love couple
සමාජීය

මිත‍්‍රත්වය, ආදරය, විවාහය සහ බුදුදහම

Design by Freepik

බොහෝමයක් මිනිසුන් මිත‍්‍රත්වය, ආදරය, විවාහය වැනි මාතෘකා සම්බන්ධයෙන් කතා කරන විට ආදරය හා විවාහය යන අන්ත දෙක පමණක් එකිනෙකට සම්බන්ධ කරමින් සාකච්ඡා කරනු ලබයි. එහෙත් මෙහි අවියෝජනීය සම්බන්ධයක් නොමැත. එනම්, එකිනෙකට වෙන් වෙන් වශයෙන් වුවද කතා කළ හැකි වේ. එහෙත් මිත‍්‍රත්වය සහ ආදරය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවයකි. එය බුදුදහම හා සම්බන්ධ කොට සාකච්ඡා කිරීමේදී සාමාන්‍ය අර්ථකථනයන් ඉක්මවා යන නිර්වචනයන් ගොඩනැගිය හැක. ලොව වෙසෙන සෑම ම මිනිසෙකු ම ආදරය සොයනු ලබයි. ආදරය යන්න ස්ත‍්‍රී-පුරුෂ දෙපාර්ශවයට පමණක් නොව ගහකොළ මෙන් ම සතා  සිව්පාවුන්ට ද පොදු ධර්මතාවයක් සහ අවශ්‍යතාවයකි. එසේ නොවන්නේ නම් තමන් හා සමාන වූ වෙනත් අයෙකුට ආදරය කරන්නේ කෙසේද? එයට හේතුව වනුයේ සතා  සිව්පාවුන්ට හෝ ගහකොළට ආදරය කරන්නේ කෙසේද එලෙස ම මිනිසා තමාගෙන් පරිබාහිර වූ වෙනත් මිනිසුන්ට ද ආදරය කරන්නේ යැයි සංසන්දනාත්මකව විමසා බැලිය හැක.

මිත‍්‍රත්වය ද එවැනි ම අත්‍යාවශ්‍ය සම්බන්ධතාවයකි. එහෙයින් මෙවැනි මනෝභාවයන් පුද්ගලයෙකු ලෙස වටහා ගත යුත්තේ ඇයි, ඒවා පුරුදු පුහුණු කළ යුත්තේ කෙසේද, එවැනි පුහුණුවක් අවශ්‍ය වන්නේ ඇයි ද යන්න වටහා ගත යුතු ය.

බුදුන්වහන්සේ අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් සිය සාංසාරික ජීවිතය පුරාවට සිදු කළ පර්යේෂණාත්මක විමසීම් වලට අනුව අවසානයේ අනාවරණය කරවූයේ පරමාර්ථ ලෙස ගත් කළ මිත‍්‍රත්වය, ආදරය හා විවාහය යනාදිය දුක සහ භය උපදවන දේවල් යනුවෙනි.

“පේමතො ජායතී සෝකෝ

පේමතො ජායතී භයං

පේමතො විප්පමුත්තස්ස

නත්ථි සෝකෝ කුතෝ භයං”

 

එහෙත් අප ජීවත්වනුයේ පරමාර්ථ ලෝකය තුළ නොව සම්මුති ලෝකය තුළය. මෙම සම්මුති සත්‍ය තුළ පුද්ගලයා ජීවත් වනවිට භය, දුක, ඊර්ෂ්‍යාව ඇතිවීම යන්න මනුෂ්‍ය සම්බන්ධතා වලට සාමාන්‍යයකි. බුදුරජාණන්වහන්සේට අනුව මිනිසා පරමාර්ථ ලෝකය තුළ ජීවත් වනවිට පූර්ණ අවබෝධයට පත් වූ විට සම්මුති සත්‍ය අත්හළ යුතු ය. ඒ අනුව බුද්ධ දේශනාවන්ට සහ ලොව සුපතල ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන්ගේ මතයන්ට අනුව සත්‍ය ලෙසට ම ආදරය හා මිත‍්‍රත්වය යනු දෙකක් නොව එකකි. එහෙත් නූතන සමාජය තුළ ආදරය වෙන ම එකක් ලෙසත් මිත‍්‍රත්වය ඊට වඩා හාත්පසින් ම වෙනස් සම්බන්ධයක් ලෙසින් තීරණය කිරීම දකින්නට හැක.

කෙනෙකු ඔබේ හොඳ ම යහළුවා හෝ යෙහෙළිය කවුරුන්දැයි ඔබෙන් ඇසුවහොත් විවාහකයෙකු නම් ඔබ කිසි දිනක තම “ස්වාමිපුරුෂයා” හෝ “භාර්යාව” යැයි පිළිතුරු නොදෙනු ඇත. ඔබ සිටින්නේ එක් දිශාවක නම් ඔබේ මිතුරු මිතුරියන් සිටින්නේ තවත් දිශාවක යැයි පවසනු ඇත. මෙයට හේතුව කුමක්ද? අප රට තුළ ආදරය නම් එය ලිංගිකත්වය, විවාහය මත පදනම්  වූ දෙයක් යැයි සිමා පනවා තිබේ. මිත‍්‍රත්වය ඊට වඩා වෙනස් දෙයක් ලෙස සමාජ මිනිසා අර්ථකථනය කරනු ලැබේ. එහෙත් බුදුරජාණන් වහන්සේ පවා පවසන ලද්දේ “කල්‍යාණ මිත්ත” එක්වීම විය යුතු බවය. පඨම සමජීවි සූත‍්‍රයෙහි එන නකුල මාතා සහ නකුල පිතා පිළිබඳ දේශනාවෙහි ද මේ ගැන අපූරු සංකල්පනාවක් සඳහන්ව ඇත.  එනම්, මෙම නකුල මාතා සහ පිතා ඊළඟ ආත්මභාවයේ එකට ජීවත්වීමට නම් කුමක් කළ යුතුදැයි බුදුන්ගෙන් විමසා සිටියහ. මේ ආකාරයට ඔබටත් ඔබ ආදරය කරන පුද්ගලයා පිළිබඳව මෙවැනි බලාපොරොත්තුවක් පැවතිය හැක. එමෙන් ම ඇතැම්විට එසේ කිසි දිනෙක යළි නොපතනවා ද විය හැක. මෙහිදී නකුල යුවලට බුදුරජාණන්වහන්සේ මෙලෙස පවසන ලදි.  ඔබ දෙපළට මීළඟ ආත්මභාවයේ එක්ව ජීවත්වීමට නම් ඔබ දෙදෙනා සම ශීල, සම ශ‍්‍රද්ධා, සම චාග, සම ප‍්‍රඥා විය යුතුය. එනම්, දෙදෙනා ශීලයෙන්, ශ‍්‍රද්ධාවෙන්, පරිත්‍යාගයෙන් හා ප‍්‍රඥාවෙන් සමාන වුවහොත් පමණි. ඒ ඒ සිතුම් පැතුම් හා ආකල්පයන්, චර්යාවන්, අවබෝධයන්, ගතිගුණ එකට ගැළපෙන්නේ නම් එයට හේතුව වනුයේ මෙලෙස සමානවීම තුළ දෙදෙනා අතර ශරීර දෙකක් පැවතිය ද එකම චින්තන රටාවක් සහ විශ්වාස පද්ධතියක් ඔවුන් අතර ගොඩනැගීමයි.

මෙය ග‍්‍රීසියේ පහළ වූ ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඇරිස්ටෝටල් නම් පඬිවරයා ද සඳහන් කළ මතයකි. ඔහු මිත‍්‍රත්වය නිර්වචනය කරනුයේ “එක ම ආත්මයක් සිරුරු දෙකක් තුළ ජීවත්වීම” ලෙසිනි. මෙම අදහස් බුදුන්වහන්සේ මීට වසර දහස් ගණනකට පෙර දේශනා කරන ලදි. එනම්, සම ශීල, සම ශ‍්‍රද්ධා, සම චාග, සම ප‍්‍රඥා ඇති දෙදෙනාගේ සමාන සිතුම් පැතුම් තලයක් හා ආකල්ප, රුචි අරුචිකම් පවතී.

ඒ අනුව ඔවුනොවුන් කෙරෙහි අචල ශ‍්‍රද්ධාවක් හෙවත් නොබිදුණු ගැඹුරු විශ්වාසයක් ගොඩනඟා ගෙන ඇති මිත‍්‍රයින් පමණක් විවාහ විය යුත්තේ යැයි බුදුන්වහන්සේ දේශනා කොට වදාළහ. සිතුම් පැතුම් අසමාන වූවන් හා එකිනෙකා කෙරෙහි ගැඹුරු විශ්වාසයක් නොමැති වූවන් විවාහා වුවහොත් ඒ විවාහා ජීවිත ඉතාමත් වෛරීය වූත් කලකිරීම් සහගතවූත් ඉතාමත් වංචනිකව ගත කරන ජීවිත බවට පත්වනු ඇත. එබැවින් මිනිසුන් ලෙස අප වටහා ගත යුතු වැදගත් යමක් පවතී. එනම්, ආදරය හා මිත‍්‍රත්වය යනු දෙකක් නොව එකකි. එබැවින් මෙය එකිනෙකට වෙන් කළ නොහැකි අවියෝජනීය සම්බන්ධතාවයකින් යුක්තය. ඒ අනුව මිත‍්‍රත්වය හෝ ආදරය හෝ ගොඩනැගිය යුත්තේ සමානයින් අතර පමණි. එහෙත් අසමානයින් මිතුරන් හෝ ආදරය කරන්නන් වීමෙන් ඔවුන්ට අපව නිවැරිදි කළ නොහැකිය.

සාමාන්‍යයෙන් මිතුරන් කුමටදැයි පුද්ගලයෙකුගෙන් ඇසුවහොත් ඒ සඳහා ලැබෙන පිළිතුර හුදු ආත්මාර්ථය මුල්කොට ගත් එකක් වනු ඇත. එනම්, තනිකම මගහරවා ගැනීමට, විනෝදය සඳහා වැනි පිළිතුරකි. එහෙත් මෙවැනි දෑ සඳහා සාමාන්‍ය හිතවත්කම් පැවතීම පමණක් ද ප‍්‍රමාණවත් වන අතර ගැඹුරු මිත‍්‍රත්වයක් අවශ්‍ය වන්නේ නැත. එයට හේතුව වනුයේ ඉහත ආකාරයේ සරල උපකාර සාමාන්‍ය මිනිසුන් තවත් සාමාන්‍ය මිනිසෙකු වෙනුවෙන් ද ඉටු කරනු ලබයි.  එහෙයින් සත්‍ය ලෙස ම මිත‍්‍රත්වය අවශ්‍ය වන්නේ මිනිසාගේ අධ්‍යාත්මය තුළ ඇති ගැටලූ විසඳා ගැනීමට ය.

ඕනෑම මිනිසෙකු තුළ හොඳ සහ නරක හෝ කළු සහ සුදු යනාදි වශයෙන් චරිත ස්වාභාවයන් දෙකක් පවතී. එනම්, අප තුළ පුද්ගල සාරය නියෝජනය කරන චෛතසික මෙන් ම පැවැත්ම නියෝජනය කරන චෛතසික වෙන වෙන ම පවතී. මෙය කුසල් අකුසල් හෝ පින් පව් යනාදි වශයෙන් ද අර්ථ දැක්විය හැකිවේ. නරක හෝ අකුසල් හෝ සෑමවිට ම පුද්ගල පැවැත්ම නියෝජනය කරන අතර පැවැත්ම උදෙසා පුද්ගලයා අකුසල්  සිදු කරනු ලබයි. එමෙන් ම පුද්ගලයා යහපත් හෝ කුසල් සහිත නිවැරිදි දෑ ඉටු කරනුයේ සාරය සමඟින් ය. ඒ අනුව මේ ලෝකය තුළ ජීවත්වන රහතුන් නොවන සියලූ ම දෙනා අඩුවැඩි වශයෙන් හොඳ හෝ නරක ක‍්‍රියාවන්ගේ නියුක්තිකයෝ වෙති.  එනම්, මේ ලෝකයේ ජීවත්වන පුද්ගලයින්ගේන් සමස්තය ම හොඳ හෝ නරක යැයි පැවසීමට හැකි කිසිවෙකු නොමැති අතර ඇත්තේ හොඳ ක‍්‍රියාවන් හෝ නරක ක‍්‍රියාවන් ඉටුකරන පුද්ගලයින් පමණි. එවිට අප තුළ සිටින අඳුරු පැතිකඩ බාහිරට විද්‍යාමාන වන අවස්ථාවන්ට අප සමඟ කල්‍යාණ මිතුරෙකු නොසිටියහොත් අප නිවැරිදි කරනුයේ කවුරුන්ද යන ගැටලූව උද්ගත වේ. මන්ද, අපට වඩා පහළ හෝ අඩුපාඩුකම් සහිත කෙනෙකුට කිසිදිනක අපව නිවැරිදි කළ නොහැක අතර නිවැරිදි නොකරනු ද ඇත.

කෙනෙකු තනතුරින්, වයසින්. වෘත්තීයෙන් හෝ පදවියෙන් වෙනස් වූ කළ ඇත්තේ ශිිෂ්‍ය-අනුශිෂ්‍ය,  ස්වාමි-සේවක වැනි උස් පහත් සම්බන්ධතාවයකි. එනම්, එහිදී එක් අංශයක් පමණක් ක‍්‍රියාකාරී හෝ ප‍්‍රබල ලෙස ක‍්‍රියාත්මක වේ. එයට හේතුව වනුයේ ඔහුට තමාගේ යටතේ සිටින පුද්ගලයා නිවැරිදි කළ හැකි වුවද ඔහුට පෙරළා තම ගුරු හෝ ස්වාමියා වන පුද්ගලයා නිවැරිදි කළ නොහැක. එයට හේතුව දෙදෙනා එක සමාන සමානකම් වලින් පිරිපුන් නොවීමයි. එවිට මිත‍්‍රත්වය ඵල නොදරයි. මේ පිළිබඳව ග‍්‍රීසියේ ජීවත් වූ දාර්ශනිකයෙකු ද සුන්දර කියමනක් ඉදිරිපත් කර ඇත. එක්තරා පුද්ගලයෙකු තම මිත‍්‍රයාට මෙසේ පවසයි. “ඔබ මට ඉදිරියෙන් යන්නත් එපා. මන්ද මා හට ඔබේ අනුගාමිකයා විය නොහැක. ඔබ මාගේ පසුපසින් පැමිණෙන්නට ද එපා. මන්ද මට ඔබේ මගපෙන්වන්නා හෝ ස්වාමියා විය නොහැක. එබැවින් මා සමඟ ම ඇවිදයාමට ඔබට අවසරය.”

එනම්, අපට මිතුරන් වීමට අවැසි නම් අප සමාන විය යුතුය. අධ්‍යාත්මිකව හා භෞතිකව සමානවීම තුළ ගැටලූ අඩුවනුයේ එබැවිනි. තමාට වඩා වැඩි හෝ අඩු හෝ අයෙකු තුළින් ආත්මාර්ථය මුදුන් පමුණුවා ගැනීමක් සිදු වේ. එවැනි අවස්ථාවකදී සැබෑ මිත‍්‍රත්වයක් මතු නොවනු ඇත. එවිට සැබෑ මිත‍්‍රත්වයකදී විය යුතු යුතුකම් හෙවත් නිවැරිදි කිරීම් සිදු නොවී අඳුරු අංශය මතුවීමේදී විරුද්ධ නොවනු ඇත. ඒ වෙනුවට අයහපත් ඇගයීමට පෙළඹේ. එහිදී ලාභය හා අලාභය අතර දෝලනය වේ. එනම්, මිත‍්‍රත්වයට මෙන් ම ආදරය හෝ විවාහයට ද මෙම ධර්මතාවය පොදු ය. ඒ අනුව සැමවිටම තමාට වඩා භෞතිකව හෝ ආධ්‍යාත්මිකව අසමාන වූවන් සමඟ විවාහය ද අසමාන ය. එවැනි අයට ආදරය, සුරක්ෂිතභාවය යනාදිය සමානව නොලැබෙනු ඇත. මන්ද සැමවිටම බලවතා තම අනුගාමිකයින් යටත් කර ගැනීමට සිතයි. එහෙත් සමාජ මිනිසා උත්සහ දරනුයේ තමාට වඩා බලවත් හා ධනවත් අයෙකු මිතුරෙකු හෝ සහකරුවෙකු ලෙස තෝරා ගැනීමට ය. එහෙත් මෙලෙස දකින ස්වරූපය සැබෑ විවාහය තුළ ක‍්‍රියාත්මක වන්නේ නැත. එහෙත් විවාහයකදී සමාන විය යුත්තේ ධනාත්මක හා ප‍්‍රගමනශීලී අධ්‍යාත්මයන් ය. එසේ නැතහොත් මෙය කොහොඹ ගසට කරවිල වැල ගියාක් මෙන් විය හැක. මෙය බුදුරජාණන්වහන්සේ අංගුත්තර නිකායේ සංවාස සූත‍්‍රයේ විග‍්‍රහ කරනුයේ “ඡුවෝ ඡුවාය සද්ධිං සංවසති” යනුවෙනි. එනම්, මළ ස්ති‍්‍රයක් හා මළ පුරුෂයකු එකට වාසය කරමින් දෙදෙනා ම නරක පතුරුවා හරියි. එවිට ඔවුහු ආකල්ප, විශ්වාසයන්, සිතුම් පැතුම් හා රුචි අරුචිකම් වලින් අසමානයන් බවට පත්වේ. බුදු සමය තුළ ද අගයන්නේ යහපත් සමානයින්ගේ එකතුවීමයි. හුදු ආදරය පමණක් ඇති තැන දෙදෙනා ම දෙදෙනාට විවෘත නොවන අතර මිත‍්‍රත්වය තුළ ආවෘත දෙයක් නොමැත. සියල්ල ම විවෘතව පවසයි. එබැවින් ආදරය ගොඩනැගිය යුත්තේ ද සමාන වූ මිත‍්‍රත්වය මතින් පමණි. එනම්, ආදරය හා මිත‍්‍රත්වය එක්ට එක්ව ඇති තැන බැඳීමක් පෝෂණය හා ශක්තිමත් කෙරෙනු ඇත.

මෙම කාරණාව නිවැරිදිව වටහා නොගත් වර්තමාන සමාජ මිනිසාගේ බැඳීම් තුළ ආදරය හා මිත‍්‍රත්වය ඇත්තේ එකට නොව දෙතැනක ය. මේ නිසා නාමික විවාහ ජීවිත හා ආදර සම්බන්ධතා හමුවේ කල් ගෙවති. මෙයට ප‍්‍රධානතම හේතුව අසමානයන්ගේ එක්වීමයි. මේ නිසා සෑම අයෙක් ම අධ්‍යාත්මික සමානතා හඳුනාගෙන එකතුවීමටත් එක් වූවන් සමානයින්වීමට උත්සහ දැරීමත් කළ යුතුය. සැමියා සහ බිරිඳ යනු සිය දෛනික රාජකාරි ඉටුකර ගැනීමට හෝ සිය වියදම් පිරිමසා  ගැනීමට සිටින අය නොවන බව වටහා ගත යුතු ය.  මෙම සත්‍ය වටහාගෙන සමානවීමට උත්සහ කරන්නේ නම් සත්‍ය ලෙසට ම එකිනෙකා අතර හදවතින් ම නැෙඟන ගෞරවනීය බවක් ආදරයක් හා මිත‍්‍රත්වයක් වර්ධනය වනු ඇත.  එය අනෙක් අයගේ ජීවිත තුළට ද ආරෝපණය වනු ඇත. එමෙන් ම දෙදෙනා අතර මෙන් ම දෙදෙනා අතර පවත්නා යම් යම් සංකල්ප හා මතයන් පිළිබඳව ද විශ්වාසයක් හා ශ‍්‍රද්ධාවක් වර්ධනය කර ගැනීමට පහසු ය.

එහෙත් පෘතග්ජන මිනිසා අතර සම්මුති සම්බන්ධතා පැවතීම මත සැක සංකා ඇතිවීම සාමාන්‍යයකි. එහෙත් අනෙකා වෙනුවෙන් කැපවීම, සමාන සීලයකින් යුක්ත වීම, ප‍්‍රතිපත්ති හා එකඟතා සමානව රකින්නේ නම් ජීවිතය එකට ගමන් කළ හැක. ඒ අනුව බුදුදහම තුළ සමාන ප‍්‍රතිපත්ති, විශ්වාසයන්, එකඟත්වය ඇත්නම් කැපකිරීම් සහිත  හා පරිත්‍යාගශීලීව කටයුතු කරන්නේ නම් මානව සම්බන්ධතා අතර වඩා යහපත් වූ ශක්තිමත් පදනමක් ගොඩනඟා ගත හැක.  මිනිසුන් බහුතරයක් ම තමා එල්බගෙන සිටින තීරණ, ආකල්ප, මතයන් හා තම නිදහසට බාධාවන දෑ අත්හැරීමට හා ඒවා කැප කිරීමට අකැමතිය. එහෙත් මෙය අත්හළ යුතු තත්වයකි. මන්ද තම බැඳීම් සම්බන්ධතා සමානව පවත්වා ගැනීමට පරිත්‍යාගය, කැපවීම තිබීම අනිවාර්ය ය. මෙය සැබෑ ආදරයයි.

තේරුම් ගැනීම, අවබෝදය, දැනුම යනාදිය සමාන නොවන්නේ නම් ජීවත්වීම දුෂ්කරය.  මෙහිදී ස්ත‍්‍රියකගේ හා පුරුෂයෙකුගේ මොළයේ ක‍්‍රියාකාරීත්වය පවා වටහා ගැනීම අත්‍යාවශ්‍යය. සාමාන්‍ය සමාජය හා මිනිසුන් තුළ පිළිගැනෙන සාමාන්‍ය කාරණාවක් ලෙස පිරිමියා නිතර කතා නොකරන බවත් ගැහැනිය නිතරම කතා කරන බවත් දැකගත හැක. එහෙත් මෙහි ඇත්තේ ජීවවිද්‍යාත්මක කරුණකි. එනම්, සාමාන්‍යයෙන් දිනකට පුරුෂයෙකුට වචන 7000ක් පමණත් ගැහැණියකට වචන 20000ක් පමණ කතා කිරීමේ හැකියාවක් පවතී. මෙකී ජීවවිද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක වෙනස්කම් දෙදෙනා ම වටහා ගත යුතු ය. එවිට සමානයන්ට එකතුවීමටත් එකතුවී සිටින අයට සමානතා වර්ධනය කර ගැනීමටත් පහසු වනු ඇත. ඒ අනුව දියුණු ප‍්‍රඥාවන්ත මිනිසුන්ගේ සමාජ ජීවිතය හා පෞද්ගලික ජීවිතය තුළ ආදරය හා මිත‍්‍රත්වය යන දෙක ම එකක් ලෙස වර්ධනය වේ. එවිට තමාගෙන් පරිබාහිර අනෙකා කෙරෙහි ද එය වර්ධනය කරගැනීම පහසු ය. එවිට එය සංසාරගත බැඳීමක් බවට පත් වේ.

යශෝධරා හා සිදුහත් පේ‍්‍රමය ද මෙවැන්නකි. සිද්ධාර්ථ හා යශෝධරා අතර පේ‍්‍රමය අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයකුත් අධ්‍යාත්මික සම්බන්ධතාවයක් නිසාවෙන් අඛන්ඩව පැමිණියේ ය. ආත්ම ගණනාවක් පුරාවට ම බෝධිසත්වයන් විසින් යශෝධරාවන් හැර යන්නට වූ අතර ඒ පිළිබඳව යශෝධරා දේවියගේ සිතෙහි අල්පමාත‍්‍රයක් වූ තරම් වෛරයක් හට නො ගත්තා ය. එයට හේතුව වූයේ ඔවුනොවුන්ගේ ආධ්‍යාත්මයන් එකිනෙකට සමානවීම හා පිළිගැනීම් සමානවීම යි. එසේ නොවුණේ නම් එකෙකු අනෙකාව අත්හැර දැමූවිට වෛර කරන්නට පටන් ගන්නේය. එනම්, ඒ තුළ ඇත්තේ විශ්වාසය, පරිත්‍යාගය, කැපවීම, පරමාර්ථ හා ප‍්‍රඥා වල විශමතාවය යි. මෙය ඉතාමත් සියුම් සංකල්පයකි. එහෙයින් මෙය බුද්ධියෙන් වටහා ගත යුත්තකි. එවිට මෙවැනි මනුෂ්‍ය සම්බන්ධතා “දේවෝ දේවියා සද්ධිං සංවසති” හෙවත් දෙවියෙකු හා දේවතාවියෙකු එකට වාසය කරන්නාක් මෙන් වන්නේය. පුරාණ සෘෂිවරුන් හා පඬිවරුන් ජන්ම කේන්ද්‍රය හා නක්ෂත‍්‍ර ශාස්ත‍්‍රය සලකා බලනුයේ ද මේ නිසා විය හැක.

ස්වාභාවධර්මයා තුළ ද එකිනෙකට ළංව පිහිටිය නොහැකි තුරු ලතාවන් සහ සත්වයෝ සිටිති.  එසේ ම එකට පැවතිය නොහැකි කාරණා මත සම්බන්ධතා ද විභේජනය වනු ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නූතන සමාජය තුළ දිවි ගෙවන මිනිසා ආදරය හා විවාහය වැනි සම්බන්ධයන් තුළින් ද තම මව හෝ පියා වැනි පුද්ගල භූමිකාවන් සොයනු ඇත. එහෙත් එය කළ නොහැක්කකි. එය කිසිදිනෙක නොලැබෙනකි.  මන්ද බිරිද හෝ ස්වාමියා දැකිය යුත්තේත් ඔවුන්ගෙන් අපේක්ෂා කළ යුත්තේ ද එම අදාළ භූමිකාවන්ට හා චරිතයන්ට අදාළ දේවල් පමණි. එය කිසි දිනෙක මවගෙන්  හෝ පියාගෙන් ලැබෙන්නාක් මෙන්  නොවිය යුතු ය. එවිට මව හෝ පියා කෙරෙහි දක්වන ගෞරවය හා බය සැමියා හා බිරිඳ තුළින් ද අපේක්ෂා කරන්නට ඔවුනොවුන් තුළ ම පෙළඹවීමක් ඇති කෙරේ. එවිට එකෙකු අනෙකාට යටත්ව වාසය කළ යුතු යැයි ආකල්පයක් වර්ධනය වේ. මෙය අසාර්ථක සන්නිවේදනයකි. එබැවින් සමානයින් අතර තර්කනය, අදහස් ප‍්‍රකාශනය යනාදි සියල්ල පහසු වනු ඇත. එහෙයින් වර්තමාන සමාජය පවත්නා ස්ථානයේ සිට උදාරත්වය කරා රැුගෙන යාමට අධ්‍යාත්මික බැඳීමකින් යුතු මිත‍්‍රයින් සහ ආදරණීයන් සොයාගැනීම අගනේ ය.

බුදුදහම හා සම්බන්ධ කොට ආදරය පිළිබඳව කතා කිරීමේදී මූලික වශයෙන් කාරණා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැක. එනම්, බුදුදහමට අනුව ආදරය පිළිබඳ කතාකිරීමට ඇති ඉඩකඩ මොනවාද? යන්නත් පරමාර්ථ ලෙස ආදරය පිළිබඳව කතා කරද්දී ධර්මයට පටහැනි වීමක් තිබේද? යන්නයි. ආදරය හෙවත් පේ‍්‍රමය නිසාවෙන් භය සහ ශෝකය හටගනී. එමෙන් ම පේ‍්‍රමය හෙවත් ආදරය නැති තැන භය සහ ශෝකය හටනොගනී. එහෙත් සමාජ මිනිසා සිය ජීවිතය ගෙවනුයේ නිවන් අරමුණු කොට ගත් ලෝකයෙන් මෙහා වූ ලෝකයක් තුළ ය. එම ලෝකය තුළ ජීවත්වීමේ දී  මිනිසා ආදරය බලාපොරොත්තු වන්නා සේ ම ආදරය කරන්නේ ය. ආදරය දක්වන්නේ ය. මෙම කාරණාව පදනම් කොට බුදුහූ ධාර්මිකව ආදරය කරනුයේ කෙසේද යැයි විග‍්‍රහ කිරීමට යම් යම් දේශනාවන් ඉදිරිපත් කොට ඇත. එනම්, දහමට අනුකූලව ආදරය කරන්නේ කෙසේද යන්නයි. ඒ අනුව ආදරයක් ඇතිවිය හැකි අවස්ථා කිහිපයකි.

  1. විරුද්ධ ලිංගිකයින්ගේ බැල්මකින්
  2. විරුද්ධ ලිංගිකයින්ගේ කටහඬ නිසාවෙන්
  3. විරුද්ධ ලිංගිකයින්ගේ චුම්භනයෙන්
  4. සාංසාරික ආදරයෙන්

මේ ආකාරයට විරුද්ධ ලිංගිකයින්ගේ බැල්මකින්, කටහඬකින් හෝ චුම්භනයෙන් ඇතිවන ආදරය රාග මිශ‍්‍රිත ය. සිව්වැන්න යශෝධරා සහ සිද්ධාර්ථ යුවලගේ ආදරය හා සමාන සංසාරගතව ඇති වන්නකි. මොවුහු ලේන කුලයේ සිට තම දරුවන් සයුරට බිලිවීමට ගිය අවස්ථාවේදී තම වල්ගයෙන් මහසයුර හිදුවා දරුවන් බේරාගැනීමට උත්සුක වූ ආත්මයේ සිට බුදුවන භවය තෙක් ම සැමියා හා බිරිඳ වශයෙන් සාංසාරිකව ගමන් කරන්නට වූහ. එහෙත් මෙවැනි සාංසාරික පේ‍්‍රමයක් පවත්වා ගෙනයාම වර්තමානයේ ඉතාමත් අසීරුය. මේ සඳහා වර්තමාන සමාජය හා පුද්ගලයා තුළ බාධාවන් රැුසක් ම පවතී.

පේ‍්‍රම කරන කාලය යනු විවාහයට මෙහා ඇති පරිවාස කාලයක් ලෙසින් හැඳින්විය හැක. එමෙන් ම මෙම කාලය තුළ ඉතා කුඩා දෙයකින් වුවද පුද්ගලයින් ක්ෂණිකව වෙනස් විය හැක. එහෙයින් මෙම පරිවාස කාලය තුළ මේ සියල්ල අවබෝධයෙන් යුතුව ගළපා ගත යුතු ය. මේ පිළිබඳව බුදුදහමෙහි එන අංගුත්තර නිකායට අයත් සංවාස සූත‍්‍රයෙහි විස්තරාත්මකව විග‍්‍රහ කර තිබේ.  එමගින් දෙදෙනෙක් අතර ගැළපීමක් ඇති කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කෙරේ. එනම්,

  • සම ශ‍්‍රද්ධා – මින් අදහස් වන්නේ ගැඹුරු විශ්වාසයකින් යුක්තවීමයි. එනම්, සම්බන්ධතාවයකදී දෙදෙනා විසින් දෙදෙනාව තේරුම් ගැනීම මින් අදහස් වේ. මෙහිදී ඔවුනොවුන් දෙදෙනා පිළිබඳව ම ගොඩනඟා ගෙන ඇති ආකල්ප, ගැඹුරු විශ්වාසයන් යනාදිය ප‍්‍රධාන වේ.
  • සම ශීල – සීල යනු චර්යාවට සමාන පදයි. ඒ අනුව මින් අදහස් වන්නේ දෙදෙනා තුළ ම සමාන වූ චර්යවාක් පැවැතිම යි. එනම්, රැුකියාව, ආගම, ඕනෑම දෙයක් පිළිබඳව සිතන පතන ආකාරය, කුලය, කන බොන ආකාරය, යම් යම් දෑ සඳහා සමාන රුචිකත්වයන් දැක්වීම යනාදිය යි.
  • සම ප‍්‍රඥා – දෙදෙනා තුළ ම මනා ජීවනාවබෝධයක් මෙන් ම තම මතය වැරදි යැයි අනෙකා පැවසුවහොත් එහි සත්‍ය වටහා ගෙන එය නිහතමානීව වෙනස් කර ගැනීම වැනි දෑ මෙහිදී දැකිය හැකි වේ. එනම්, යම් යම් දේවල් පිළිබඳව සමාන රසවින්දනයක් පැවතීම මින් අදහස් වේ.
  • සම චාග – දෙදෙනා තුළ ම සමාන පරිත්‍යාගශීලී බවක් පැවතීම මින් අදහස් වේ. මෙහිදී පරිත්‍යාගයන් අතර වඩාත් සුවිශේෂී පරිත්‍යාගයන් වනුයේ සිය පෞද්ගලික මතිමතාන්තර, රුචි අරුචිකම්, ආකල්ප සහ කාලය මෙන් ම ශ‍්‍රමය වැනි දෑ පරිත්‍යාග කිරීමට සිය කැමැත්තෙන් ම සූදානම් වීම යි.

එහෙත් නූතන සමාජ තුළ මෙහි ප‍්‍රායෝගික ස්වාභාවයක් පවතින බවක් දක්නට නොමැත. එම නිසා අතීතයට සාපේක්ෂව නූතන සමාජය තුළ දිග කසාද වලට වඩා කොට කසාද සුලබ වී ඇත. එයට හේතුව විවාහයට පූර්වයෙන් පවතින පරිවාස කාලය හෙවත් ආදරය කරන කාලයේදී ගළපා ගත යුතුව ඇති හැඟීම් සහ ආවශ්‍යතාවන්, මතයන් සහ ආකල්ප ගළපා නොගැනීමයි.

බුද්ධත්වයට පත්වීම යනු මිනිස් මනස සියයට සියයක් ම නිවැරිදිව ක‍්‍රියාත්මක වන අවස්ථාවයි. මෙම අවස්ථාවේදී විශ්වයේ ඇති සියලූ දේ පිළිබඳව අවබෝධයක් ස්වාභාවයෙන් ම පහළ වේ. එම අවබෝධය හේතුවෙන් බුදුරජාණන්වහන්සේ වෙනත් ධර්ම සත්‍යයන්ට අමතරව මිත‍්‍රත්වය, ආදරය, සෙනෙහස හා විවාහය යනාදිය පිළිබඳව ද කරුණු ඉදිරිපත් කර ඇත. එනම්, සමානාත්මතාවය තුළ මේ සියල්ල ගැළපීමක් සිදු වේ. එබැවින් විවාහයකදී සිදු කළ යුතු ලොව ඇති හොඳ ම පොරොන්දම් ගැළපීම වනුයේ ඉහත සඳහන් කරන ලද කාරණා හතර ගැළපීමයි.

අංගුත්තර නිකායෙහි එන සප්ත භාර්යා සූත‍්‍රයෙහි සඳහන් පරිදි භාර්යාවන් ප‍්‍රභේද කිහිපයකට වර්ග කොට තිබේ. මෙය නූතනය වනවිට සප්ත පේ‍්‍රමවන්තයින් ලෙසින් ද ආරෝපණය කොට විමසා බැලිය හැක. එනම්,

  • වධක භාර්යාව / වධක පේ‍්‍රමවන්තිය – මෙවැනි අය නිතරම ආදරය සහ අවධානය බලාපොරොත්තුවෙන් මැසිවිලි නැගීම හා වදදීම වැනි දෑ සිදු කරයි.
  • ස්වාමි භාර්යාව / ස්වාමි පේ‍්‍රමවන්තිය – මෙවැනි අය දරුවන්ගේ සහ සැමියාගේ මෙන් ම නිවසේ සියලූ ම වැඩ රාජකාරි ඉටු කරනු ලබයි.
  • චෞර භාර්යාව / චෞර පේ‍්‍රමවන්තිය – මෙවැනි අය කෙතරම් මුදල්, ශ‍්‍රමය හා කාලය කැප කළ ද පෞද්ගලික ස තුට සහ සැපය අරභයා සොරකම් කිරීම හෝ මංකොල්ලාකෑම හෝ බලෙන් යම් යම් දේ ලබා ගැනීම සිදු කරයි.
  • මාතෘ භාර්යාව / මාතෘ පේ‍්‍රමවන්තිය – මෙවැනි අය මවක් මෙන්සොයා බලමින් කටයුතු කරයි.
  • සකී භාර්යාව / සකී පේ‍්‍රමවන්තිය – මෙවැනි අය බොහෝ කාලයකට පසුව හමුවන මිතුරෙකු දකින්නාක් මෙන් හමුවන්නාක් මෙන් ඉතාමත් සුහදශීලීව මිතුරෙකු ලෙසින් කටයුතු කරයි.
  • භගිනි භාර්යාව / භගිනි පේ‍්‍රමවන්තිය – මෙවැනි අය සහෝදරියක් මෙන් කටයුතු කරයි.
  • දාසි භාර්යාව / දාසි පේ‍්‍රමවන්තිය – මෙවැනි අය දාසියක මෙන් සේවය සපයමින් කටයුතු කරයි.

නූතනය වනවිට මෙකී භාර්යා විධි සමූහයෙන් වඩාත් ගැටලූවක් වෙමින් පවතිනුයේ මාතෘ භාර්යා සංකල්පයයි. මෙහි සැබෑ අර්ථය වනුයේ මවක් මෙන් ආදරය සහ රැුකබලා ගැනීම විනා සැබෑවට ම මවගේ භූමිකාව භාර්යාව තුළින් මතුවීම නොවේ. එහෙත් නූතන සමාජ කාන්තාවන් මිත‍්‍රත්වය සහ පේ‍්‍රමය තුළ කෙරෙන පිය තෙපුල්, කොමළ බස් වහර හෝ අංගචලනයන් විවාහ වී දරුවන් ලැබුණු පසු ක‍්‍රමයෙන් අඩු කරනු ඇත. එහෙත් විය යුත්තේ එය නොව. එයට හේතුව වනුයේ ශාරීරිකව කන්තාවක් මවක් වුවද ඇයට භාර්යාවක් ලෙස විවාහා ජීවිතය තුළ සිය සැමියා වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් සහ වගකීම් කොටසක් පවතී. එමෙන් ම තම ලෙයින් දරුවෙකු බිහි වුවද සෑම මොහොතකම කායිකව, මානසිකව හෝ භෞතිකමය වශයෙන් පුරුෂයෙකු තමා පියෙකු යැයි සිතා සිය අවශ්‍යතා කැප නොකරනු ඇත. එය ජීවවිද්‍යාත්මක අවශ්‍යතාවයන් හේතුවෙන් ඇතිවන තත්වයකි. මෙය නිසි ලෙස වටහා ගත නොහැකි කාන්තාව සිය සැමියා ඉදිරිපිටදී ද මවගේ භූමිකාව ඉදිරිපත් කරයි. මේ නිසා කාලයක් ගත වනවිට සිය බිරිඳ කෙරෙහි පවත්නා ආකර්ෂණය ක‍්‍රමයෙන් අඩුවනු ඇත. මෙහිදී ප‍්‍රබල බලපෑමක් ඇති කරවනුයේ වචනය යි. මෙකී වචනයන් කාලානුරූපීව චර්යාත්මක ලෙස ක‍්‍රියාවට නැංවේ. එනම්, සිය සැමියා කෙරෙහි පැවති සුරතල් ආදරබර වදන් සහ ළංවීම් සීමා කොට සිය අවදානය සහ ආදරය මුළුමනින් ම දරුවා කෙරෙහි පමණක් පැවතීම යි. එහෙත් මිත‍්‍රත්වය තුළින් ගොඩනැගෙන ආදරය සහ විවාහයක දී එසේ නොවනු ඇත. දෙදෙනා ම සිය අවශ්‍යතා, රුචි අරුචිකම් මෙන් ම වෙනස්කම් මැනවින් වටහාගනු ඇත. මේ හේතුවෙන් නූතන සමාජය සඳහා වඩාත් අවශ්‍ය වනුයේ සකී භාර්යාවන් ය. එනම්, සිය සැමියා සමඟ මිතුරියක මෙන් ඉතාමත් සුහදව, ආදරණීයව කටයුතු කිරීමට හැකි තැනැත්තියකි. එවැනි භාර්යාවක් කෙරෙහි ඇති මානසික ආකර්ශනය සහ චර්යාත්මක ආකර්ශනය හේතුවෙන් පෙර පරිදි ම මනා ලෙස අවබෝධ කරගත් ගැඹුරු විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් විවාහ සම්බන්ධතාවයක් පවතිනු ඇත.

අනෙක් අතට මිනිසුන් ලෙසින් අප සියලූ තාක්ෂණික හා සන්නිවේදන සීමාවන් අතික‍්‍රමණය කරමින් 21 ශතවර්ශය පැමිණ සිටිය ද තනි පුද්ගල ස්වාධීනත්වය සංස්කෘතික හා සමාජ බලය පිළිබඳව කතා කිරීමේදී අප තවමත් ගත කරනුයේ පුරුෂෝත්තමවාදී ආකල්ප දරණ පුරුෂාධිපත්‍යයට නතු වූ සමාජයක් තුළ ය. එහෙත් ප‍්‍රායෝගික සමාජ ජීවිතය දෙස බැලීමේදී පෙනී යන්නේ සමාජය තුළ බහුලව ඇත්තේ නාමමාත‍්‍රික පුරුෂාධිපත්‍යකින් යුත් සමාජයක් බවයි. එහෙත් මෙවැනි නාමමාත‍්‍රික පුරුෂාධිපත්‍ය හමුවේ වුවද කාන්තාවන්ගෙන් වැඩි කොටසකට භාර්යාවන්ගෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු කළ යුතුව ඇත. එනම්, තම ස්වාමියාට ගැළපෙන පරිදි තම සිතුම් පැතුම් ගළපාගත යුතු ය. අංගුත්තර නිකායෙහි සඳහන් පරිදි කුමාරිකෝවාද සූත‍්‍රය විවාහයට පත්වීමට නියමිත අයට අවවාද කර දේශනා කළ යුතුය. මෙවැනි සූත‍්‍ර ගණනාවක් නිවනට මෙහා ලෝකයට ධර්මය ගළපා ගැනීම සඳහා දේශනා කර ඇති අතර සිඟාලෝවාද සූත‍්‍රයේ යුතුකම් පිළිබඳව දේශනාව මෙලොව යහපත් කර ගැනීම සඳහා  බුද්‍රජාණන්වහන්සේ දේශනා කොට ඇත. එහෙත් ඇතැම්විට සාංසාරික ආදරය සඳහා මේ කිසිවක් බලනොපෑමට ද ඇත.

ඇතැම්විට කාන්තාවන් ආදරයේ දී එකිනෙකා තේරුම් ගැනීම ලෙසින් අදහස් කරනුයේ කරන කියන කරන  ඕනෑම දෙයක් දෙස උපේක්ෂාවෙන් යුතුව බලා සිටීම යි. පුරුෂයින් විසින් කාන්තාවක් තමාව තේරුම් ගැනීම ලෙසින් අදහස් කරනුයේ සෑම දෙයක් ම ඔහු කෙරෙහි පමණක් පැවතිය යුතුය යන්නයි. මේ හේතුවෙන් ආදරය පවත්වා ගැනීමේදී සැකය මතුවනු ඇත. එය ආදරයේදී ඇතිවන මූලික ම ගැටලූවකි. මෙයට හේතුව වනුයේ දෙදෙනා දෙදෙනාට ම විවෘත නොවීමයි. දෙදෙනාට දෙදෙනාව සැබෑ ලෙසට ම අවබෝධ කර නොගැනීමයි. මනා සම්බන්ධතාවයක දී එකිනෙකාට විවෘතවීමෙන් සැකය නැති වේ. එහෙයින් බැඳීමක දී සැකය වර්ධනය නොවෙන ලෙස කටයුතු කිරීමට දෙදෙනා ම වගබලා ගත යුතුය.

පුරුෂයෙක් හා කාන්තාවක් ළංව සිටින විට එක් ඇසක් අන්ධ වී අනෙක් ඇස පිය වේ යනුවෙන් මතයක් පවතී. ආදරය අන්ධ යැයි පවසනුයේ ද එබැවිනි. එහෙත් සැබෑවට ම ආදරය යනු කුමක්දැයි යන්න හඳුනාගත යුතුය. ආදරය යනු ලෝකයා ඉදිරියේ පෙන්වන දෙය හෝ රණ්ඩුවීම හෝ ඉල්ලන සෑම දෙයක් ම ලබාදීම හෝ නොවේ. එහෙත් මෙය පරමාර්ථයක් ලෙස ගත් කළ මායාවකි. එහෙත් ඇතැම්විට බැඳීම් පවත්වා ගැනීමට මෙවැනි මායාවන් සහිත ක‍්‍රියාවන් ද අවශ්‍ය වේ. එහෙත් මිනිසෙකු ලෙසින් එය උන්මාදයක් කර නොගත යුතුය.

සාමාන්‍යයෙන් භෞතික ශරීරයක් ඇති අයට පේ‍්‍රමය ඇති නොවේ නම් එය කිසියම් රෝගයක හෝ අසාමාන්‍ය ස්වාභාවයක් හේතුවෙන් ඇතිවන තත්වයක් විය යුතුය. සැබෑවට ම මෙකී ආදරය හෙවත් පේ‍්‍රමය ඇති වන්නේ මනුෂ්‍ය හදවතට නොව මොළයට ය. එහෙයින් හදවතට වඩා මොළය පාවිච්චි කරමින් බැඳීම් පවත්වන විට විවාහය තෙක් සහ විවාහයෙන් අනතුරුවත් එම බැඳීම පවත්වාගෙන යාම ඉතාමත් පහසුය.

මීට අමතරව පොදුවේ ගත් කළ මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය කාරණා හතරක් පවතී. එනම්, ආහාර (ආහාරට්ඨිකා), නිද්‍රා (සයනංච), භය (භයංච), සංසර්ගය (මෛථුනංච) යනාදියයි. මෙය සංස්කෘත පඤ්චතන්ත‍්‍ර අදහසක්.  ඒ අනුව මෙහි මූලික පදනම ආදරය, පෝෂණය, විවේකය, ආරක්ෂා කිරීම සහ ලිංගික සබඳතා වලට බැඳී ඇත. මේ සියල්ල ම අවබෝධ කරගන්නා කාලය වනුයේ විවාහයට පෙර ආදරය කරන කාලයයි. ඒ අනුව එකී අවබෝධයෙන් පසුව සිදුවන විවාහය යනු එක්තරා තෝරා ගැනීමකි. එනම්, නිවුණු ස්වාභාවයෙන් යුත් දුරදිග බලා තීරණ ගන්නා, යහපත් ඇවතුම් පැවතුම් සහිත, ධනාත්මක ආකල්පයන්ගෙන් යුතු වඩාත් සුදුසු ම පුද්ගලයෙකු තෝරා ගැනීමට වගබලා ගත යුතුය.

බටහිර දර්ශනිකයෙකු විසින් මදුවිත පානයට ප‍්‍රථම ප‍්‍රශ්න හතරකට පිළිතුරු සැපයීම කළ යුතු යැයි ප‍්‍රකාශ කරන ලදි. එනම්,

  • පානය කරන්නේ මොනවාද?
  • පානය කරන ප‍්‍රමාණය කොපමණක්ද?
  • පානය කරන්නේ කා සමඟ ද?
  • පානය කරන්නේ කොතැනද?

මේ ආකාරයට තමන් ආදරය කිරීමට හෝ විවාහය සඳහා සුදුසු අයෙක් තෝරා ගැනීමේදී ඔහු හෝ ඇය කරන්නේ කුමක්ද සම්බන්ධතා පවත්වන්නේ කෙබදු අය සමඟ ද තමා තෝරාගත් පුද්ගලයා කෙබදු අයෙක් ද යනාදී වශයෙන් හොඳින් සිතා බලා හා සොයා බලා පූර්ව සහ පූර්ණ අවබෝධයකින් යුතුව තීරණය කළ යුතු අතර විවාහයෙන් අනතුරුව මේ සියල්ල දැනගෙන අවබෝධයෙන් යුතුව ජීවත් විය යුතුය.

මේ අනුව මිත‍්‍රත්වය, ආදරය හා විවාහය යනු එකිනෙකට වෙනස් වූ මානව සම්බන්ධතා ගොඩනගන මානුෂීය බැඳීම් නොවේ. ඒ අනුව මිත‍්‍රත්වය තුළින් ආදරයත් විවාහය සඳහා අවශ්‍ය පදනමත්  නිර්මාණය විය යුතුය. ඒ සඳහා දෙදෙනෙකු අතර පවත්නා අන්‍යෝන්‍ය අවබෝධය සහ ඉතා ගැඹුරු වූත් අචල වූත් අන්‍යෝන්‍ය විශ්වාසය සහ අනෙකා වෙනුවෙන් සිය කාලය, ශ‍්‍රමය, මතිමතාන්තර, රුචිඅරුචිකම් කැප කිරීමට ඇති ස්වකීය කැමත්ත අත්‍යාවශ්‍යය. මෙවැනි පදනමක් සඳහා බුදුදහමෙහි එන ධර්ම කොටස් සහ සංකල්පයන් ආශ‍්‍රය කරගැනීම තුළින් වඩාත් යහපත් වූ ජීවිත ගත කිරීමට හැකියාවක් ලැබෙනු ඇත.

Wasana Fernando

U. Wasana Lakshanthi Fernando Assistant Lecturer in Psychology, University of Kelaniya who is a former student of Samudradevi Balika Vidyalaya, completed all course units with a second class [Upper Division] Honors and with a GPA of 3.83.  She is following Advance Diploma in Psychotherapy and had followed a Diploma in Counselling Psychology in Mental Health Foundation,  Sri Lanka. ​

මිත‍්‍රත්වය, ආදරය, විවාහය සහ බුදුදහම
ප්‍රතිචාර

ප්‍රසිද්ධ ලිපි

AdvertisementCloudways Managed hosting
උඩට යන්න