නීතීඥවරයා යනු නීතිය පිලිබඳ බලධාරිත්වය දරා සිටින, අධිකරණයකදී කවර කෙනෙකු වෙනුවෙන් පෙනී සිටිය හැකි අන්‍යතම වෘත්තීයධරයෙකි. නීතීඥ වෘත්තීයේ පුරාවෘත්තය, පුරාණ රෝමයේ පුංචි වැනීසියේ වීදි දක්වා විහිදි යයි. එලෙස වානිජ වෙළෙඳුන්ගේ සහය වෘතිකයන් ලෙස ආරම්භවූ කාළවර්ණ ලෝගුධාරින්ගේ ඉතිහාසය වර්තමානය වන විට සමාජයේ සමස්ත  සන්දර්ශනයක් හා යාවූ ග්‍රාමක වෘතියක් බවට පත්ව තිබේ. නීතීඥවරයකු, නඩු මෙහෙයවන්නෙකු, ලේඛණ සකසන්නෙකු, උපදෙස්දෙන්නෙකු හා නීති නිලධාරියෙකු ලෙස කවරාකාරයෙන් සිය වෘත්තීය රංගනයේ යෙදුනද, ඔහුගේ වෘත්තියේ සමාජ භුමිකාව අති සුවිසල් වේ.
නීතීඥවරයාට අයත් පළමු කාර්යභාරය වන්නේ, තමන් විසින් නියෝජනය කරණු ලබන සිය සේවාදායකයගේ උපරිම යහපත වෙනුවෙන් ක්‍රියා කිරීම වේ. නමුත් මෙම යුතුකම ඉටු කිරීමේදී ඔහු/ඇය  තමන් විසින් අවනත විය යුතු වෘත්තීය හා සමාජීය බැඳීම්  කෙරෙහි සිය අවධානය යොමු කිරීම වැදගත් වේ. උදාහරණයක් ලෙස, ශ්‍රී ලාංකීය  නීතීඥවරයන් පාලනය වන 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති සංග්‍රහයේ දක්වා ඇති පරිද්දෙන් නීතීඥවරයකු  සතුව පළමුව සේවාදායකයා කෙරෙහිද, දෙවනුව  සහෝදර වෘතිකයන් කෙරෙහිද, තෙවනුව සමාජය කෙරෙහිද ඇති බැඳීම් කෙරෙහිද නීතීඥවරයා සැළකිලිමත් වීම වැදගත් වේ. එබැවින් අධිකරණයේ නඩුවක් භාරගත් නීතීඥවරයකු සැළකෙන්නේ එක් පාර්ශවයක නියෝජිතයකු ලෙස නොව, සමස්ත සමාජය  කෙරෙහිම යුතුකම් ඉටු කරන අධිකරණ නිළධාරියෙකු ලෙසටය.සමාජ යුක්තිය වනාහී සමස්ත මානව සංහතිය වෙත සාධාරණත්වයේ  තිළිණයයි. අධිකරණය යනු සමාජ යුක්තිය ඉටු කරන රන් දෙවොළයි. එහි කපුවාගේ භූමිකාව ඉටු කරන නීතීඥවරු සැළකිය යුත්තේ, දෙවොලේ වැඩවසන දෙවියන්ට සාධාරණ තීන්දු ගැනීම සඳහ අවැසි නීතිය, දත්ත හා දැනුම සපයන අතරමැදියෙක් ලෙස විනා යුක්තිය අයුක්තියට හරවන, බොරුව ඇත්ත කරන සමාජ ආතුරයන් පිරිසක් ලෙසට නොවය. ඔවුන් විසින් අධිකරණය තුල ඉටුකලයුතු වන්නේ, “ස්වභාවික යුක්ති මූල ධර්මයන්ට” අනුකූලව “දෙපාර්ශවයන්ටම කන් දියයු තුය” යන සංකල්පය යථාර්තයක් බවට පත් කරමින් අපරාධ මැඩපැවත්වීම යන සමාජ උවමනාව මෙන්ම අපරාධකරුවෙකුගේ වුවද මානුෂීය අවශ්‍යතා යන දෙක අතර තුලිත සාධාරණත්වයක් ඇතිව, සමාජ යුක්තිය දිනා ගැනීමට සමාජයට සහය දීමයි.

නීතීඥවරයකුගේ පළමු කාර්ය විය යුත්තේ සිය සේවාදායකයා වෙනුවෙන් අසත්‍ය වපුරා අයුක්තිසහගත තීන්දුවක් ලබා ගෙන; ඒ වෙනුවෙන් ඔහුගෙන් මුදලක් ඩැහැ ගැනීමට ක්‍රියා කිරීම නොව, සේවාදායකයාගේ සත්‍ය කමාව ලබා ගැනීම වෙනුවෙන් අධිකරණය හමුවේ සාධාරණ හා තුලිත තීන්දුවක් ලබා ගැනීම කෙරෙහි විනිසුරුවරයා යොමුකිරීම වේ.
නීතිය නොදන්නා අඳුරු සමාජයක, එවන් නීතීඥවරයෙක් යනු පහන් කණුවක් වේ. ඒ පහන් එළියෙන් සමාජයටම ආලෝකයක් වන  නීතීඥයකු, යුක්තියේ රන් දෙවොලේ වැඩ වෙසෙන දෙවියන් පවා ඉක්මවා ගිය උත්තම පුරුෂයෙක් වනු නොඅනුමානයි.