උසස් අධ්‍යාපනය හදාරමින් සිටින සිසුවෙකු (Student) හෝ වෘත්තිකයෙකු (Professional) ලෙස ‘ලින්ක්ඩ්-ඉන්‘ (Linkedin) යන නාමය ඔබ කිහිප විටක අසා ඇත්තෙකු හෝ දැනටමත් ලින්ක්ඩ්-ඉන් හරහා ඔබගේ වෘත්තියමය ජාලය ගොඩනගමින් සිටින්නෙකු විය හැකිය. මෙම සේවාව ෆෙස්බුක් (Facebook) වැනි අන්තර්ජාලය පදනම් කරගත් සමාජ ජාල (Social Media) සේවාවක් වන අතර මෙහි ප්‍රධාන අරමුණ නම් වෘත්තිකයන්ගේ ජාලයක් ගොඩ නැංවීමයි. වෙනත් ආකාරයකින් කිවහොත්, ලින්ක්ඩ් ඉන් යනු වෘත්තිකයන්ගේ ෆේස්බුක් සේවායි.

ලින්ක්ඩ්-ඉන් තුළ සමාජිකයන් අතිශයෙන් වෘත්තීයම රූප රාමු (Images), බ්ලොග් ලිපි (Blogs), විඩියෝ (Videos) මුදා හරිනු ලබන අතර, යම් නුසුදුසු දෙයක් ප්‍රකාශයට පත් කල හොත්, වෙනත් අයෙකුගේ පෙන්වා දීම මත හෝ කෘතිම බුද්ධි (Artifical Intelligence) හදුනා ගැනීමේ ක්‍රමවේද පදනම් කොට, එම නුසුදුසු දෑ ලින්ක්ඩ්-ඉන් තුළින් ඉවත් කිරීමට ලින්ක්ඩ්-ඉන් කාර්යය මණ්ඩලය යුහුසුලුව කටයුතු කරයි. එසේ පවත්වා ගෙන යනු ලබන මෙම සේවයේ උසස් භාවය පෙන්වාදිය හැකි අවස්ථා ලෙස,

  •  ෆේස්බුක්, ට්විටර් (Twitter), ඉන්ස්ටග්‍රෑම් (Instagram) වැනි බොහෝ බටහිර අන්තර්ජාල සමාජ ජාල සේවා සිය පුරවැසියන්ගේ භාවිතයට අවලංගු කර ඇති චීනය, ලින්ක්ඩ්-ඉන් භාවිතයට චීන ජාතිකයිට ඉඩ ප්‍රස්ථාව ලබා දීම.
  • ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව උදෙසා කිහිප විටකදී ලංකා ආරක්ෂක අංශ විසින් සමාජ ජාල භාවිතය තාවකාලිකව අවහිර කිරීමේදී, මෙම ලින්ක්ඩ්-ඉන් සේවාව අවහිර නොකරන ලද්දේ එහි ඇති උසස් වෘත්තීයමය ස්වභාවය හේතු පාධක කොට ගෙනය.

මෙම සේවාව වෘත්තිකයන්ට මෙන්ම ආයතනවලටද (Institutes), වාඩාත් ගැලපෙන නව සේවකයින් හඳුනා ගැනීම හා පහසුවෙන් සිය සේවක පුරප්පාඩු (Vacancies) ප්‍රකාශයට පත් කිරීම වැනි හේතු නිසා ඉතා ප්‍රයෝජනවත් වී ඇත. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ද ඉතාමත් ප්‍රචලිත සමාජ ජාලයක් වන ලින්ක්ඩ්-ඉන්හි හොඳ සාමාජික පිටුවක්  පවත්වාගෙන යාම ඇතැම් ව්‍යාපාර කළමණාකරයට අදාළ උපාධි (Degree) පාඨමාලාවහි එක් පැවරුමක් (Assignment) ලෙස ලබා දී ඇත.

තම නම, විද්‍යුත් ලිපිනය, උපන් දිනය ආදී ඔබගේ මූලික තොරතුරු භාවිතා කරමින් නොමිලේ ඔබගේ ලින්ක්ඩ්-ඉන් ගිණුම පහත පරිදි සකසා ගෙන ලින්ක්ඩ්-ඉන් වෙබ් අඩවිය (Website) හෝ ඇන්ඩ්‍රොයිඩ් (Android) / අයිඕස් (iOS) ඇප් (APP) හරහා මෙම සේවාව දෛනිකව භාවිතයට ගැනීමට පුළුවන.

ලින්ක්ඩ්-ඉන් ගිණුම නිර්මාණය

ලින්ක්ඩ්-ඉන් සේවාවේ ආරම්භය

2003 දී ඇමරිකාවේ කැලිෆොර්නියා ප්‍රාන්තයේදී රීඩ් හොෆ්මන් (Reid Hoffman), ඇලන් බ්ලූ (Allen Blue), කොන්ස්ටන්ටින් ගුරිකේ (Konstantin Guericke), එරික් ලයි (Eric Ly) සහ ජීන්-ලූක් වයිලන්ට් (Jean-Luc Vaillant) යන මහත්වරුන් විසින් ආරම්භ කරන ලද ලින්ක්ඩ්-ඉන් ආයතනය අද සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ (Microsoft Corporation) උප සමාගමක් ( Subsidiary) ලෙස ක්‍රියාත්මක වේ. මෙම ආයතනයෙන් ප්‍රසිද්ධ කරන ලද දත්ත වලට අනුව 2019 දී 14,000 අධික සේවක පිරිසක් ලින්ක්ඩ්-ඉන් ආයතනය යටතේ සේවය කරනු ලබන අතර, ලොවපුරා මිලියන 610කට අධික ලින්ක්ඩ්-ඉන් සේවා පරිභෝජිකයින් ප්‍රමාණයක් සිටිති.

ලින්ක්ඩ්-ඉන්හි ප්‍රධාන විශේෂාංග

ලින්ක්ඩ්-ඉන්, ෆේස්බුක්හි අතුරුමුහුණතට (Interface) ඉතා සමීප අතුරුමුහුණතකින් සමන්විත වන බැවින් ලින්ක්ඩ්-ඉන් භාවිතයට හුරු වීම ඉතා පහසු කටයුත්තකි. පහත සඳහන් කර ඇති ලින්ක්ඩ්-ඉන්හි සියළු හැකියාවන් ලින්ක්ඩ්-ඉන් වෙබ් අඩවියෙන් මෙන්ම ලින්ක්ඩ්-ඉන් ජංගම දුරකතන ඇප් මාර්ගයෙන්ද කිසිදු අවහිරතාවයකින් තොරව සිදු කල හැකිය. ලින්ක්ඩ්-ඉන් ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් දුරකනයක් නම් ගූගල් ප්ලෙයි ස්ටොර් (Google Play Store) හරහාද, ඇපල් දුරකතනයක් නම් ඇපල් ඇප් ස්ටොර් (Apple App Store) වෙතින්ද පහසුවෙන් බාගත (Download) කර හැකිය.

ලින්ක්ඩ්-ඉන් මුල් පිටුව (Home)

ලින්ක්ඩ්-ඉන් මුල් පිටුව

ලින්ක්ඩ්-ඉන් වෙත ඇතුල් වූ සැනින් ඔබට දිස් වනුයේ මෙම ලින්ක්ඩ්-ඉන් මුල් පිටුවයි. මෙහි ඔබ අනුගමනය කරන පුද්ගල්යින් හා ආයතන ප්‍රකාශට පත් කල නව දැනුම්දීම්, රූප රාමු, වීඩියෝ ආදිය දැක ගත හැකිය.

ලින්ක්ඩ්-ඉන් වෘත්තික ජාලය (My Network)

ලින්ක්ඩ්-ඉන් වෘත්තික ජාලය

ලින්ක්ඩ්-ඉන්හි ඔබගේ ජාලයේ සිටින වෘත්තිකයි හදුන්වනු ලබන්නේ ‘සම්බන්ධයක්’ (Connection) ලෙසය. මෙය ෆේස්බුක්හි මිතුරෙකුට (Friend) සමානය. ප්‍රථමයෙන් ඔබට යම් වෘත්තිකයෙකුට සම්බන්ධවීමට, එම පුද්ගලයාට ලින්ක්ඩ්-ඉන් හරහා ආරාධනා (Invite) කර හැකිය. ඔහු/ඇය ඔබගේ ආරාධනාව ලින්ක්ඩ්-ඉන් හරහා පිළිගත හොත් එම පුද්ගලයා ඔබගේ ලින්ක්ඩ්-ඉන් සම්බධතාවයක් වනු ඇත. මෙසේ අන් අයටද ඔබ වෙත සම්බන්ධතාවක් වීමට ආරාධනා කර හැකිය. මෙම  ‘My Network’ පිටුවේ ඔබට පවතින සම්බන්ධතා සියල්ල හා නව ආරාධනා සියල්ල ලැයිස්තු ගත කර ඇත.

ලින්ක්ඩ්-ඉන් රැකියා (Jobs)

ලින්ක්ඩ්-ඉන් රැකියා

විවිධ සේවා යෝජකයින් (Employers) විසින් ලින්ක්ඩ්-ඉන්හි පළ කර ඇති රැකියා පුරප්පාඩු මෙම පිටුවේ සඳහන් වේ. ලින්ක්ඩ්-ඉන් හරහා ඔබට මෙම රැකියාවලට අයදුම් කිරීමේ හැකියාවද පවතී.

ලින්ක්ඩ්-ඉන් පණිවුඩ (Messaging)

ලින්ක්ඩ්-ඉන් පණිවුඩ

ඔබගේ සම්බන්ධතාවන්ගෙන් ඔබ ලද පණිවුඩ හා ඔබ යවන ලද පණිවුඩ මෙහි අඩංගු වේ. මුදල් ගෙවා ලබාගත යුතු LinkedIn Premium සේවාව භාවිතයෙන් ඔබගේ ලින්ක්ඩ්-ඉන් සම්බන්ධතාවක් නොවන ලින්ක්-ඉන් හි සිටින වෘත්තිකයන් සමඟ පණිවුඩ හුවමාරු කර ගත හැකිය.

ලින්ක්ඩ්-ඉන් දැනුම්දීම් (Notifications)

ලින්ක්ඩ්-ඉන් දැනුම්දීම්

ඔබගේ ලින්ක්ඩ්-ඉන් ගිණුමට අදාල විවිධ දැනුම් දීම් මෙහි අඩංගු වේ. උදාහරණ ලෙස ඔබ සම්බන්ධිත වෘත්තිකයන්ගේ අධ්‍යාපනික හා වෘත්තීයමය ජයග්‍රහණ, ඔවුන්ගේ උපන් දිනයන්, යම් අයෙකු ලින්ක්ඩ්-ඉන් හරහා ඔබගේ ගිණුම පරික්ෂා කල බවට ලැබෙන දැනුම්දීම් දැක්විය හැකිය.

ඔබගේ ලින්ක්ඩ්-ඉන් පිටුව (My Profile)

ඔබගේ ලින්ක්ඩ්-ඉන් පිටුව

ඔබගේ අධ්‍යාපනික තොරතුරු, දැනට නියලී සිටින රැකියාව හෝ පෙර කල රැකියාවන්, ලබාගත් සහතික හා සම්මාන, ස්වේච්ඡා සේවය කිරීම් වැනි රැකියා අයදුම් පත්‍රයක ඔබ සඳහන් කල යුතු සියල්ල මෙම පිටුවට අතුළත් කර ඔබගේ මීළග සේවා යොජකයාගේ අවධානය ලබා ගත හැකිය. එලෙසම ලින්ක්ඩ්-ඉන් පිටුව හරහා ඔබගේ අයතනයේ මිතුරන්ට (Colleague), ජේෂ්ඨ නිළධාරීන්ට ඔබගේ සේවය ඇගයීමට ලක් කිරීමද සිදු කර හැකිය.

ආයතනික ලින්ක්ඩ්-ඉන් පිටු (Company Pages)

ආයතනික ලින්ක්ඩ්-ඉන් පිටු

ආයතන්වලට, විශේෂයෙන්ම මානව සම්පත් කළමණාකරණ (Human Resource Management) නිළධාරීන්ට ලින්ක්ඩ්-ඉන්හි ඔවුන්ගේ ආයතනය පිළිබඳ තොරතුරු ප්‍රචාරය කිරීමට මෙම ආයත්නික පිටු භාවිතයට ගත හැකිය.

ලින්ක්ඩ්-ඉන් සෙවීම (LinkedIn Search)

ලින්ක්ඩ්-ඉන් සෙවීම

ලින්ක්ඩ්-ඉන් සෙවීම් මගින් යම් ආයතනක වැඩ කරන සේවකයින්, යම් ක්ෂේත්‍රයක සිටින වෘතිකයින් වැනි විවිධ සංකීර්ණ සෙවීම් සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඇත.

ඉහත සඳහන් සේවාවන්ට අමතරව, වෘතිකයන්ට වඩාත් සම්බන්ධව කටයුතු කිරීමට සමූහ (LinkedIn Groups) නිර්මාණය කිරීම, අධ්‍යාපනික ලේඛන ප්‍රකාශ කල හැකි ස්ලයිඩ්-ශෙයාර් (SlideShare), ලිපි ලිවීමට ලින්ක්ඩ්-ඉන් පල්ස් (LinkedIn Pulse) හා මුදල් ගෙවා ලබා ගත හැකි, ලින්ක්ඩ්-ඉන් වෘත්තීයමය පාඨමාලා (LinkedIn Learning), ලින්ක්ඩ්-ඉන්හි අනුග්‍රාහක දැන්වීම් පල කිරීම (LinkedIn Campaign Manager) වැනි හැකියාද ලින්ක්ඩ්-ඉන් සිය පරිශීලකයන්ට ලබා දේ.

ලින්ක්ඩ්-ඉන් මගින් වෘත්තිකයන්ට ගත හැකි ප්‍රයෝජන

වෘත්තිකයෙකු හෝ වෘත්තිකයෙකු වීමට බලා පොරොත්තු වන සිසුවෙකු ලෙස ලින්ක්ඩ්-ඉන් වෙතින් ඔබට ලබා ගත හැකි ප්‍රයෝජන පහත දක්වා ඇත.

  • තම අධ්‍යාපනික, වෘත්තීයමය, මූලික තොරතුරු අතුළත් රැකියා අයදුම් පත්‍රය ලෙස ලින්ක්ඩ්-ඉන් පිටුව භාවිතා කල හැකිවීම.
  • ඔබ පෙර රැකියාකල ස්ථානයන්හි මිතුරන් සමඟ නැවතත් සම්බන්ධ වීමට හැකි වීම.
  • රැකියා ඇබෑර්තු සෙවීමට හා එම ඇබෑර්තුවලට ලින්ක්ඩ්-ඉන් හරහා අයදුම් කිරීමට හැකි වීම.
  • වෙනත් ආයතනවල කටයුතු කරන හෝ වෙනත් රටක වාසය කරන වෘත්තිකයන් දැන හැදින ගැනීමට හැකිවීම හා ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවත්වීමට හැකිවීම.
  • LinkedIn Groups හරහා තම ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය කණ්ඩායම් සමඟ කටයුතු කල හැකි වීම.
  • ඔබ දන්නා කරුණු පිළිබඳව Linkedin Pulse යොදා ගෙන ලිපි ලියා ප්‍රසිද්ධ කල හැකි වීම.

ලින්ක්ඩ්-ඉන් මගින් ආයතනවලට ගත හැකි ප්‍රයෝජන

ලින්ක්ඩ්-ඉන් ලාබ පදනම් කරගත් ආයතන වලට මෙන්ම ලාබ නොලබන සංවිධාන වලටද ඉතාමත් වටින අන්තර්ජාල සේවාවක් වන අතර එසේ ආයතනවලට ලබා ගත හැකි ප්‍රයෝජන පහත දැක්වේ.

  • දක්ෂ හා තම ආයතනික සංස්කෘතියට වඩාත් උචිත සේවකයින් ලින්ක්ඩ්-ඉන් හරහා සොයා ගත හැකිවීම.
  • රැකියා ඇබෑර්තු පිළිබඳ තොරතුරු පහසුවෙන් ප්‍රචාරය කළ හැකි වීම.
  • සේවකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය (Recruitment Process) කාර්යක්ෂම හා වේගවත් වීම.
  • ආයතනය මගින් සපයන භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු පහසුවෙන් ප්‍රචාරණය කල හැකිවීම.
  • ව්‍යාපරියේ තරඟකරුවන් (Competitors) පිළිබඳ තොරතුරු දැනගත හැකිවීම.

අවසාන වශයෙන්…

ලින්ක්ඩ්-ඉන් වෘත්තිකයන්ට මෙන්ම ආයතනවල ඉතා වැදගත් තාක්ෂණික මෙවලමකි. සේවකයින් බඳවා ගැනීමේදි සිදු කරන සාම්ප්‍රදායික ක්‍රම වලින් මිදී ඉතා කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ව්‍යාපාරවල මානව සම්පත් අවශ්‍යතා සපුරා ගැනීමට ලින්ක්ඩ්-ඉන් යොදා ගත හැකිය.