රෝගියකු සුවපත් කිරීම දේවානුභාවයෙන් උරුමවන දිව්‍යමය අනුහස් ක්‍රියාවකි. එහෙව් දිව්‍යමය වෘත්තියක් ලෙස සළකන වෛද්‍ය වෘත්තිය මානවයා ජනිත වූ කළ පටන් පහළ වූ එකක් යැයි සැළකේ. අපරදිග වෛද්‍ය විද්‍යාවේ පීතෘවරයා ලෙස ග්‍රීසියේ හිපොක්‍රටීස් මෙලොව උපදින්නටත් පෙර, පූර්ව කල්පයේ භාරතීය ඍෂිවරුන් ආයුර්වේද කර්මයෙහි ශිල්ප දැක්වු අතර මේ හෙළබිමෙහි රාජ්‍යත්වය ඉසිලූ මහා රාවණා රජු හෙළ වෙද ශිල්පයේ ප්‍රාරම්භය සනිටුහන් කළේය. විජයතරණයේ සිට රාජසිංහ හරණය දක්වා භාරත වෙදකම සමඟ හාවෙමින් විකාශනය වූ හෙළ වෙදකම බටහිර ආක්‍රමණ හා මුසුවෙමින් තීරණාත්මක ඉමකට සේන්දු විය. එහි කූටප්‍රාප්තිය 1870 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වෘත්තීය අධ්‍යාපන ආයතනය ලෙස කොළඹ වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමෙන් ස්ථම්භනය විය. එදවස පටන් මෙරට සිටි සුදුජාතිකයෝ, කළු සුද්දෝ මෙන්ම කළු සිංහළයෝද වෘත්තිය නිල භාවයක් සහිතව මෙරට තුළදීම වෛද්‍ය වෘත්තියට ප්‍රවිශ්ට විය. සියවස් එකහමාරකට අධික කාලයක් තිස්සේ රාජ්‍ය ඒකාධිකාරයකට යටත්ව පැවති වෛද්‍ය විද්‍යාල ව්‍යුහය පෞද්ගලික අංශය සඳහා විවර කිරීමේ සංවාදය 21 වන සියවසේ මුල් දශකයේ සිට ඇරඹී තිඹේ.

වෛද්‍යවරයකුගේ වෘත්තීය භූමිකාව මිනිසකුගේ ජීවිතය සමඟ ඓන්ද්‍රීයව බැඳී පවතී. වෛද්‍යවරයකු සිදුකරන ඉතා සුළු අතපසුවීමක ප්‍රතිඵලය මහා භයානක ඉරණමකින් කෙළවර විය හැකිය. එබැවින් වෙනත් සියළු වෘත්තීන්ට වඩා වෛද්‍යවරයකු බිහි කිරීම ඉහළ ගුණාත්මක හා ප්‍රමිතිගත ක්‍රියාවලියක් වීම අනිවාර්ය වේ. වෛද්‍ය අධ්‍යාපනය වෛද්‍ය දැනුම, සායනික පුහුණුව සහ පළපුරුද්ද යන ත්‍රිත්ව අංගයේ සංකලනයකි. ඉහත පළමු අංගය විශේෂඥ වෛද්‍ය ආචාර්යවරුන්ගේ මාර්ගෝපදේශ යටතේ දේශනාගාර තුළද දෙවන අංගය අසාධ්‍ය රෝගීන්ගේ රෝග නිරීක්‍ෂණයන් තුළින් පරිවාස සමයේ දී ශික්‍ෂණ රෝහල් තුළද අත්කර ගන්නා අතර ; ඉහත විෂය ඥාණය සහ ශිල්පීය ඥාණය සපුරන ලද්දෝ වෛද්‍යවරුන් ලෙස වෘත්තියට ඇතුළත් වීමෙන් පසුව ලබන අද්දැකීම් සමඟ පළපුරුද්ද නම් තෙවන ඥාණය අත්පත්කර ගනිති. එබැවින් ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනයක් සදහා සුදුසුකම් ලත් වෛද්‍ය ආචාර්යමණ්ඩලයක් සේම ප්‍රමිතිගත ශික්‍ෂණ රෝහල් පද්ධතියක් තිබීම අනිවාර්ය වේ. මෙම යටිතල පහසුකම් ශ්‍රී ලංකාව තුළ සම්පාදනය කළ හැක්කේ රාජ්‍ය හෝ රාජ්‍ය අනුග්‍රහය ලද ආයතන වලට පමණි. මේ හේතුවෙන් අනෙක් සියලු වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා ලද අධ්‍යාපනික ඉඩහසර වෛද්‍ය අධ්‍යාපනයට අහුරා තිබිණි.

ඕනෑම වෘත්තියක වෘත්තිය අවස්ථා ප්‍රමාණය තීරණය වන්නේ වෘත්තීය ඉල්ලූමට සාපේක්‍ෂව සම්පාදනය කළ හැකි රැකියා අවස්ථා අනුවය. මෑතකදී නිකුත් වූ සංඛ්‍යා ලේඛණ දත්ත අනුව ලංකාවේ එක් වෛද්‍යවරයකුට සිටින රෝගීන් සංඛ්‍යාව 1036 ක් වන අතර රජය සෞඛය සඳහා දරණ වීයදම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 1.6කට ද අධ්‍යාපනය සඳහා දරණ වීයදම සියයට 2කට සීමා කර තිබේ. මෙරට බෝවන හා බෝ නොවන රෝගවල පෘථුල ව්‍යාප්තිය නිසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම වෛද්‍යවරු සඳහා හිඟයක් නිර්මාණය වීමට මෙම තත්වය හේතු වීය. ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන්ගේ විදේශ ගලනය හේතුවෙන් මෙම හිඟය තවදුරටත් ප්‍රසාරණය වී තිබේ. මේ සියලු කාරණා කරණ කොට ගෙන ශ්‍රි ලංකාව තුළ වෛද්‍ය වෘත්තිකයන් සඳහා අධික ඉල්ලුමක් බිහිවී වී තිබෙන අතර රාජ්‍ය විශ්වවිද්‍යාල මේ හිඩැස පිරවීමට අසමත් වීම හේතුවෙන් වාර්ෂිකව දහස් ගණනක් සිය වෛද්‍ය සිහිනය සැබෑ කර ගැනීම සඳහා විදේශ විනිමය වැය කරමින් විදේශ රටවලට සංක්‍රමණය වීමේ ප්‍රවණතාවයක් ඇති වී තිබේ. එම ව්‍යාපාරික අවස්ථාව උකුසු ඇසින් ඩැහැගත් පෞද්ගලික අංශය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට මුල් ගල් තැබීය.

එක් අතකින් වෛද්‍ය උපාධිය සඳහා පවතින දැඩි ඉල්ලුමත් අනෙක් අතට රජයේ වෛද්‍ය විද්‍යාල වල ඉඩකඩ සීමිත වීමත් අතර තුලනයක් ඇති කිරීම සඳහා ක්‍රියා කිරීම කාලීන අවශ්‍යතාවයකි. උසස්පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාල වලට සුදුසුකම් නොලද නමුත් ඉහළම සාමාර්ථ ලැබූ සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමකට යටත්ව මෙන්ම ජීව විද්‍යා අංශයෙන් මූලික සුදුසුකම් සැපිරූ ශිෂ්‍ය ශීෂ්‍යාවන්ට මුල්‍ය ආධාර සහිතව සාධාරණ පාඨමාලා ගාස්තු යටතේ රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් යටතේ මෙරට තුළ ප්‍රමිතිගත වෛද්‍ය විද්‍යාල සඳහා ඉඩකඩක් නිර්මාණය වී තිබේ. එමගින් රටසතු බුද්ධිය, මුදල් හා විදේශ විනිමය එකසේ රටතුළම ඉතිරිකරගත හැකිවනු ඇත. මෙම රාජ්‍ය නියාමණය ක්ෂණිකව සිදුකළ යුතු කාලෝචිත මැදිහත්වීමක් වන අතර එසේ නොකළහොත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉබාගාතේ සිය වාණිජ අරමුණු අරඹයා ජනතාව තවදුරටත් ගොදුරු කර ගනු ඇත.

නිදහස් අධ්‍යාපන සංකල්පය බිහිකිරීමේ පදනම වූයේ සමාජයේ පවතින ආදායම් ව්‍යාප්තියේ විෂමතාවන් සමනය කිරීමයි. ආදායම් ව්‍යාපාප්තිය සමනය කිරීම සඳහා නිර්ධන පංතියට නිදහස් අධ්‍යාපනයේ ඔසුව පිරිනැමිය යුතු අතර ධනපති පංතියට මුල්‍යමය අධ්‍යාපන කෙවිටෙන් පහරදීම එකසේ කළ යුතු වේ. නමුත් මෙම දෙආකාරයේම අධ්‍යාපනය සිදුවිය යුත්තේ රාජ්‍ය නියාමනය සහ මාර්ගෝපදේශ වලට අනුකූලවය. එසේ නොකොට රට දෙකට බෙදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම පිළිබඳ අරගලයක පැටලුනහොත් ඉන් බැටකන සාමාන්‍ය ජනතාව ඔසු නොලබාම පරලොව සැපත් වනු ඇත. එදවසට වෛද්‍යවරයකුට බෙහෙත් දීමට සිදුවන්නේ තවත් වෛද්‍යවරයකුටම පමණක් වනු ඇත.