනතුරුව ප‍්‍රීතිය නම් ධ්‍යානාංගයට සිත නතු වී ඇති අයුරු දැක ඊට නොකැමතිව ඉතිරි සුඛ සහ ඒකග්ගතා නම් වූ ධ්‍යානාංග ස්පර්ෂ කරමින් ප‍්‍රතිභාග නිමිත්ත ඇසුරු කරමින් සිටින විට තෘතීය ධ්‍යානයට පත් වී කල්ප ගණනාවක් ආයු සහිතව බඹ තලයක ඉපදීමට අවස්ථාව උදා කරගනී.

අනතුරුව සුඛය සතුරෙක් ලෙස අවබෝධයෙන් දැක එය පිටුදකිමින් ප‍්‍රතිභාග නිමිත්ත මත ම සිත සමාධිගත කරමින් ඒකග්ගතා යන ධ්‍යානාංග සහිත චතුර්ථ ධ්‍යානය පහළ වේ. මෙම අවස්ථාවේදී යෝගියාගේ හිසේ සිට දෙපතුල දක්වා උපේක්ෂාවෙන් පිරී ගොස් සිත පෙරට වඩා ශක්තිමත් සහ ප‍්‍රභාශ්වර වී කල්ප පන්සියයක් ආයුෂ සහිතව බඹ ලොවක ඉපදීමට අවස්ථාව උදා කරගනී.

සිව්වන ධ්‍යානයේදී ආශ්වාසය නතර වී යන අතර ශබ්ද සංජානනය ක‍්‍රමයෙන් අඩුවී ගොස් ශූන්‍ය බවට වේ. එවිට රූපාවචර ධ්‍යානයට බාධා ඇති කරන ඉරියව්වෙන් පැන නඟින වේදනාව, මානසික බැඳීම, බාහිර බාධාවන්, යෝගියාගේ තාක්ෂණික දුර්වලතා සහ ධ්‍යානයෙන් නැඟී සිටීමට ඇති කැමත්ත ඉවත් වී යයි. අනතුරුව කිසිදු පංචේන්ද්‍රීය සංජානයන් නොදැනී යමින් අරූප ධ්‍යානයට පිවිසේ.

මේ ආකාරයට කසිණ භාවනාව කේන්ද්‍ර කොටගෙන ලෞකික මට්ටමේ සිට ලෝකෝත්තර මට්ටම දක්වා ක‍්‍රමානුකූලව කාලානුරූපීව පුහුණුව මත චිත්ත සමාධිය වර්ධනය කර ගත හැකි වේ.

කසිණ භාවනාවේ නූතන ප‍්‍රායෝගික භාවිතයන්

බුද්ධ භාෂිතයට අනුව සත්ත්වයාට වැළඳීමට හැකි රෝග ඇත්තේ දෙවර්ගයකි. එනම්, කායික රෝග හා මානසික රෝග යන්නයි. මේ අතුරින් කායික හේතු මත ඇති වන කායික රෝග හැරුණු කොට මානසික හේතු මත හටගත් කායික රෝග සහ මානසික හේතු මත හටගත් මානසික රෝග යන දෙවර්ගයට භාවනාව පිළියමකැයි බුදුන් පවසා තිබේ. එම ධර්මතාවය පදනම් කොට ගෙන සංකීර්ණ සමාජ වටපිටාවකට උරුමකම් කියන කායික සහ මානසික රෝග සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින වර්තමාන සමාජය තුළ පාසල් ක්ෂේත‍්‍රය, හමුදාව සහ කර්මාන්ත ක්ෂේත‍්‍රයන් වැනි බොහෝමයක් වෘත්තීය සහ අධ්‍යාපනික ක්ෂේත‍්‍ර තුළ භාවනාව ප‍්‍රායෝගිකව ක‍්‍රියාවේ යොදනු ලැබේ. ඉන් ලැබෙන ප‍්‍රතිඵල ද ඉතාමත් ඉහළ හා ධනාත්මක බව පර්යේෂණවලින් සනාථ වී තිබේ. ඒ අනුව සමාජ සංස්ථාවේ මූලාරම්භක පුරුක ලෙස සැලකෙන දරුවන් කේන්ද්‍ර කොට ගෙන මෙවැනි දෑ සිදු කිරීමේ අවශ්‍යතාවයක් පවතී.

නූතන සංකීර්ණ තරගකාරී තාක්ෂණික සමාජයක ජීවත්වන දරුවෝ අද වනවිට අධ්‍යාපනිකව, පෞද්ගලිකව, පාසල් සහ පවුල් මට්ටමින් මුහුණපාන ගැටලූ හේතුවෙන් ඉතා දැඩි ආතතිමය ස්වභාවයකින් පීඩා විඳිති. බොහෝවිට කුඩා කල පටන් මෙලෙස අත්විඳීමට සිදුවන ගැටලූකාරී තත්ත්වයන් හේතුවෙන් වයසින් වැඩෙත් ම කුඩා දරුවන් තුළ අධික‍්‍රියාකාරීත්වය, අපගාමී චර්යා අක‍්‍රමතාව, සමාජ භීතිකාව, දැඩි ආවේගශීලි ස්වාභාවය, සමාජ විරෝධී පෞරුෂ, කාංසාව සහ විශාදය වැනි මානසික රෝග සුලබ ලෙස දැකගත හැකි වේ. මේ සඳහා ප‍්‍රධාන වශයෙන් ම කිසියම් චර්යාමය මෙන් ම මනෝ සමාජීය මැදිහත්වීමක් අවශ්‍ය වේ.

එහිදී භාවනාව යනු ඉතා හොඳ ප‍්‍රතිකර්මයකැය පර්යේෂණ වලින්  අනාවරණය කොට ඇත. එමගින් ස්වයං අවධානයක් තමා වෙත ම නැඹුරු කොට තමා පිළිබඳව ම විමසා බැලීමටත් තමන් තුළ ඇති දුස්සමාහිත හෝ අපගාමී චර්යා වෙනස් කර කායික, මානසික හා චර්යාත්මක වශයෙන් සන්සුන් දරුවෙකු වීමට අවශ්‍ය කරන සහය සැලසේ. මෙහිදී පළමුව කළ යුත්තේ එවැනි දරුවන් තුළ අවධානය යොමු කිරීම සහ ස්වයං සංයමයක් ඇති කරවීමයි. මේ සඳහා කසිණ භාවනාව ඉතා යෝග්‍ය වේ. මේ අතුරින් වර්ණ කසිණ වඩාත් ඵලදායී වන අතර ඒ අතුරිනුත් දැනටමත් පාසල් පද්ධති තුළ නීල කසිණය භාවිතා කරනු ලබයි.

පාසල් ළමුන් සඳහා මනෝ චිකිත්සාමය ප‍්‍රතිකාරයක් ලෙස නීල කසිණ භාවනාව

නීල යනු නිල් වර්ණයයි. නීල කසිණය යනු නිල් වර්ණය කේන්ද්‍ර කොටගත් කිසියම් වස්තුවක් හෝ මලක් වැනි උපකරණයකි. මෙය භාවනාවක් බවට පත්වනුයේ එම නිල්පාට වස්තුව දෙස අවධානය යොමු කිරීමෙනි. මෙහිදී පළමුව කළ යුත්තේ එවැනි දැඩිලෙස ආතතිමය මට්ටමෙන් සිටින දරුවන් තෝරාගෙන පළමුව එම දරුවන් සඳහා ඔවුන්ගේ ආවේගශීලී චර්යාව ඔවුන්ට ම වටහා ගැනීමට අවශ්‍ය කරන ස්වයං යාමනයක් හෙවත් ස්වයං පාලනයක් ඇති කරවීමය. ඒ සඳහා භාවනාමය ක‍්‍රමශිල්ප ක‍්‍රමක‍්‍රමයෙන් ඉගැන්වීම කළ යුතුය. එහිදී පළමුව සිටගෙන හෝ හිඳගෙන භාවනාමය ආසනයක් සඳහා හුරු කරවීම කළ හැක. අනතුරුව ක‍්‍රමයෙන් නීල වර්ණ උපකරණය හෝ ද්‍රව්‍ය දෙස බැලීමටත් ඒ මත තම අවධානය නාභිගත කිරීමට ක‍්‍රමයෙන් කාලපරාස අඩු වැඩි කරමින් හුරු කළ යුතුය. එහිදී විනාඩි 5 ක් පමණ නීල කසිණය දෙස බලා සිටීමටත් විනාඩි 5 ක් දෑස් වසා එය මනසින් මෙනෙහි කිරීමටත් ඉඩ ලබා දිය යුතුය. එවිට සිත වෙනත් අරමුණු වලට යන බව වැටහෙන විට දෑස් විවෘත කර නැවත ද්‍රව්‍ය දෙස බලා අවධානය ඒ මතට ගැනීමට උපදෙස් ලබාදිය යුතුය. මේ ආකාරයට කිසියම් කාලයක් භාවනාව පුහුණු කරන විට ක‍්‍රමයෙන් ඔවුන් තුළ ඇති කාංසාමය චිත්තවේග, අපගාමී හා දුස්සමාහිත චර්යා රටාවන් අඩුවෙමින් මනස හා චර්යාව සන්සුන්වීම හා සංයමයට පත්වීම මෙන් ම අවධානය යොමු කිරීම වැඩිවන බව දක්නට ලැබේ. එමෙන් ම දිනපතා මේ සඳහා කාලයක් වෙන්කර දිගින් දිගට ම පුහුණු කිරීම  පවත්වා ගත යුතුය. තව ද පාඩම් කිරීමට ප‍්‍රථම මෙවැනි භාවනාවක නිරතවීම වඩාත් ප‍්‍රතිඵලදායක වනු ඇත.

බටහිර මනෝවිද්‍යාවට අයත් උප විෂය ක්ෂේත‍්‍රයක් වන වර්ණ මනෝවිද්‍යානුකූලව සලකා බැලීමේදී ද පාසල් පද්ධති තුළ මේ සඳහා නිල් වර්ණය ම යොදා ගැනීමට හේතු ලෙස එම වර්ණයෙන් ගම්‍ය කෙරෙන මනෝවිදානුකූල අර්ථයන් බලපෑ හැක. එනම්, නිල් පැහැයෙන් නිසල, ශාන්ත, සන්සුන්බව, බියක් උපදවන්නේ නැති බව, මධ්‍යස්ථ බව, සාමකාමී බව, සුරක්ෂිත බව, විශ්වාසනීයත්වය සහ ස්ථීරබව, අනුප‍්‍රාණාත්මක බව සහ අධ්‍යාත්මිකබව, ඵලදායීබව, ගැඹුරු සහ ත‍්‍රීව‍්‍රබව තුළින් පුද්ගලයාගේ අභ්‍යන්තරය ප‍්‍රත්‍යාවේක්ෂණය කොට වෙනස් කිරීමේ හැකියාවක් ඇති ස්වාභාවය, චිත්තවේගාත්මක ශක්තිය පුබුදුවාලීමේ ස්වභාවය,  නිර්මාණශීලීත්වය සහ ස්වයං උපස්ථම්භනබව යනාදි ලක්ෂණ පුද්ගලයා වෙත ආරෝපණය කිරීමට සමත් වේ. එබැවින් පාසල් දරුවන් සඳහා නිල් වර්ණය යොදා ගැනීමත් එය කසිණ භාවනාවට යොදා ගැනීමත් වඩාත් ප‍්‍රතිඵලදායක වනු ඇත.

ඒ අනුව මෙම ක‍්‍රමය ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමටත් තරහාව පාලනය කර මෘදු සිතක් ඇති කර ගැනීමටත් මතක ශක්තිය, ධාරණ ශක්තිය සහ අවධානය වැඩි දියුණුවීමටත් උපයෝගී කරගත හැක. මෙය එක්තරා චර්යාත්මක හා මානසික සංස්කරණයක් මෙන් ම සංයම අභ්‍යාසයක් ලෙසින් ද හැඳින්විය හැකි අතර නූතන මනෝවිද්‍යාත්මක හා බෞද්ධ මනෝවිද්‍යාත්මක අර්ථයෙන් විමසා බලන කල කසිණ භාවනාව යනු එක්තරා අන්දමක මනෝ චිකිත්සාවකැයි පැවසීම යුක්ති යුක්තය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

  • Kendra, Cherry, 2018 September 26, Color Psychology: Does it Affect? How you feel, Viewed 20, November 2018 from http://www.verywellmind.com
  • Merkur, Den, (n.d), Meditation: Mental Exercise, Viewed 20, November 2018 from http://www.britannica.com/topic/meditation-mental-exercise/
  • Nirbhay, N. Singh at all, 2007, Adolescents with conduct disorder can be mindful of their Aggressive Behavior, Journal of Emotional and Behavioral Disorders, Vol.15, N.1, Pennsylvania State University, Viewed 20, November 2018 from http://www.ebx.sagepub.com
  • Olesen, Jacob, (n.d), Color Psychology: Child Behavior and Learning through Colors,Viewed 20, November 2018 from http://www.color-meaning.com/color-psychology-child-behaviour-and-learning-through-colors/
  • The New Lexicon, Webster’s Dictionary of English Language, 1989, Lexicon Publication, INC Network.
  • උපතිස්ස හිමි, 2014, විමුක්ති මාර්ගය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල.
  • උපාලි හිමි, මඩවල, 2013, භාවනා අත්පොත, රත්න ප‍්‍රකාශකයෝ, කොළඹ 10.
  • ධර්මවංශ හිමි, ශ‍්‍රී මාතර, 2015, විස්තරාර්ථ සන්න සහිත විශුද්ධි මාර්ගය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල.
  • බණ්ඩාර, අශෝකා පද්මිණි සහ රත්නායක, සුමන, 2010, බෞද්ධ භාවනාවෙ හදවත, බෞද්ධ ග‍්‍රන්ථ ප‍්‍රකාශන සමිතිය, මහනුවර.
  • මලලසේකර, ජී. පී, 2002, ඉංග‍්‍රීසි සිංහල ශබ්දකෝෂය, සීමාසහිත ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, කොළඹ 11.
  • සුමනපාල, ගල්මංගොඩ, 2006, බෞද්ධ භාවනා ක‍්‍රම සහ මනෝ චිකිත්සාව, සරස්වතී ප‍්‍රකාශන, දිවුලපිටිය.
  • හෙට්ටිගේ, නිලන්ත, 2016, කසිණ භාවනා අත්පොත, සුසර ප‍්‍රකාශකයෝ, කොළඹ 11.
  • හෙට්ටිගේ, නිලන්ත, 2016, විශුද්ධි මාර්ගය, සුසර ප‍්‍රකාශකයෝ, කොළඹ 11.