1.0 පෞරුෂය පිළිබඳ හැඳින්වීම

නූතන මනෝවිද්‍යාවෙහි එන මනෝවිද්‍යාත්මක සංකල්ප අතුරින් ඉතා වැදගත් සංකල්පීය නිර්මිතයක් සහිත සංකල්පයක් ලෙස “පෞරුෂය” යන්න හඳුනාගත හැක. මෙකී පෞරුෂය පිළිබඳ අධ්‍යයනය කළහොත් එහි ආරම්භය ග‍්‍රීක ඉතිහාසය දක්වා ම පැතිර පවතී. පෞරුෂය යන්නට ඉංග‍්‍රිසි බසින් ‘Personality’ යන වචනය භාවිතා කෙරෙන අතර එහි නිරුක්තිය ගොඩනැගෙනුයේ පුරාණ ග‍්‍රීක නාට්‍යකරුවන් විසින් සිය රංග කාර්යයන්හි නිරතවීමේදී යොදාගත් වෙස් මුහුණු භාවිතය හේතුකොට ගෙනය. ඒ සඳහා ‘Persona’ යන වචනය භාවිතා කරන්නට වූ අතර ‘Persona’ යනු ලතින් භාෂාවට අයත් “වෙස්මුහුණ” යන අර්ථය ගම්‍ය කරනු ලබන වචනයකි. ඒ අනුව පෞරුෂය යනුවෙන් අදහස් වනුයේ බාහිරව විද්‍යාමානවන චර්යාවන්ට අනුව පුද්ගලයෙකුගේ අභ්‍යන්තයෙහි පවත්නා ගුණාංග පිළිබඳව ඇති කරගනු ලබන සංකල්පයකි. මේ අනුව පුද්ගලයා යනු, එකිනෙකට වෙනස් අවශ්‍යතා, උවමනා හා රුචිඅරුචිකම් සහිත විවිධ වූ පෞරුෂයන්ගෙන් යුක්ත වූවෙකි. මෙය එක්තරා අන්දමකට පුද්ගලයා තවත් භූමිකා කිහිපයකට ආවේශ කරවීමකි. එම විවිධත්වය හේතුවෙන් පුද්ගලයා සිය අභ්‍යන්තරික  චිත්තවේග ප‍්‍රකාශ කරනු ලබන්නේත් ඒවාට අනුව චර්යාවන් ඉදිරිපත් කරන්නේත් ඔවුනොවුන්ට ම ආවේනික ස්වරූපයකින්ය.

එමෙන් ම ඇතැම් තැනක පෞරුෂය යනු ස්වීයත්වය ලෙසින් ද හඳුන්වනු ලබයි. එනම්, පුද්ගලයෙකුගේ පෞරුෂය යනු ඔහු හෝ ඇයගේ සමස්තය යි. එම නිසා එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු සමඟ සර්වසම නොවේ. එනම්, මිනිසුන් දේහවිද්‍යාත්මක සාධක වලින් මෙන් ම මනෝවිද්‍යාත්මක සාධක වලින් ද එකිනෙකට වෙනස් වේ. මේ හේතුවෙන් උපතේ සිට මරණය තෙක් ගතවන සෑම නිමේෂයක් පාසා මෙකී පුද්ගල පෞරුෂය වෙනස් වේ. තවද එහි ඇත්තේ අනන්‍යවූත් වර්ධනීයවූත් වෙනසකි.  මේ අනුව පෞරුෂය යනු ගතික ස්වාභාවයෙන් යුත් පුද්ගල චරිතාධිමුක්ත සංකල්පයක් ලෙස සරලව නිර්වචනය කළ හැක.

2.0 පෞරුෂය පිළිබඳ නිර්වචන

සාම්ප‍්‍රදායික මතයට අනුව පෞරුෂය යනු පුද්ගල ශරීරය උස හා මහතින් යුක්ත වීමයි. එහෙත් සාමාන්‍යයෙන් පොදු ව්‍යවහාරයේදී පෞරුෂය ලෙසින් හඳුන්වනු ලබන්නේ පුද්ගලයෙකුගේ සාමාන්‍ය ප‍්‍රතිරූපය යි. මනෝවිද්‍යාත්මක අර්ථකථනයෙන් සලකා බැලීමේදී පෙනී යන්නේ පෞරුෂය යනු මීට වඩා ගැඹුරු සහ පුළුල් පරාසයකින් යුත් සංකල්පයක් ලෙසිනි. මෙම මූලික නිර්වචනයට අමතරව පෞරුෂය යන්නෙහි බහුවිධ කෝෂාර්ථයන් සහ නිර්වචන රැසක් ඉදිරිපත්ව පවතී. ඒවා නම්,

  • පෞරුෂය යන්න  සංස්කෘත භාෂාවේ පෞරුෂ්‍ය යන්නෙන් තත්සම වූ වචනයකි.  එමෙන් ම මෙය පුල්ලිංගික, ස්ත‍්‍රී ලිංගික හා නපුංසක ලිංගික යන ත්‍රෛලිංගයට පොදු  වූ පුරුෂභාවය හා ශූරත්වය ප‍්‍රකට කෙරෙන භෞතික ශරීර ලක්ෂණ හා ස්වාභාවයන් ප‍්‍රකාශනය කෙරෙන යෙදුමකැයි හැඳින්විය හැක.
  • පාලි සිංහල ශබ්දකෝෂයට අනුව පෞරුෂය යන්නට පොරිස ලෙස යෙදී ඇත. එහි අර්ථය ලෙස  මිනිස් ප‍්‍රමාණය, මනුෂ්‍ය ප‍්‍රමාණය සහ ශූරත්වය යනුවෙන් දැක්වේ.
  • සිංහල ශබ්දකෝෂයෙහි සඳහන් පරිදි පෞරුෂය යනු පිරිමිකම, පුරුෂ වීර්යය, යමෙකු තුළ ඇති ඔහුට ම ආවේනික ගති ස්වාභාවයන් හා පෞද්ගලිකත්වයයි.
  • සිරී ලියනගේ නිරුක්ති ශබ්දකෝෂය දක්වන ආකාරයට පෞරුෂය යන්නට අර්ථ කිහිපයක් ඉදිරිපත් කෙරේ. අ. පිරිමිකම, පුරුෂ වීර්යය, ආ. යම් කෙනෙකු තුළ ඇති ඔහුට ම ආවේණික ගතිලක්ෂණ, පෞද්ගලිකත්වය. ඇ. වැඩුණු ම්නිසකුගේ ප‍්‍රමාණය යනාදිය යි.
  • ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂය පෙන්වාදෙන පරිදි පෞරුෂය යන වචනයෙන් පුරුෂ වීර්යය, පුරුෂ ප‍්‍රමාණය, මිනිස් උස වැනි අරුත් ගම්‍ය වේ.
  • ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයෙහි පෞරුෂය හැඳින්වීම සඳහා අර්ථකථන කිහිපයක් ම දක්වා තිබේ. එනම්, 
  • කිසියම් පුද්ගලයෙක් වෙනත් පුද්ගලයින්ගෙන් වෙන්කොට දක්වන, පුද්ගලයෙකුගේ චරිතයෙහි විවිධ අංශයන් ය.
  • පුද්ගලායෙක්ව සිත්ගන්නා සුළු අයෙක් බවට නැතහොත් ආකර්ශණීය අයෙක් බවට පත් කරන පුද්ගලයෙකුගේ චරිතයෙහි ගුණාගයන් ය.
  • පෞරුෂය යන්නෙන් අදහස් වන්නේ ප‍්‍රකට පුද්ගලයෙකි. විශේෂයෙන් විනෝදජනක කාර්යයන්හී, ක‍්‍රීඩාවන්හී, දේශපාලනයෙහි නිරත පුද්ගලයෙකි.
  • පුද්ගලයෙක් සිත් ගන්නා අයෙක් බවට සහ වෙනස් කෙනෙක් බවට පත් කරන ශක්තිමත් චරිතයකි.

මීට අමතරව ලොව පතළ විශිෂ්ට ගණයේ දාර්ශනිකයින්, මනෝවිද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයින්  හා සාහිත්‍යකරුවන් පෞරුෂය සම්බන්ධයෙන් විවිධ නිර්වචන ඉදිරිපත් කොට ඇත.

  1. සිග්මන් ෆ්‍රොයිඩ් – පෞරුෂය යනු උපතේ සිට ම ක‍්‍රමානුකූලව සංවර්ධනය වන්නකි.
  2. රේමන්ඩ් බී. කැටල් – පෞරුෂය යනු යම්කිසි පුද්ගලයෙකුට කිසියම් කාර්යයක් සිදු කිරීමට ඉඩ ප‍්‍රස්ථාව ලබා දී එම කාර්යය සිදු කරන ආකාරය අනුව එම පුද්ගලයා පිළිබඳව පුරෝකථනය කිරීමේ හැකියාව යි.
  3. ඩේවිඩ් මිකැලන්ඩ් – පෞරුෂය යනු යම්කිසි පුද්ගලයෙකුගේ චර්යාව පිළිබඳ සියලූ විස්තර විභාග සැපයීමට තරම් අතිශය ප‍්‍රමාණවත් සංකලහ්පීකරණය යි.
  4. ජේ. පී. ගිව්ල්ෆර්ඩ් – පෞරුෂය යනු පුද්ගලයෙකුගේ ගතිලක්ෂණවල අනන්‍ය රටාව යි.
  5. වෝල්ටර් මිචෙල් –   එක් එක් පුද්ගලයාගේ විශේෂ චර්යා රටාවන් චිරස්ථායිව බිදහා දක්වන ආකාරය යි.
  6. ජී. ඩබ්.  ඕල්පෝර්ට් – ඒ ඒ පුද්ගලයාට සුවිශේෂී වූ පරිසරයට අනුව චර්යාව හා චින්තනය තීරණය කරන මනෝභෞතික පද්ධතීන්ගේ ගතික සංවිධානය පෞරුෂය නම් වේ.  (පුද්ගලයා ජීවත් වන පරිසරයට අනුව ඔහුගේ සිතුම්පැතුම්, විශ්වාස පද්ධතිය, ආකල්ප, රුචීන් යනාදිය නියෝජනය වන මානසික අංශය ද බාහිර පෙනුම හා චර්යාව නියෝජනය වන භෞතික අංශය ද වෙනස් කරගැනීම හා මනා පෞරුෂයකට එය අත්‍යාවශ්‍ය ය.)

මේ ආකාරයට මනෝවිද්‍යාත්මකව පිළිගත් නිර්වචනයෝ රැසක් පෞරුෂය හැඳින්වීම සඳහා නූතනයේදී  භාවිතා කරන අතර ඕල්පෝර්ට් ට අනුව පෞරුෂය යන්න් නිර්වචනය කිරීම සඳහා දේවධර්මවාදී, දර්ශනවාදී, නීතිවේදී, සමාජවිද්‍යාත්මක අර්ථකථන සහිත නිර්වචන 50කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කළ හැක.

බටහිර මනෝවිද්‍යාවෙහි ඓතිහාසික ගමන් මගෙහි විකාශය පිළිබඳව සලකා බැලීමේ දී පෙනී යන්නේ 19 වන සියවසෙහි අගභාගයේ සිට එහි ගමන්මග තරමක් වෙනස් වී ඇති බවත් ඒ සමඟ නව සමාජ කතිකාවතක් ඇති කරන ලද මනෝවිද්‍යා ගුරුකුල බිහි වී ඇති බවයි. ඒ සමඟ බටහිර මනෝවිද්‍යාව තුළ කතා කෙරෙන පෞරුෂය යන සංකල්පයට ද වඩාත් විශ්ලේෂී, බහුමානයික සහ ගැඹුරු අර්ථකථනයන් එකතු වී ඇති ස්වභාවයකි. එනම්, මෙම් ගුරුකුල විසින් පුද්ගල පෞරුෂ සංවර්ධනය පිළිබඳව විවිධ අර්ථකථන ඉදිරිපත් කොට ඇත. එකී ගුරුකුල සහ න්‍යායන් අතුරින් බටහිර මනෝවිද්‍යා ලෝකයෙහි හැරවුම් ලක්ෂ්‍යයන්  වූ ගුරුකුල කිහිපයකට අයත් පෞරුෂ සංවර්ධන න්‍යායන් ඔස්සේ නූතනයේ පෞරුෂය පිළිබඳව පවත්න නිවචනයෝ කවරේදැයි විමසා බැලිය හැක. එනම්,

  1. මනෝ විශ්ලේෂණවාදී න්‍යාය
  2. චර්යාවාදී න්‍යාය
  3. ගෙස්ටෝල්ට් න්‍යාය
  4. ප‍්‍රජානවාදී න්‍යාය
  5. මානුෂවාදී න්‍යාය යනාදිය දැක්විය හැක.

3.0 මනෝ විශ්ලේෂණවාදී පෞරුෂ සංවර්ධන න්‍යාය

නූතන මනෝවිද්‍යාවේ ගුරුකුල අතුරින් ප‍්‍රථම බලවේගය ලෙස සැලකෙන මනෝවිශ්ලේෂණවාදී ගුරුකුලයෙහි පුරෝගාමියා ලෙස සලකනු ලබන්නේ 19 වන සියවසේ අගභාගයේදී ඔස්ටි‍්‍රයාවේ වියානා අගනුවර ස්නායු වෛද්‍යවරයෙකු ලෙසින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නැමැත්තාය. මොහුගේ මනෝ විශ්ලේෂණවාදී න්‍යායෙහි කේන්ද්‍රීය සංකල්පය වනුයේ “මනස” යන්නයි.

3.1 ෆ්‍රොයිඩියානු පෞරුෂ සංවර්ධන සංකල්පය

ඒ අනුව මොහු මනෝ විශ්ලේෂණවාදී න්‍යාය යටතේ පෞරුෂය පිළිබඳව ඉදිරිපත් කෙරෙන ප‍්‍රධාන සංකල්ප දෙකක් පිළිබඳව සාකච්ඡා කෙරේ. එනම්, පෞරුෂ ව්‍යූහය සහ පෞරුෂ සංවර්ධන අවධි යනාදිය යි.

3.1.1 පෞරුෂ ව්‍යූහය

පෞරුෂ ව්‍යූහය පිළිබඳ විග‍්‍රහය පෙර හා පසු විග‍්‍රහය යනුවෙන් කොටස් දෙකකි. පෙර විග‍්‍රහයට අනුව මිනිස් මනසේ ප‍්‍රධාන ස්ථර තුනක් පෙන්වාදෙයි. එනම්,

  1. සවිඥානය (Consciousness) 
  2. උපවිඥානය (Sub-Consciousness)
  3. අවිඥානය (Unconsciousness)
මිනිස් මනස, සාගරයේ පාවන අයිස් කන්දක් ලෙස

මෙකී මනසේ ස්ථරයන් පැහැදිලි කිරීම සඳහා ෆ්‍රොයිඩ් විසින් ජලයේ පාවෙන අයිස් කන්දකට මනස උපමා කෙරෙන අතර පිළිවෙලින් මුහුදේ මතුපිට, නො ගැඹුරු මුහුදු ප‍්‍රදේශය සහ ගැඹුරු මුහුදු ප‍්‍රදේශය ලෙස උක්ත මනසේ ව්‍යූහයන් ත‍්‍රිත්වය සමාන කරනු ලබති. ඒ අතරින් පුද්ගලයාගේ සාමාන්‍ය චින්තන ක‍්‍රියාකාරීත්වය හෙවත් වර්තමානයේ සිදුවන සිදුවීම් සහ සිතිවිලි මෙන් ම සංජානනයන් මෙහෙයවනු ලබන මනසේ පළමු ස්ථරය වනුයේ සවිඥානය යි. උපවිඥානික සිත යනු වරක් සවිඥානයේ පැවත අතීතයට එක් වූ එහෙත් අවශ්‍ය අවස්ථාවකදී නැවත මතකයට ගත හැකි මතකයන් පවතින ස්ථරය යි. අවිඥානය යනු සවිඥානිකව ඉටු කරගත නොහැකි වූ ආශයන්, ඉටුකළ නොහැකි කාමාශාවන්, ආක‍්‍රමණශීලී සහ ලිංගික පේ‍්‍රරණයන් මෙන් ම චිත්තවේග යනාදි අවරෝධනය කළ මතකයන් හා සිතිවිලි සමුදායක එකතුවකි. මෙය මනසේ සැඟවුණු අංශය ලෙස ද හැඳින්විය හැක.

අවිඥානික චේතනා (Unconscious Motives)

මනසේ ව්‍යූහය සහ එහි ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඉදිරිපත්වන පසු විග‍්‍රහය යනු පෙර විග‍්‍රහයේ වර්ධනීය හා සංකීර්ණ අවස්ථාවක් මෙන් ම මනස පිළිබඳව ඉදිරිපත් කරන ලද ක‍්‍රමවත් විග‍්‍රහයක් ලෙස හැඳින්විය හැක. මෙම විග‍්‍රහයට අනුව මිනිස් මනස නැවත කොටස් තුනකට බෙදා දැක්වේ.

  1. තද්භාවය (Id)  – දළ සිත
  2. අහංභාවය (Ego) – පහන් සිත 
  3. උපරි අහංභාවය (Super Ego) – සුපහන් සිත
මිනිස් මනසේ කොටස්

පුද්ගලයා උපත ලබන්නේ ඉඞ් තද්භාවය සමගින් ය. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට අනුව අලූත උපන් දරුවෙක් යනු ඉඞ් ගිලියක් වැන්නකි. එයට හේතුව ඉඞ් තද්භාවය සැමවිට ම සුඛ වේදනා මූලධර්මය මත පදනම්ව කටයුතු කරන අතර සැමවිට ම ආශයික ආවේගයන් තෘප්ත කර ගැනීමට ප‍්‍රයත්න දරයි. එමෙන් ම ඉඞ් ආත්මාර්ථය පෙරදැරි කොට කටයුතු කරන අතර නොමේරූ, සුඛය කරණ කොට ගත් මනසේ ප‍්‍රාථමික අංශය යි. එමෙන් ම ඉඞ් තද්භාවයට තම අවශ්‍යතා ප‍්‍රමාද කිරීමේ හැකියාවක් නැති අතර එහි ප‍්‍රධාන ආශයන් ද්විත්වයක් හඳුනාගත හැකි වේ. එනම්, 

  • ජීවන ආශය  (Life Instincts / Eros): පුද්ගලයා තුළ පවත්නා ස්වයං ආරක්ෂණ පේ‍්‍රරණයන් සහ ලිංගික පේ‍්‍රරණයන් මීට අයත් වේ. එනම්, පිපාසය, කුසගින්න සහ වේදනාවන් මගහැරීම යනාදිය යි. එමෙන් ම ජීවිත සුරක්ෂිතභාවය, ප‍්‍රජනනය  සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන්නේ ද ජීවන ආශය යි. මේ අතුරින් ෆ්‍රොයිඩ් වැඩි අවධානයක් යොමු කරන්නේ ලිංගික පේ‍්‍රරණය සඳහා ය. එයට හේතුව වනුයේ පුද්ගලයාගේ චර්යාව සහ පෞරුෂය කෙරෙහි වැඩි බලපෑමක් කෙරෙන්නේ එමගින් වන බැවිනි.
  • මරණ ආශය (Death Instincts / Thanatos): පුද්ගලයා තුළ පවත්නා ස්වයං විනාශකාරී පේ‍්‍රරණය සහ එය බාහිරට ඉදිරිපත් වනවිට ආක‍්‍රමණශීලීත්වය හෝ ප‍්‍රචණ්ඩත්වය ලෙස ගම්‍ය වේ. 

ඊගෝ අහංභාවය යථාර්ථවාදී මූලධර්මය මත පදනම්ව ක‍්‍රියා කරන අතර එමගින් තමාට පරිබාහිර පුද්ගලයන්ගේ අවශ්‍යතා සහ කැමැත්ත වටහා ගනු ලබයි. එමෙන් ම ඊගෝ සැමවිට ම මනසේ මැදිහත්කරුවා මෙන් කටයුතු කරන අතර සැමවිට ම උපරි අහංභාවයේ සදාචාර සහ විශ්වාස පද්ධතීන්ට එරෙහි නොවී කටයුතු කිරීමටත් සුදුසු වේලාවක්, ස්ථානයක් සහ සුදුසු ක‍්‍රමවේදයක් ඔස්සේ ඉඞ්ගේ ආශයන් ඉටු කිරීමටත් උත්සහ කරයි.

උපරි අහංභාවය සදාචාර සහ සංස්කෘතික මූලධර්මය මත පදනම්ව ක‍්‍රියාත්මක වේ. සාමාන්‍යයෙන් මෙම උපරි අහංභාවය දරුවෙකුගේ අවුරුදු පහ පමණ වර්ධනයවීමට පටන් ගන්නා අතර එමගින් මනසේ සදාචාර අංශය නිරූපණය වේ. එය දෙමාපියන් සහ පාසල ඔස්සේ තවදුරටත් සංවර්ධනය වේ. එය සැමවිට ම හෘදසාක්ෂිය සහ සත්‍ය අසත්‍ය හෙවත් ඊගෝ පරමත්වය මත රැඳී පවතී. 

3.1.2 පෞරුෂ සංවර්ධන අවධි

ෆ්‍රොයිඩියානු මානසික පදනම මත ගොඩනැගෙන පෞරුෂය පිළිබඳ  දෙවන විග‍්‍රහය වනුයේ පෞරුෂ සංවර්ධන අවධි පිළිබඳව න්‍යායයි. මෙය දරුවෙකුගේ මුල් අවුරුදු පහ ඇතුළත ගතික ස්වරූපයකින් ක‍්‍රියාත්මකවන අතර එය ප‍්‍රධාන වශයෙන් කොටස් පහකින් සමන්විතය. එනම්, 

  1. මුඛීය අවධිය ‐ (Oral Stage) 
  2. පායුක අවධිය ‐ (Anal Stage)
  3. ලිංගරූප අවධිය ‐ (Phallic Stage)
  4. නිලීන අවධිය ‐ (Latent Stage)   
  5. ප‍්‍රජනන අවධිය ‐ (Genital Stage) යනාදිය යි.

මනෝ ලිංගික අවධි අතුරින් පළමු අවධිය වන මුඛීය අවධිය උපතේ පටන් පළමු වසර ගතවන තෙක් ක‍්‍රියාත්මක වේ. මෙකල දරුවාගේ මනෝ ලිංගික කලාපය ලෙස  යොදා ගනු ලබන්නේ මුඛය වන අතර මවගෙන් කිරි උරා බීමෙන් තෘප්තිය ලබන අතර ක‍්‍රමයෙන් එය යම් යම් දෑ මුඛය තුළට දමා ගැනීම සහ සැපීම ඔස්සේ ලබා ගැනීමට පටන් ගනී. මේ අනුව මෙම අවධියේ දී මුඛය කේන්ද්‍ර කොටගෙන සුඛ වේදනය ක‍්‍රියාත්මක වේ. මෙම අවධියේදී අවශ්‍ය තෘප්තිය ප‍්‍රමාණවත් ලෙස නොලැබුණහොත් පසුකාලීන දුම්බීම හෝ මුඛීය ලිංගික පුහුණුව වැනි මුඛීය අක‍්‍රමතා දැකගත හැක.

මනෝ ලිංගික සංවර්ධනයේ දෙවන  අවධිය වනුයේ පායුක අවධිය යි. මෙය දරුවාට අවුරුද්දයි මාස හයක පමණ කාලයේ සිට අවුරුදු තුන පමණ වන තෙක් ක‍්‍රියාත්මක වේ.  එනම් මෙම් අවධියේදී දරුවාගේ මදජනක කලාපය මුඛයේ සිට ගුදය දක්වා වෙනස් වන අතර මළ පහ කිරීම තුළින් සුඛ වේදනය ලබයි. මෙය වැඩිහිටිවියේදී අවේග පිටවීම හෝ ආශාවන් පිටවීමේ පළමු ස්වරූපය ලෙස දැක්විය හැක. මෙකල සිදුවන වැදගත් ම කාරණය වනුයේ දරුවාට වැසිකිලි පුහුණුව ලැබීම සහ එයට අවනත වීම හා නොවීම මත පසුකාලීන පෞරුෂයේ අක‍්‍රමවත් හෝ ක‍්‍රමවත් දරුවෙකුවීමත් මුරණ්ඩු ගති ලක්ෂණ හෝ කීකරුවීම යනාදි ලක්ෂණ දැකිය හැකි වේ.

මනෝ ලිංගික සංවර්ධනයේ තෙවන  අවධිය වනුයේ ලිංගරූප අවධිය යි. මෙය වයස අවුරුදු තුනේ සිට හය දක්වා ක‍්‍රියාත්මකව පවතින අතර දරුවාගේ සුඛ වේදනය ගුදයේ සිට ලිංගික ප‍්‍රදේශය වෙත ගමන් කරනු ලබයි. මෙකල දරුවන් තමන්ගේ ශරීරයත් අන් අයගේ ශරීරයත් දෙමාපියන්ගේ ශරීර දෙස බලා කුතුහලයක් ඇති කරගනී. එනම් මෙකල කායිකමය සහ ලිංගිකමය වෙනස්කම් හඳුනාගෙන ගැහැනු සහ පිරිමි යන වෙනස පිළිබඳව ඉගෙනගනු ලබයි. මේ සමඟ ම පිරිමි දරුවන්ට මවගේ අයිතිය සම්බන්ධයෙන් පියා සමඟ මානසිකව තරගකාරීත්වයක් ඇති වන අතර මෙය ඊඩ්පස් සංකීර්ණය ලෙස හැඳින්වේ. එහෙත් පියා තමාගේ ලිංගික අවයවය කපා දමතියි යැයි අවිඥානික බියක් ඇති කරගනී. මෙය කප්පාදු කාංසාව ලෙස හැඳින්වේ. එය වඩාත් සාධරණීය බියක් වන්නේ ගැහැනු ළමුන්ගේ ලිංගේන්ද්‍රිය දැකීමත් සමඟ වන අතර ඉන් පසු පියා සමඟ තරග කරනු වෙනුවට ඔහු සමඟ අනුගතවීමට උත්සහ කරමින් ඊඩ්පස් සංකීර්ණය අවරෝධනය කරනු ලබයි. මෙය පෞරුෂ සංවර්ධනයේ ඉතා වැදගත් තත්වයකි.

එමෙන් ම ගැහැනු ළමුන් තුළ ද පියාගේ අයිතිය සම්බන්ධයෙන් මව සමඟ මානසිකව තරගකාරීත්වයක් ඇතිවන අතර මෙය ඉලෙක්ට‍්‍රා සංකීර්ණය ලෙස හැඳින්වේ. එවිට පුරුෂ ලිංගය දැකීමෙන් තමාට එවැන්නක් නැත්තේ මව විසින් එය කපා දමන්නට ඇතැයි සිතා මව කෙරෙහි කෝපයක් ද පියා කෙරෙහි ඊර්ෂ්‍යාවක් ද ඇතිව පුරුෂ ලිංගික මාත්සර්යට පත් වේ. එවිට මව සමඟ තරග කිරීම වෙනුවට ඇය සමඟ අනුගතවීමට උත්සහ ගනියි. ඒ සමඟ ඉලෙක්ට‍්‍රා සංකීර්ණය අවරෝධනය කෙරේ.

මෙම ස්වාභාවය හේතුවෙන් දරුවාට මව සහ පියා යන භූමිකා ද්විත්වය ම සිටීම ඉතා වැදගත් වේ. එසේ නොවූ කල පසුකාලීනව ස්ත‍්‍රී සහ පුරුෂ පෞරුෂයේ අගතිගාමී හෝ අපගාමී ස්වාභාවයක් දැකිය හැක.

මනෝ ලිංගික සංවර්ධනයේ සිව්වන  අවධිය වනුයේ නිලීන  අවධිය යි. මෙය වයස අවුරුදු හයේ සිට යෞවනෝදය තෙක් පවතී. මෙකල පෙර අවධි තුනේදී ම සිදු වූ සංවර්ධනය තවදුරටත් ශක්තිමත් වෙමින් මනෝ ලිංගික ක‍්‍රියාකාරකම් සැඟවී යනු ලබයි. මෙකල කායික හා බුද්ධිමය වශයෙන් වැදගත් වෙන්සකම් රාශියක් සිදු වේ.

මනෝ ලිංගික සංවර්ධනයේ පස්වන  අවධිය වනුයේ ප‍්‍රජනන  අවධිය යි. මෙය වයස අවුරුදු 12 සිට වැඩිහිටි විය දක්වා ම පවතී. මෙකල පුද්ගලයාගේ ලිංගික ආශයන්ට ප‍්‍රජනන ශක්තිය ලැබෙන අතර තම ලිංගික ආශයන් සංතෘප්ත කර ගැනීම සඳහා විරුද්ධ ලිංගිකයන් වෙත ආකර්ශනය වීම සිදු වේ. මෙය පුද්ගලයාගේ දීර්ඝතම මනෝ ලිංගික අවධිය ලෙස හැඳින්විය හැකි අතර  මීට පෙර අවධිවල සාර්ථකත්වයත් සමඟ පසුකාලීන පෞරුෂය වඩාත් තුලිත පෞරුෂයක් බවට පත් වේ. 

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගෙන් අනතුරුව පශ්චාත් ෆ්‍රොයිඩියානුවන් වන කාල් ගුස්ටාව් යුංග් සහ ඇල්ෆ‍්‍රඩ් අඩ්ලර් යන දෙදෙනා විසින් ද පෞරුෂය හා සම්බන්ධ වැදගත් න්‍යායන් ඉදිරිපත් කර තිබේ. 

3.2 යුංගියානු පෞරුෂ සංවර්ධන සංකල්පය

ස්විස් ජාතික මනෝවිද්‍යාඥයෙකු වූ කාල් යුංග් ෆ්‍රොයිඩ්ගෙ සංකල්පය තවදුරටත් සංවර්ධනය කරමින් පෞරුෂය කෙරෙහි අවිඥානික මනස බලපාන බව පෙන්වා දෙන්නට විය. එහිදී ඔහු පුද්ගල අවිඥානය සහ සාමූහික අවිඥානය යනුවෙන් මනසේ තවත් ස්ථර දෙකක් ඉදිරිපත් කරන ලදි. පුද්ගල අවිඥානය ෆ්‍රොයිඩියානු අවිඥානයට සමානවන අතර සාමූහික අවිඥානය යනු පූර්ව ආත්මභවයන් සහ පාරම්පරිකව නිලීනව මනස තුළ පවත්නා ගුප්ත ඥානයන් යනාදිය තැම්පත්ව ඇති ස්ථරය යි. මෙය සාමූහික අවිඥානයට අයත් ප‍්‍රාකෘත හෙවත් මුලකෘත තුළ තැම්පත්ව පවතී. මූලකෘත යනු විශ්වමය අර්ථයෙන් චිත්තවේග සඳහා බලපෑම් කළ හැකි දෙයක් වන අතර මෙම සංකල්පයන් පදනම් කොට ගෙන කාල් යයුංග් විසින් ප‍්‍රධාන පෞරුෂ වර්ග දෙකක් හඳුන්වාදෙන ලදි. එනම්, 

  • අන්තර්වර්තී පෞරුෂය 
  • බහිර්වර්තී පෞරුෂය

අන්තර්වර්තී යනු ඇතුළට නැමුණු ගතිලක්ෂණ සහිත තම අභ්‍යන්තරික හැඟීම් සහ සිතිවිලි කෙරෙහි වැඩි නැඹුරුතාවයක් සහිත පුද්ගල ස්වභාවයකි. බහිර්වර්තී යනු සමාජශීලී වූ බාහිර ලෝකය සමඟ වැඩි සම්බන්ධතාවයක් දක්වන මිත‍්‍රශීලී පුද්ගල ස්වභාවයකි. එමෙන් ම මෙම ගති ලක්ෂණ මිශ‍්‍ර වූ පෞරුෂ ස්වභාවයන් පවතින අතර එය තුලිත පෞරුෂයක් ලෙස සැලකෙන අතර පෞරුෂ සංවර්ධනය පිළිබඳ උක්ත ප‍්‍රභේද ද්විත්වය විශේෂ ඉදිරිපත් කිරීමක් යැයි දැක්විය හැක.

3.3 ඇඩ්ලරියානු පෞරුෂ සංවර්ධන සංකල්පය

ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් විසින් ෆ්‍රොයිඩ් විසින් ඉදිරිපත් කරන ලද මිනිසාගේ ගාමක ශක්තිය අවිඥානය සහ ලිංගිකත්වය වේ යන මතය වෙනුවට මිනිස් වර්ගයාගේ ගාමක ශක්තිය ශ්‍රේෂ්ඨත්වය කරා ළඟාවීම කෙරෙහි දක්වන  ඕනෑකම ලෙස පෙන්වා දෙයි. ඒ අනුව පෞරුෂය නීර්මාණය කිරීමේ තීරණාත්මක සාධකය වන්නේ අනාගතය පිළිබඳව ඇති අපේක්ෂාව බව ඇඩ්ලර්ගේ අදහසයි. එහිදී හීනමානය අසාර්ථක පෞරුෂයකටත් උච්චමානය සාර්ථක පෞරුෂයකටත් හේතුවන බව මොහු පෙන්වාදෙයි. තව ද දරුවෙකුගේ මඋපත සම්බන්ධ සාධක ද අනාගත පෞරුෂය සඳහා බලපාන බවත් එහිදී දෙවන දරුවා ඉපදෙන තෙක් පළමු දරුවා තුළ ෂතුට සහ සුරක්ෂිතභාවය පිළිබඳව හැඟීමක් ඇති බවත් ඔහු කෙරෙහි පැවති අවධානයි දෙවැනි දරුවා වෙත යොමුවීමත් සමඟ පළමු දරුවා තුළ කාංසාමය ස්වභාව්‍යක් ඇති වී හිතුවක්කාරී සහ ආත්මාර්ථකාමී ලක්ෂණ පෙන්නුම් කරමින් පරාධීන මුරණ්ඩු පෞරුෂයක් ඇතිවිය හැක. ඒ අනුව ඇඩ්ලර් පෙන්වාදෙන පරිදි සාර්ථක පෞරුෂයක් සඳහා ආදරය සහ අවධානය මෙන් ම පාලනයක් අත්‍යාවශ්‍ය වේ. 

4.0 චර්යාවාදී පෞරුෂ සංවර්ධන න්‍යාය

නූතන මනෝවිද්‍යා බලවේගයෙහි දෙවන ප‍්‍රධාන ගුරුකුලය ලෙස  හැඳින්වෙන චර්යාවාදයෙහි සම්භාව්‍ය ආරෝපණ න්‍යාය සහ ප‍්‍රකාරක ආරෝපණ න්‍යාය යනුවෙන් ප‍්‍රධාන න්‍යායන් ද්විතවයක් පවතී. මෙකී න්‍යාය දෙකෙහි ම පෙන්වාදෙන්නේ උත්තේජ ප‍්‍රතිචාර සම්බන්ධය ඔස්සේත් තැත් වරද ක‍්‍රමය ඔස්සේත් පෞරුෂයට වැදගත් යම් යම් දේ ඉගෙනගනු ලබන බවත් එය උපස්ථම්භන ලබාදීමෙන් වඩාත් සාර්ථක ඉගෙනුමක් බවට පත්වන බවයි. ඒ අනුව මොවුන්ගේ අදහස වනුයේ අත්දැකීම් තුළින් ලබාගන්නා ඉගෙනුම පෞරුෂය සංවර්ධනයේ පදනම බවයි.

5.0 ගෙස්ටෝල්ට් පෞරුෂ සංවර්ධන න්‍යාය

ගෙස්ටෝල්ට් න්‍යායාචාර්යවරුන් අතර පෞරුෂය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති කර්ට් ලෙවින්ගේ “පෞරුෂය පිළිබඳ ක්ෂේත‍්‍ර න්‍යාය”ත් පර්ල්ස්ගේ “පෞරුෂය පිළිබඳ න්‍යාය”ත් ඉතා වැදගත් වේ. 

පෞරුෂය පිළිබඳ ක්ෂේත‍්‍ර න්‍යායට අනුව පුද්ගලයෙකුගේ සමස්ත මානසික ක්ෂේත‍්‍රය අවබෝධ කර ගැනීම මගින් ඔහුගේ සමස්ත පෞරුෂය අවබෝධ කරගත හැක. සමස්ත මානසික ක්ෂේත‍්‍රය යනු ඔහුගේ සංජානන සම්බන්ධතා ජාලයයි. එනම් මෙය ලෙවින් ජීවන අවකාශය ලෙසින් හඳුන්වනු ලබයි.

පර්ල්ස්ගේ පෞරුෂය පිළිබඳ න්‍යායෙහි ප‍්‍රමුඛ මූලය වනුයේ රූපය සහ පසුතලය යි. මොහු එය මානව පෞරුෂයට ගළපමින් රූපය යන්න තමාටත් පසුතලය යන්න තමාට පරිබාහිරව සිටින අන්‍යන්ටත් අනුරූප කෙරේ. මොහුට අනුව තමා සහ අනුන් අතර පවත්නා සම්බන්ධතාවය මනෝවිද්‍යාත්මක වැදගත්කමකින් යුක්තය. එනම් පුද්ගලයාට තමාගේ සහ අනුන්ගේ පැවැත්ම මෙන් ම ඔවුනොවුන්ගේ සංජානනයන් වටහාගත හැකි වේ. ඒ අතුරින් තමා අවබෝද කර ගැනීම යනු ආත්ම සංකල්පයේ වර්ධනයකි. ඒ අනුව මෙලෙස ආත්ම සංකල්පය වර්ධනයවීම හා අවට ක්ෂේත‍්‍රය පිළිබඳව මනා සම්ප‍්‍රජානනයකින් යුක්තවීම සාර්ථක පෞරුෂයක් සඳහා ඉවහල් වේ.

6.0 ප‍්‍රජානන පෞරුෂ සංවර්ධන න්‍යාය 

ප‍්‍රජානය න්‍යායන්ට අයත්වන ඇල්බට්බන්ඩුරා විසින් ඉදිරිපත් කරන ලද සමාජ ඉගෙනුම් න්‍යායට අනුව පුද්ගල පෞරුෂය සඳහා පුද්ගලයා විසින් පාරිසරිකව සහ සමාජීයමය වශයෙන් ඉගෙනගනු ලබන අත්දැකීම් බලපානු ඇත. ඒ තුළින් පුද්ගලයාගේ  සිතිවිලි, හැඟීම් සහ චර්යාව හැඩගස්වනු ලබයි. එමෙන් ම පෞරුෂ සංවර්ධනය සඳහා අන්‍යන් නිරීක්ෂණය සහ ඔවුන්ගේ චර්යා අනුකරණය මෙන් ම උපස්ථම්භන ලැබීම හෝ දඬුවම් ලැබීම ඉවහල් වේ. ඒ අනුව පුද්ගලයෙකු විසින් තම අවට පරිසරයෙන් උපාර්ජනය කරගනු ලබන සියලූ ඉගෙනුම් ප‍්‍රවණතාවයන් අනාගත පෞරුෂය නිර්මාණය කෙරෙහි හේතුවන බව මෙම් න්‍යායෙන් ප‍්‍රකට කෙරේ.

7.0 මානුෂවාදී පෞරුෂ සංවර්ධන න්‍යාය

මානුෂවාදී ගුරුකුලයේ පුරෝගාමී පුද්ගලයෙකු වන ඒබ‍්‍රහම් මාස්ලෝ සඳහන් කරන පරිදි ඔහු සිය පෞරුෂ සංවර්ධනය පිළිබඳව ගොඩනඟන ලද අවශ්‍යතා ධූරාවලිය පදනම් කරගත් සංකල්පයට අනුව පෞරුෂය කෙරෙහි බලපාන්නේ ඒ ඒ පුද්ගලයා සතුව ඇති ස්වච්ඡන්දතාවය සහ විභව ශක්තිය යි. ඒ අනුව පුද්ගලයා සිය පෞරුෂ සංවර්ධනයේදී භෞතිකමය අවශ්‍යතා, ආරක්ෂණ අවශ්‍යතා, ආදර සහ සමාජීය අවශ්‍යතා, සම්මානනීය අවශ්‍යතා සහ ආත්ම සාක්ෂාත්කරණ අවශ්‍යතා කරා ළඟාවීම සිදු වේ. මෙහි පෞරුෂ සංවර්ධනයේ ඉහළ ම මට්ටම ලෙස ඉදිරිපත් කරනුයේ ආත්ම සාක්ෂාත්කරණය වන අතර එය කෙනෙකුට ලෞකික මට්ටමින් ද තවත් අයෙකුට ලෝකෝත්තර මට්ටමින් ද ළඟාකර ගත හැකි වේ. මේ අනුව මිනිසා පිළිබඳව වඩාත් සුබවාදී ධනාත්මක දෘෂ්ටියකින් යුතුව අවශ්‍යතා සපුරා ගැනීමට ඇති මිනිසාගේ සහජ පේ‍්‍රරණය කේන්ද්‍ර කොටගත් පෞරුෂ සංවර්ධන න්‍යායක් මානුෂවාදී න්‍යාය මගින් ඉදිරිපත් කෙරේ.

8.0 නිගමනය

මේ අනුව කාලානුරූපීව පර්යේෂණවල ප‍්‍රතිඵල ලෙසින් බිහිවී ක‍්‍රමිකව විකාශනය වූත් සංවර්ධනය වූත් නුතන මනෝවිද්‍යාවෙහි ගුරුකුල හෙවත් න්‍යායන් රැසක් හඳුනාගත හැකි අතර එහි සාකච්ඡුා කෙරෙන ප‍්‍රධාන මනෝවිද්‍යාත්මක සංකල්පවලට අනුරූපව පෞරුෂය යනු කුමක්ද යන්නත් එය නූතන මනෝවිද්‍යා න්‍යායන්හී ව්‍යවහාර කර ඇත්තේ කෙසේද යන්නත් ඉන් පැනනැගෙන පෞරුෂය පිළිබඳ සංකල්ප සහ එහි සුවිශේෂතා පිළිබඳව ඉහත සඳහන් කරුණු මගින් අනාවරණය කෙරේ. 

9.0 ආශ‍්‍රිත ග‍්‍රන්ථ 

  • අතුකෝරාල, දයා රෝහණ, අතුකෝරා, හේළි නිමලා 2009, අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා, ශික්ෂා මන්දිර ප‍්‍රකාශන, කොළඹ 08. 
  • අබේපාල, රෝලන්ඩ්, 2008, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය, සාරා ප‍්‍රකාශකයෝ, කොට්ටාව.
  • එදිරිසිංහ, දයා සහ පෙරේරා, ඥානදාස,  2015, මනෝවිද්‍යා විමර්ශන, වත්මා ප‍්‍රකාශකයෝ, දෙහිවල.
  • එදිරිසිංහ, දයා සහ හපුආරච්චි, ගාමිණී, 2010, මනෝවිද්‍යාව න්‍යාය සහ භාවිතය, වත්මා ප‍්‍රකාශකයෝ, දෙහිවල.
  • කංකානම්ගේ, සුගත් 2000, මනෝවිද්‍යාව ආරම්භකයන්ට අත්වැලක්, කිරුළ ප‍්‍රකාශන, මිනුවන්ගොඩ.
  • කංකානම්ගේ, සුගත් 2005, පෞරුෂ වර්ධනය, කිරුළ ප‍්‍රකාශන, මිනුවන්ගොඩ.
  • විදානගමගේ, කුලසේන. විදානගමගේ, සී. රුවන්දිකා 2010, පෞරුෂය සහ පෞරුෂ සංවර්ධනය, කතෘ ප‍්‍රකාශන.
  • ගයන්ත, එන්. ඩී. ජී, 2017, පෞරුෂය සහ පෞරුෂ සංවර්ධනය, කතෘ ප‍්‍රකාශන, මාකොළ.
  • ගුණතිලක, එච්. එම්, 2016, නිවන් මග : බෞද්ධ උපදේශන මනෝවිද්‍යාව, ශ‍්‍රී ලංකා රජයේ මුද්‍රණාලයීය බෞද්ධ සංගමය.
  • හපුආරච්චි, ගාමිණී සහ සමරසිංහ, උපාලි, 2012, උපදේශන මනෝවිද්‍යාව, සුසිත ප‍්‍රකාශන, රාජගිරිය.