මිනිසා යනු එකිනෙකට වෙනස් අවශ්‍යතා, උවමනා හා රුචිඅරුචිකම් සහිත විවිධ වූ පෞරුෂයන්ගෙන් යුක්ත වූවෙකි. එම විවිධත්වය හේතුවෙන් පුද්ගලයා සිය අභ්‍යන්තරික  චිත්තවේග ප‍්‍රකාශ කරනු ලබන්නේ ද ඔවුනොවුන්ට ම ආවේනික ස්වරූපයකින් ය. මේ හේතුවෙන් එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගෙන් වෙනස් ව පෙනෙනු ඇත. කෙසේවෙතත් මේ සෑම විවිධත්වයකින් ම පුද්ගලයා අපේක්ෂා කරනුයේ සිය පෞද්ගලික සාර්ථකත්වය කරා ගමන් කිරීම යි. එසේත් නැතිනම් සතුටින් සහ සැහැල්ලූවෙන් ජීවත්වීම යි. මේ සඳහා අත්‍යාවශ්‍ය සාධක අතර චිත්තවේග බුද්ධිය (Emotional Intelligence) යනු බොහෝමයක් පුද්ගලයින් වැඩි අවධාන්‍යක් ලබා නො දෙන ප‍්‍රධානතම සාධකයක් වශයෙන් හදුන්වාදිය හැක. නූතන සමාජයේ අඩියෙන් අඩියට හිසකෙස් සකස් කරන රූපලාවන්‍යගාර පැවතිය ද මිනිසුන්ගේ ජීවිත සුන්දරවීමට අවශ්‍ය උපදෙස් හෝ දැනුම, ආකල්ප, කුසලතා සහ මානසික විහිතයන් වෙනස් කරන හෝ වෙනස් කරවන කිසිදු ආයතනයක් දක්නට නොමැතිකම කණගාටුවට කරුණකි. එහෙයින් මේ පිළිබඳව යම්තාක් දුරකට හෝ දැනුවත්භාවයක් සහ අවබෝධයක් පැවතීම අනාගත ආයෝජනයක් විය හැකිය.

දැනුම, අත්දැකීම්, අවබෝධය යනාදි ප‍්‍රජානනික සංකල්පයන් කැටිකොට ගත්  චින්තනයට හා චර්යාවට ඇති ගාමක ශක්තිය බුද්ධිය ලෙස නිර්වචනය කළ හැකි වේ. බුද්ධිය නැතහොත් “ප‍්‍රජානන සාමාර්ථ්‍යන්” යනු පුද්ගලයෙකුගේ ප‍්‍රඥාව නැතහොත් ඔහු හෝ ඇය සතු විදග්ධභාවයේ ප‍්‍රතිමූර්තිය යි. සාමාන්‍යයෙන්, උත්පත්තියෙන් ම පුද්ගලයෙකුට බුද්ධිමය බලයක් පිහිටනු ලබයි. එහෙත් එය පුද්ගලානුබද්ධ ව ගතික ස්වාභාවයක් ගනු ලබයි. මේ හේතුවෙන් ශතවර්ෂයකට අධික කාලයක සිට බුද්ධිය යනු කුමක් දැයි යන ප‍්‍රශ්නයට නිශ්චිත නිර්වචනයක් සැපයීමට බොහෝ විද්වතුන්, දාර්ශනිකයින්, විද්‍යාඥයන් මෙන් ම පර්යේෂකයින් උත්සාහ ගෙන ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස බුද්ධිය යනු, ජීවියා තුළ ම ඇතිවන පැහැදිලි ක‍්‍රියාකාරකමක්වන අතර එය ජීවියා විසින් ම සකස් කර ගතයුතු බාහිර වස්තූන් ආශ‍්‍රයෙන් ගොඩනැගෙන්නා වූ දෙයකි (ජීන් පියාජේ), පුද්ගල අදහස් සහ ද්‍රව්‍ය අතර සම්බන්ධතා ගොඩනැගීමක් (ස්පියමන්) මෙන් ම පුද්ගලයාට සහජයෙන් ඇතිවන ශක්තිය හා පෝෂණයෙන් ඇතිවන ශක්තිය යන කොටස් දෙකෙහි එකතුවක් (රේමන්ඞ් කැටල්), ලෙසින් අර්ථකථනය කරන්නට විය. මේ අනුව බුද්ධිය යනු, යම්කිසි ප‍්‍රජානනික ක‍්‍රියාකාරකම් රැසක් මුල්කොට ගත් පුද්ගලයාගෙන් පුද්ගලයාට අනන්‍ය වූ කුසලාතාවයක් වශයෙන් හඳුන්වනුගත හැකිය. 

එමෙන් ම බුද්ධිය යන්න ප‍්‍රධාන වශයෙන් විශ්වීය බුද්ධිය, අධ්‍යාත්මික බුද්ධිය, බුද්ධිමය බුද්ධිය, සමාජමය බුද්ධිය, තාර්කික බුද්ධිය සහ චිත්තවේගාත්මක බුද්ධිය යනුවෙන් වර්ග කිහිපයකට බෙදා දැක්විය හැක. මේ අතුරින් මිනිසාට දියුණු කරගැනීමට අසීරු මෙන් ම පාලනයට හා සංජානනය කර ගැනීමට අසීරු ම බුද්ධිය වනුයේ චිත්තවේගාත්මක බුද්ධිය යි. මෙම දුර්වලතාවය නිසා ම නුතන සමාජය තුළ සංඛ්‍යාත්මක වශයෙන් ගණනය කළහොත් ඉතා ඉහළ අගයක් ගනු ලබන ආතතිය, කාංසාව, විශාදය, පශ්චාත් ව්‍යසන ක්ලමථය සහ තවත් බොහෝමයක් මානසික මෙන් ම චර්යාත්මක ගැටලූ හා අක‍්‍රමතා කෙරෙහි හේතු වී ඇත. එහි අහිතකර ප‍්‍රතිඵලයක් ලෙස ස්ව හිංසනය සහ සියදිවිහානි කරගැනීම වැනි භයානක තත්වයන් සුලබ සමාජ කාරණාවන් බවට පත්වී ඇත.  

චිත්තවේග බුද්ධිය යනු, තම අභ්‍යන්තරයෙහි පවත්නා චිත්තවේගයන් මෙන් ම අනෙක් පුද්ගලයින් තුළ පවත්නා චිත්තවේග හදුනාගැනීමට ඇති හැකියාව යි. එමගින් තමාගේ සහ අන්‍යන්ගේ එකිනෙකට වෙනස් මනෝභාවයන් අර්ථකථනය කිරීමටත් ඒවා හදුනාගැනීමටත් අනතුරුව සමාජ පරිසරයට සුදුසු පරිදි චිත්තවේග කළමනාකරණය කරගැනීමටත් ඒ ඔස්සේ සිය ඉලක්ක සපුරා ගැනීමටත් පහසු වේ. මේ අනුව චිත්තවේග බුද්ධිය සහ පුද්ගල ජීවිත අතර අන්‍යෝන්‍ය වශයෙන්, ශක්තිමත් පදනමක් සහිත සම්බන්ධතාවයක් පැවතීම ඉතා වැදගත් වේ. 

Emotional Intelligence යන පදය පළමුවරට ඉදිරිපත් කරනුයේ වර්ෂ 1964 දී Michael  Beldoch විසින් Psycho Therapeutic Journal හි Practice of Child Psychology & Child Psychiatry (ළමා මනෝවිද්‍යාව සහ ළමා මනෝ චිකිත්සාව පිළිබඳ පුහුණුවීම) නමින් ඉදිරිපත් කරන ලද ලිපියක් තුළ ය. එහි ඉදිරි පියවරක් ලෙස වර්ෂ 1995 දී Emotional Intelligence & Emancipation (චිත්තවේගික බුද්ධිය සහ නිදහස) නමින් ඇමරිකානු මනෝවිද්‍යාඥ, විද්‍යාත්මක පත‍්‍ර කලාවේදී ඩැනියල් ගෝල්මන් (Daniel Goleman) විසින් ග‍්‍රන්ථයක් සම්පාදනය කරන ලදි. අනතුරුව වර්ෂ 1983 දී Howard Gardner ගේ Frames of Mind : The Theory of Multiple Intelligence යන කෘතිය තුළ බුද්ධියෙහි සම්ප‍්‍රදායික ප‍්‍රභේද කිහිපයක් හඳුන්වා දෙන්නට විය. එහිදී පුද්ගලයා සතු අන්තර්වර්තී බුද්ධිය (ස්වයං අවබෝධය, හැඟීම් ඇගයීම, බිය සහ පෙළඹවී) සහ අන්තර්පුද්ගල බුද්ධිය (බලාපොරොත්තු, අභිපේ‍්‍රරණය, අනෙකාගේ කැමැත්ත) ඇතුළත් බහුවිධ බුද්ධි න්‍යාය හදුන්වා දෙන්නට විය. තෙවනවරට ෑපදඑසදබ්ක ෂබඑැකකසටැබජැ යන පදය ඉදිරිපත් වූයේ වර්ෂ 1985 දී Wayne Payne විසින් “A study of Emotion: Developing Emotional Intelligence” නමින් කරන ලද සිය ආචාර්ය උපාධි නිබන්ධනය තුළදී ය. එහෙත්  Emotional Quotient යන පදය පළමුවරට ප‍්‍රකාශයට පත්වූයේ වර්ෂ 1987 දී British Mensa නම් සඟරාවෙහි පළ කරන ලද Keith Beasley ගේ ලිපියක් තුළ ය.

අනතුරුව වර්ෂ 1989 දී Stanley Greenspan විසින් මෙම ෂූ යන සංකල්පය ආකෘතියක් ඇසුරෙන් තවදුරටත් පැහැදිලි කරන්නට විය. කෙසේ වෙතත් මෙය පුළුල් ලෙස විග‍්‍රහ කරන ලද්දේ 1995 දී ඩැනියල් ගෝල්මන් විසින් රචනා කරන ලද Emotional Intelligence : Why it can matter more than IQ යන කෘතියෙහි ය. එහෙත් මෙයට පෙර වර්ෂ 1920 දී ඊ. එල්. තෝන්ඩයික් (Edward Lee Thorndike) විසින් මෙය සමාජ බුද්ධිය යනුවෙන් චර්යාව හා සම්බන්ධ කරමින් ඉදිරිපත් කර තිබිණි. අනතුරුව ගෝල්මන් විසින් ඒ පිළිබඳව කතා කරන්නට විය. ඔහු සඳහන් කරන පරිදි චිත්තවේගාත්මක බුද්ධිය යනු පුද්ගලයා සතු කුසලතා සහ නෛසර්ගික ගතිලක්ෂණවල පෙළගැස්මකි. එමෙන් ම එය නායකත්ව කාර්යඵල සඳහා පේ‍්‍රරණයක් ලෙසින් ද ක‍්‍රියාත්මක වේ.

චිත්තවේග බුද්ධිය පිළිබඳ නියමයන් සහ ආකෘති පිළිබඳව කතා කිරීමේදී ඇමරිකානු මනෝ විද්‍යාඥ ඩැනියල් ගෝල්මන් විසින් චිත්තවේගික බුද්ධිය අර්ථ දැක්වීම සඳහා ඉදිරිපත් කරන ලද ආකෘතිය ප‍්‍රධාන වේ. එය මූලික කොටස් 5 කින් යුක්ත වේ. එනම්,

  1. ස්වයං අවධිමත්භාවය / සම්ප‍්‍රජානනය Self Awareness 

සාමාන්‍යයෙන් ඉහළ චිත්තවේගාත්මක බුද්ධියක් සහිත මිනිසුන් තුළ ඉතා හොඳ ස්වයං සම්ප‍්‍රජානනයක් පවතී. එමෙන් ම ඔවුන්ට තම චිත්තවේග පිළිබඳව  මනා අවබෝධයක් ඇති අතර ඒවා මැඩපැවැත්වීමට වඩා පාලනය කිරීමට හැකියාවක් ද පවතී. තව ද මෙවැනි පුද්ගලයින් සැමවිට ම තමාගේ සැබෑ ස්වරූපය පෙන්වීමට මෙන් ම තම හැකියා සහ කුසලතා පිළිබඳ ව මනා වැටහීමකින් යුක්ත ව ක‍්‍රියා කරනු ඇත.  

  1. ස්වයං නියාමනය Self Regulation 

ස්වයං නියාමනය යනු, ආවේග සහ චිත්තවේග පාලනය කර ගැනීමට තමා තුළ ම ඇති හැකියාව යි. ස්වයං නියාමනයෙන් යුතු පුද්ගලයා සාමාන්‍යයෙන් ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය වැනි චිත්තවේගයන්ට පහසුවෙන් පත් නො වේ. එමෙන් ම ආවේගශීලී හා නො සැලකිලිමත් තීරණයන් හෝ ක‍්‍රියාවන් ඉදිරිපත් නො කෙරේ. . එනම්, සෑම ක‍්‍රියාවකට ම පෙර ඒ පිළිබඳ හොඳින් සිතා බලා කල්පනාකාරී ව කටයුතු කරන අතර සිදුවිය හැකි  ඕනෑ ම වෙනස්කමක් හමුවේ නොසැලී කටයුතු කිරීමේ හැකියාවක් පවතී. තව ද සැමවිට ම අවංකව කටයුතු කිරීමටත් තමාට කිරීමට හැකි දෙයට පමණක් හැකි යනුවෙන් ද නො හැකි දෙයක් ඇත්නම් තම නො හැකි බව නිහතමානී ව පිළිගනු ලබයි. 

  1. අභිපේ‍්‍රරණය Motivation

චිත්තවේගාත්මක බුද්ධිය ඉහළ පුද්ගලයින් තුළ ස්වාභාවයෙන් ම ස්වයං අභිපේ‍්‍රරණයක් පවතී. එමෙන් ම මෙවැනි පුද්ගලයින් කෙටිකාලීන හෝ ක්ෂණික දියුණුව නො සලකා හරින අතර දිගුකාලීන දියුණුව අපේක්ෂාවෙන් කටයුතු කෙරේ.  තව ද මොවුන් සතුව ඉතා ඉහළ නිෂ්පාදන හැකියාවක් පවතින අතර අභියෝග භාරගැනීමට වැඩි කැමත්තක් දක්වමින් කරන කියන සෑම දෙයකින් ම ඉහළ තෘප්තියක් ලබයි. 

  1. සහකම්පනය Empathy 

සහකම්පනය යනු, තමා අවට සිටින මිනිසුන්ගේ දර්ශනය, අවශ්‍යතා සහ  ඕනෑ එපාකම් වටහාගැනීම සහ හඳුනාගැනීමට ඇති හැකියාවයි. එමෙන් ම මෙවැනි පුද්ගලයින් සාමාන්‍යයෙන් මානව සබඳතා කලමනාකරණය කිරීමටත් අන්‍යයන්ට හොඳින් ඇහුම්කන්දීමත් පහසුවෙන් මිනිසුන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමටත් දක්ෂතාවයක් පෙන්නුම් කෙරේ. තව ද ඒකාකෘතික හෝ අගතිගාමී විනිශ්චයන් ප‍්‍රතික්ෂේප කරමින් සැමවිට ම අවංක හා විවෘත ව කටයුතු කරනු ලබයි.

  1. සමාජ කුසලතා Social Skills 

මෙවැනි පුද්ගලයින් සමාජය තුළ ඉතා ශක්තිමත් සමාජ කුසලතා ගොඩනඟාගනු ලබන අතර තමාගේ මෙන් ම අන්‍යයන්ගේ දියුණුව සහ සාර්ථකත්වය වෙත එක ලෙස අවධානය යොමු කෙරේ. එමෙන් ම ආරවුල් කළමනාකරණය, ඉහළ සන්නිවේදන කුසලතා පැවතීම, සම්බන්ධතා පවත්වා ගැනීම හා නව සම්බන්ධතා ගොඩනඟා ගැනීම සම්බන්ධයෙන් ඉතා ඉහළ හැකියාවකින් යුක්ත වේ. 

මීට අමතර ව මෙම පස් වැදෑරුම් සංකල්පයන් මූලික වශයෙන් පෞද්ගලික යෝග්‍යතාව සහ සමාජ යෝග්‍යතාව යටතේ ද වර්ග කළ හැකි ය. එනම්,

පෞද්ගලික යෝග්‍යතාව සහ සමාජ යෝග්‍යතාව

ගෝල්මන්ගේ ඉහත සංකල්ප විග‍්‍රහය විද්‍යාත්මක සභාව විසින් විවේචනයට ලක් කෙරිණ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 2000 දී ගෝල්මන්ගේ මූලාකෘතිය සම්මිශ‍්‍රණය කරගත් තවත් ප‍්‍රධාන ආකෘති දෙකක් ඉදිරිපත් විය. එනම්, 

  1. හැකියා චිත්තවේග බුද්ධිය / හැකියා ආකෘතිය 
  2. ගතිලක්ෂණ චිත්තවේග බුද්ධිය / ගතිලක්ෂණ ආකෘතිය 

වර්ෂ 2004 දී Peter Salovey සහ John Mayer hන අය විසින් මෙම ආකෘතිය සංවර්ධනය කරන ලද අතර එමගින් පුද්ගලයාගේ සිතිවිලි වටහා ගැනීම සඳහා පහසුවන චිත්තවේග මොනවා දැයි නිවේදනය කරනු ලබයි. ඒ අනුව චිත්තවේගාත්මක බුද්ධිය හා සම්බන්ධ ප‍්‍රධාන හැකියාවන් 4 ක් මෙහිදී අනාවරණය කරනුු ලබයි. එනම්, 

  1. චිත්තවේග හඳුනාගැනීම (Perceiving Emotions)

පුද්ගලයෙකුට තමා තුළ ම පවත්නා චිත්තවේග හඳුනාගැනීමට ඇති හැකියාව මින් අදහස් කෙරේ. එනම්, තවත් පුද්ගලයෙකුගේ මුහුණේ ඉරියව්, කටහඩ, රූපයක් හෝ සංස්කෘතික මානව කෘති තුළ ඇති චිත්තවේග කියවා තේරුම් ගැනීමට හා අනාවරණය කරගැනීමට ඇති හැකියාව යි.

  1. චිත්තවේග භාවිතය (Using Emotions)

බහුවිධ ප‍්‍රජානන ක‍්‍රියාකාරකම් සඳහා මුහුණ දීමට අවශ්‍ය චිත්ත්වේගවලින් සන්නද්ධ වීම සහ ඒවා නිසි අවස්ථාවේදී භාවිතයට ගැනීමේ හැකියාව මින් අදහස් කෙරේ. මෙවැනි ස්වාභාවයන්ගෙන් යුතු පුද්ගලයෙකුට  ඕනෑ ම අවස්ථාවකදී ඕනෑ ම කාර්යයක් සඳහා අනුගතවීමටත් ඒවා නිවැදිරි ව ඉටු කිරීමටත් හැකියාවක් තිබේ. 

  1. චිත්තවේග තේරුම් ගැනීම (Understanding Emotions)

චිත්තවේග භාෂාවට අයත් බහුවිධ චිත්තවේගයන් හඳුනා ගැනීමටත් එක් එක් චිත්තවේගයන් අතර පවත්නා සංකීර්ණ සම්බන්ධතා අගය කිරීමටත් ඇති හැකියාව මින් අදහස් කෙරේ. මෙහිදී බාහිරට පෙන්වන චිත්තවේග මෙන් ම බාහිරට නොපෙනෙන චිත්තවේග ද හදුනා ගැනීමට හැකියාව ලැබේ.

  1. චිත්තවේග කළමනාකරණය (Managing Emotions)

තමාගේ මෙන් ම අන්‍යයන්ගේ චිත්තවේග ක‍්‍රමවත් ව පාලනය කිරීමට අවශ්‍ය හැකියාව  පිළිබඳ ව මෙහිදී අදහස් කෙරේ. එහිදී චිත්තවේග පාලනය, සෘණාත්මක චිත්තවේග කළමනාකරණය කිරීම සහ පුද්ගලයා බලාපොරොත්තු වන ඉලක්ක ජය ගැනීමට හැකි පරිදි තම චිත්තවේග පවත්වාගෙන යාම සහ නාභිගත කිරීම යනාදිය සපුරාගත යුතු ය.

එහෙත් මෙම ආකෘතිය වැඩ පරිසරය තුළ භාවිත කිරීමටත් එමගින් පුරෝකථන ඉදිරිපත් කිරීමටත් ඇති හැකියාව අඩු බැවින් කල්යත් ම එහි වලංගුභාවය සම්බන්ධයෙන් විවේචන එල්ල වන්නට විය. මේ නිසා තනි පුද්ගලයා වශයෙන් සලකා බලා උපරිම හා ප‍්‍රාමාණික කාර්යඵල මැනීමට හැකි වන පරිදි Mayer & Salovey – Caruso Emotional Intelligence Test (MSCEIT) – වැඩ පරිසරය තුළ සේවකයින් විසින් සිය සේවාහිමියන් පිළිබඳ ව ඇති චිත්තවේග මැනීම වැනි ස්වයං වාර්තා පරිමාවන් යොදා ගන්නට විය.

වර්ෂ 2001 දී Konstantinos Vasilis Petrides (K. V. Petrides) යන අය විසින් මෙම ආකෘතිය සංවර්ධනය කරන ලද අතර ගතිලක්ෂණ චිත්තවේග බුද්ධිය යනු පුද්ගල පෞරුෂයේ පහළ ම මට්ටමේ සිට නිශ්චය කළ යුතු පුද්ගලයා සතු ස්වයං සංජානන  හැකියාවන් සහ චර්යාත්මක ස්වාභාවයන්ට අයත් ලක්ෂණ සමූහයකි. මෙහිදී The Swinburne University Emotional Intelligence Test (SUEIT) , The Trait Emotional Intelligence Questionnaire (TEIQue.) / Wellbeing, self-control, emotionality, sociably, Big 5 personality Traits වැනි ස්වයං වාර්තා ඇසුරෙන්  පුද්ගල හැකියා හා ස්වාභාවයන් මනිනු ලබයි.

මෙම ආකෘති ද්විත්වයට අමතර ව ඩැනියල් ගෝල්මන් විසින් හදුන්වා දුන් ප‍්‍රධාන කොටස් 5 කින් යුත් ආකෘතිය මිශ‍්‍ර ආකෘතිය (Mixed Model) වශයෙන් ද හඳුන්වනු ලබන අතර එහි දී චිත්තවේගාත්මක බුද්ධිය සමඟ බැඳී ඇති පුද්ගල කුසලතාවයන් නායකත්ව කාර්යඵල සඳහා පේ‍්‍රරණයක් වශයෙන් නාභිගත කිරීමක් දක්නට ලැබේ.

චිත්තවේග බුද්ධිය පිළිබඳ කතා කිරීමේදී මූලික වශයෙන් ඒ පිළිබඳ ඉදිරිපත් ව ඇති දෘෂ්ටිකෝණ දෙකක් හඳුනාගත හැකිවේ. එනම්, සාම්ප‍්‍රදායික ක‍්‍රියාකාරීන්ගේ සාම්ප‍්‍රදායික මතය සහ සම්භාව්‍ය ක‍්‍රියාකාරීන්ගේ සම්භාව්‍ය මතය යන්නයි. මෙම දෘෂ්ටිකෝණ ද්විත්වයට අනුව ඒ ඒ පිරිස් චිත්තවේග බුද්ධිය යන්නෙහි ස්වාභාවය පිළිබඳව විග‍්‍රහ කරන ලද ආකාරය පහත වගුවෙහි සඳහන් වේ.

සම්ප‍්‍රදායවාදීන් Traditionalistසම්භාව්‍ය ක‍්‍රියාකරුවන්  – High Performers
පුද්ගලයා උමතු කරයිපුද්ගලයා අභිපේ‍්‍රරණය කරයි
බාධාවන් ඇති වීම වැඩි කරයිආත්ම විශ්වාසය වැඩි කරයි
විචාර බුද්ධිය අඳුරු කරයිවිශ්ලේෂණය කිරීම වේගවත් කරයි
නිරවුල් චින්තනය වළක්වාලයිජෛව ප‍්‍රතිපෝෂණයක් සපයයි
අනිවාර්යෙන් ම පාලනය කළ යුතු යකළමනාකරණය කළ යුතු ය

මීට අමතර ව චිත්තවේග සම්බන්ධයෙන් මූළික මානයන් කිහිපයක් ද හඳුනාගත හැකි අතර එමගින් මිනිසාගේ කායික හා මානසික යන දෙඅංශය ම නියෝජනයක් කරනු ලබයි. එනම්,

  1. මනෝවිද්‍යාත්මක අංශය

සිත මුල්කොට ගෙන ඇතිවන ආවේගාත්මක තත්වයක් වන අතර එහිදී දැඩි හා මෘදු යනාදි වශයෙන් හැඟීම් ඇති කෙරේ.

  1. කායික විද්‍යාත්මක අංශය
  • චිත්තවේග යනු මිනිස් මනස තුළ ඇති සංකීර්ණ තත්වයකි.
  • චිත්තවේග පුළුල්ව පැතිරී පවත්නා චරිත ස්වාභාවයන් පදනම් කරගත් කායික වෙනස්කම් සිදුවීමට හේතු වේ. නිදසුන් : ආශ්වාස ප‍්‍රශ්වාස කිරීම /හෘද ස්පන්දනය /මුහුණ රතුවීම /දහඩිය දැමීම / නාඩි වැටීම /ග‍්‍රන්ථි ක‍්‍රියාකාරිත්වය 

එමෙන් ම චිත්තවේග බුද්ධියෙහි යහපැවැත්ම සඳහා මූලික වශයෙන් බාධාවන් 3ක් පවතී. ඒවා නම්,

  1. අගතීන් / ප‍්‍රාග් විනිශ්චයන් – Prejudice 

පුද්ගලයින් තුළ පවත්නා පටු මානසිකත්වය, පක්ෂපාතීත්වය සහ අසහනය (Narrow Mindedness, Favoritism, Intolerance)  වැනි මානසික තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් සහ ඔවුන් සමඟ බැඳී විවිධ තත්වයන් පිළිබඳ ව අගතිගාමී ලෙස පූර්ව විනිශ්චයන්ට එළඹේ. එමගින් චිත්තවේගාත්මක බුද්ධියෙහි දෝෂ ඇති කෙරේ.

  1. අඩු ආත්ම සම්මානනය – Low self esteem 

පුද්ගලයා තම හැකියාවන් හා තම චිත්තවේග පිළිබඳ ව අඩු තක්සේරුවකින් පසුවන විට සැමවිට ම තමන් පිළිබඳ ව සෘණාත්මක දැක්මක් ඇති කරගනී. සෑම දෙයක් දෙස ම එම සෘණාත්මක දෘෂ්ටිය ආරෝපණය කිරීමෙන් චිත්තවේගික බුද්ධිමත්භාවයේ පරිහානියක් ඇති කෙරේ.

  1. අධි භාවාත්මක චර්යාවන් – Over Sentimental Behavior 

මානව සම්බන්ධතාවල දී මනෝභාවයන් ඉතා වැදගත් භූමිකාවක් නිරූපණය කෙරේ. එහෙත් එය පුද්ගලයාගේ බුද්ධිමය පාලනයෙන් තොරව අධිභාවාත්මක හෝ අවභාවාත්මක ස්වරූපයෙන් භාවිත කළහොත් එමගින් පුද්ගලයාට මෙන් ම පුද්ගල සම්බන්ධතාවලට ද අයහපත් ආකාරයෙන් බලපානු ලබයි. එබැවින් චිත්තවේගාත්මක බුද්ධිය නැණවත් ව තම පාලනයට යටත් ව නිවැරිදි ව පවත්වා ගත යුතු ය.

මෙවැනි තත්වයන් හේතුවෙන් චිත්තවේග බුද්ධිය දියුණු කරගත යුතුය. චිත්තවේග බුද්ධිය සංවර්ධනය යනු පුද්ගලයෙක් තුළ පවත්නා චිත්තවේගාත්මක අංශයට අයත් හැඟීම්, චිත්තවේග සහ සහකම්පනය යනාදියෙහි ධනාත්මක වෙනසක් ඇති කර ගැනීම යි. පුද්ගලයෙකු ලෙස මෙම චිත්තවේග බුද්ධිය සංවර්ධනය කිරීම තනිව ම වුව ද කිරීමට හැකි අතර එහි දී තමා විසින් ම තම චිත්තවේග සහ චර්යාව නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් අනුගමනය කළ හැක. එනම්,

  1. ඔබ විසින් තමාගෙන් පරිබාහිර පුද්ගලයින්ට ප‍්‍රතික‍්‍රියා දක්වන ආකාරය පිළිබඳ ව නිරීක්ෂණය කළ යුතුය. එහිදී ඔබ යම් දෙයක් හෝ කෙනෙකු පිළිබඳ ව විනිශ්චය කිරීමට ප‍්‍රථම ඒ පිළිබඳ ව හෝ එම පුද්ගලයා පිළිබඳ ව සියලූ ම තොරතුරු දැනගත යුතු ය. එමෙන් ම ඔබ ඒකාකෘතව (stereotype) සිතා බලන්නෙක්ද? යන්න පිළිබඳ ව විමසිලිමත් විය යුතුය. එමෙන් ම තමා අවංකව ම ඔබ සිතන පතන ආකාරය පිළිබඳ ව ස්වයං පරීක්ෂාවක් කළ යුතු අතර අනෙක් මිනිසුන්ට ප‍්‍රතික‍්‍රියා දක්වන අයුරු පිළිබඳ ව ද එහි දී පැහැදිලි ව අවබෝධ කරගත යුතු ය. අනතුරු ව තමා ව අන් අයගේ ස්ථානයෙහි ලා තබා ඔවුන්ගේ දෘෂ්ටිකෝණයට අනුව ද වඩාත් විවෘත මනසකින් හා  ඕනෑකමකින් චිත්තවේග ක‍්‍රියාත්මක කළ යුතු ය.
  2. ඔබ විසින් තමාගේ වැඩ පරිසරය දෙස ද සිතා බැලිය යුතු ය. ඔබ ඒ තුළ ඔබේ පෞද්ගලික ඉෂ්ටාර්ථයන් පමණක් ඉටු කරගැනීමට උත්සාහ කරන්නේද? ඒ සඳහා අන්‍යයන්ට චිත්තවේගාත්මක ව බලපෑම් කරන්නේ ද යන්න සිතා බැලිය යුතු ය. ඒ වෙනුවට නිහතමානීබව, මනුෂ්‍යකම යනාදි ගුණාංග වර්ධනය කරගත යුතු ය.   එවිට නිහඬ ආත්ම විශ්වාසයක් තමා තුළ ම ගොඩනැගෙනු ඇත. එමෙන් ම සැමවිට ම තමාවෙත පෙරළා වාචික හෝ භෞතිකමය ප‍්‍රශංසාවන් අපෙක්ෂා නොකොට අනෙකාට ද ඉදිරියට යාමට සහ දියුණුවීමට අවස්ථාවක් සහ සහයෝගය ලබාදිය යුතු ය. 
  3. තමා පිළිබඳ ව ම ස්වයං ඇගයීමක් කරගත යුතු අතර එහිදී ඔබ තුළ පවත්නා දුර්වලතා සහ ප‍්‍රබලතා මැනවින් හඳුනාගත යුතු ය. අනතුරු ව ප‍්‍රබලතා පවත්වාගෙන යාමටත් දුබලතා සංවර්ධනයටත් අවංක උත්සහයක් ගත යුතු ය. 
  4. තමා පිළිබඳ ව කෙරෙන ස්වයං තක්සේරුවේදී තමා ආතතිකාරක සහිත අවස්ථාවක් පැමිණිවිට එයට ප‍්‍රතිචාර දක්වන ආකාරය කෙබදු ද, තමා පහසුවෙන් කනස්සල්ලට පත්වන්නේ ද? අනෙකා තුළ කිසිදු වරදක් නොමැති වුව ද තම අපහසුතාවය වාචික ව හෝ ශාරීරික ව ඔවුන් වෙත මුදාහරිනු ලබන්නේ ද?  නැතහොත් එය තම ස්වයං පාලනයට යටත් ව පවතින්නේ ද යන්න පිළිබඳ ව විමසිලිමත් ව බැලිය යුතු ය. 
  5. සැමවිට ම තමාගේ ක‍්‍රියාවන් සහ චිත්තවේග පිළිබඳ ව වගකීම තමාවිසින් ම ගත යුතු ය. තම චිත්තවේග හෝ චර්යාව හේතුවෙන් කෙනෙකු අපහසුතාවයට පත්වූයේ නම් සෘජුව සමාව ගැනීම හෝ නැවත එවැනි දෙයක් සිදුවීමට අවස්ථාවක් ඇති වන ආකාරයෙන් ක‍්‍රියා නො කිරීමට වගබලා ගත යුතු ය. 
  6. සැමවිට ම ඔබ යම්දෙයක් කිරීමට හෝ පැවසීමට ප‍්‍රථම ඉන් අනෙකාට හෝ තමාට ම සිදුවන යහපත හා අයහපත පිළිබඳ ව පූර්ව ස්වයං ආත්ම කථනයකින් හා චින්තනයකින් යුක්ත ව කළ යුතුය.

මේ සියල්ල තුළින් පැහැදිලි කරනුයේ පුද්ගලයෙකු සැමවිට ම තම චිත්තවේග පිළිබඳ ව සවිඥානික ව කටයුතු කළ යුතු බවයි. එමෙන් ම එය පුද්ගල චර්යාවෙහි තීරකයා බවට ද පත්වනු ඇත. එහෙයින් චිත්තවේග සංවර්ධනය යනු පුද්ගලයා තම හැගීම් හා චිත්තවේග තමාට මෙන් ම අනෙකාට බලපාන ආකාරය පිළිබඳවත් එමඟින් ලැබෙන ප‍්‍රතිඵල පිළිබඳවත් පූර්ව චින්තනයකින් සහ සහකම්පනයකින් යුක්ත ව කටයුතු කිරීමට පුරුදු වීමය.

මේ ආකාරයට මිනිසෙකු සැබෑ ලෙස ම තම චිත්තවේගාත්මක බුද්ධිය සවිඥානික ව භාවිත කිරීමට හුරුවීම තුළින් පරිපූර්ණ මිනිසෙකු වීමට අවශ්‍ය කරන සියලූ මානුෂීය ලක්ෂණ පවත්වා ගැනීම පහසු වනු ඇත. එය පුද්ගල සාර්ථකත්වයට ද සෘජුව ම බලපානු ලබයි. එනම්, දැනුම, අත්දැකීම්, අවබෝධය යනාදිය ප‍්‍රජානනික සංකල්පයන් කැටිකොට ගත්  චින්තනය මත පදනම් වූ සාමාන්‍ය බුද්ධියට අමතර ව මිනිසාගේ මානුෂික හා චිත්තවේගාත්මක අංශය පදනම් කොටගත් චිත්තවේග බුද්ධිය වර්ධනය තුළින් මිනිසා සැබවින් ම ජිවී ස්වාභාවයකට පත්කොට සහකම්පනයකින් සහ අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතු තම පෞද්ගලික චිත්තවේග කළමනාකරණය කරගැනීමට සමත් බුද්ධිමතුන් කොට්ඨාශයක් බවට පත් කරනු ඇත.