ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් (Coasts of Sri Lanka) සංචාරකයින් විසින් පාරාදීසයක් (Paradise) ලෙස නම් කිරීම ඉතා සුලබ කරුණකි. මහ සයුරින් වටවූ මෙම දිවයින (Island), ඔබගේ ජීවිතයේ ගත කල හොඳම වෙරළ අත්දැකීම අත්විදීමට  නොඅනුමානව ඉඩ ප්‍රස්ථාව සලසා දෙනු ලැබේ . ලොව පුරා බොහෝ සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මෙම විචිත්‍රවත් වෙරළ තීරයන්හි තම විවේකය හෝ මධුසමය (Honeymoon) ගත කිරීමටය. ශ්‍රී ලංකාව වෙරළාසන්න නිවාඩු නිකේතන රැසකින් සමන්විත වීම නිසා තමාට වඩාත් ගැලපෙන වෙරළ තීරය තෝරා ගැනීම ඉතා පහසු කටයුත්තක් නොවේ. මෙවන් අවස්ථාවකදී පහත කරුණු සලකා බලා ඔබට වඩාත් ගැලපෙන ගමනාන්තය තෝරා ගැනීමට ඔබට හැකි වනු ඇත.

සුන්දර නගරාසන්න වෙරළ තීරයන්

ඔබ සුව පහසු නාගරික පහසුකම් අත්විදින අතරතුර සයුරේ සුන්දරත්වය අත් විදීමට කැමැත්තක් දක්වන  අයෙක් නම් කොළඹ (Colombo) නගරය ආසන්නව විහිදී පවතින වෙරළ නැරඹීමට යාම වඩා උචිත වේ. ගාලු මුවදොර පිටිය (Galle Face Green), වැල්ලවත්ත (Wellawatte), ගල්කිස්ස (Mount-Lavinia) මුහුදු වෙරළ තීරයන් කොළඹ  නගරය අවට ඇති ඉස්සෝ වැඩේක රස විදිමින් කාලය ගත කිරීමට හෝ සරුංගලයක් (KIte) යැවීමට හෝ සුන්දර හිරු බැසීම (Sun Set) නැරඹිය හැකි අලංකාර වෙරළ තීරයන් වේ.

කෙසේවෙතත් නගරබද වෙරළක ඔබට අත්විදීමට නොහැකි අත්දැකීම කිහිපයක් ඇත. ඒවා නම්,

  • සර්ෆින් (Surfing) කිරීම
  • ජල ක්‍රීඩා (Water Sports) වල නිරත වීම
  • රාත්‍රී වෙරළ සාදයන් (Beach Party) පැවැත්වීම

තවද, මෙම වෙරළ තීරයන් ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හි හා ඉරිදා දිනයන්හි ජනා කීර්ණ බැවින් ඔබගේ නිවාඩුව සන්සුන්ව ගත කිරීමට හේතු පාදක නොවිය හැකිය.

සවස්  කාලයේ පවත්වන වෙරළ සාදයන්ට  සහභාගී වීම

කොළඹ නගරයෙන් දකුණුට යාමේදී, ඔබට හෝටල් වලට අයත් වෙරළ තීරයන් දැකගත හැකිය. මෙම වෙරළ තීරයන් හෝටල් මගින් නඩත්තු කිරීම නිසා ඉතා පිරිසුදු හා ආරක්ෂාකාරී පරිසරයකින් යුක්ත වේ. දහවල් කාලයේදී මෙම වෙරළ ප්‍රදේශවල වැඩි ජනාකිර්ණත්වයක් නොමැති අතර රාත්‍රී කාලය නැටුම්, ගැයුම් වලින් පිරි සාදයන්ගෙන් අලංකාරවත් වේ. මෙසේ සවස් කාලයේ විනෝදවීමට යාමට හොදම ප්‍රදේශ නම් දිවයිනේ දකුණු වෙරළ ප්‍රදේශ වන හික්කඩුව (Hikkaduwa), මිරිස්ස (Mirissa) හා උණවටුන (Unawatuna) වෙරළ තීරයන්ය. මෙම ස්ථානයන්හි  හිරු බසයාමත් සමඟම සාද පැවැත්වීම  ආරම්භ වන අතර රැය පුරා විනෝද වීමට හැකියාව  පවතී .

නගරබද වෙරළක වුවද හිරු බැසයාමේ සුන්දරත්වය විදගතහැකි වු නමුත් සන්ධ්‍යා ආලෝකය දැකගැනීමට නාගරිකත්වයෙන් මිදුණු වෙරළක් තෝරා ගැනීමෙන් අවස්ථාව උදා වේ.

ජල ක්‍රීඩා හා කිමිදුම් වල නිරතවීම

නිවාඩු කාලයක වික්‍රමාන්විත අත්දැකීමක් ලබා ගැනීමට බොහෝ පුද්ගලයින් කැමැත්තක් දක්වනු ලැබේ. ශ්‍රී ලංකාවේ වෙරළ තීර, ජල ක්‍රීඩා  සදහා වෙන්වූ ස්ථානයන්ගෙන් සමන්විත වේ. මුහුදු රළ සමඟ පොර බඳිමින් සර්ෆින් කිරීමට ලංකාවේ වෙරළ තීර ප්‍රසිද්ධ වන නමුත් සෑම වෙරළක්ම මීට සුදුසු නොවේ. නැගෙනහිර වෙරළ තීරයේ ආරුගම්බේ (Arugambay) ප්‍රදේශය හා දකුණු ලකේ උණවටුන ප්‍රදේශ මෙසේ ජල ක්‍රීඩා  හා කිමිදුම් කිරීම සඳහා යෝග්‍යය වේ. මෙම ක්‍රීඩා කිරීමට අවශ්‍ය උපකරණ බොහෝ විට  මෙම ස්ථානවල මිලදී ගැනීමට හෝ කුලයට ගැනීම අවස්ථාව ඇත. සමහර ස්ථානවල සර්ෆින් වැනි ක්‍රියාකාරකම් පුහුණු කිරීමට උපදේශකයන් අතර, ඔවුන් විසින් කණ්ඩායම් පන්ති පැවැත්වීමද  දක්නට ලැබේ.

මෙවැනි ක්‍රියාකාරකම්වලට සහභාගීවීමට පෙර හිරු එළියෙන් ඔබගේ සම රැක ගැනීමට යොදාගත හැකි අලේපනයක් (Sunscreen) භාවිතය වැදගත් වේ.

නැගෙනහිර වෙරළේ හිරු උදාව නැරඹීම

ඔබ උදෑසනින්ම නැගිටින අයෙක් නම් වෙරළක හිරු උදාවේ (Sun Rise) අසිරිය අත්විදීමට හැකියාව  ඇත. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය මීට යෝග්‍යය වේ. එලෙසම නැගෙනහිර වෙරළ තවම නාගරීකරණයට හා ව්‍යාපාරික ලෝකයට එතරම් හසු නොවූ ප්‍රදේශ වන බැවින් ඔබගේ සහකාරිය/ සහකරුවා සමඟ මධුසමය ගත කිරීමට, අවිවේකී හා කාර්යබහුල ජීවන රටාවෙන් මිදීමට නිස්කලංක විවේකී නිවාඩුවක් ගත කිරීමට වඩාත් ගැලපෙන මුහුදු වෙරළ තීරයයි. හිමිදිරියේ උණුසුම් තේ කෝප්පයක් පානය කරමින්  මුහුදු සුළගේ සිසිලස සමඟ හිරු නැග එන දසුන ඔබව කෙතරම් කුල්මත් කරනු ඇත්දැයි මදක් සිතන්න.

පහසුකම් වලින් යුක්‌ත වෙරළ තීර

නගරබද වෙරළ තීරයන් පහසුකම් වලින් යුක්ත වේ. නමුත්  මෙම වෙරළ තීරයන් ජනාකීර්ණ, තරමක් අපිරිසිදු හා නිස්කලංක නොවන ප්‍රදේශ වේ. ඔබට පහසුකම් වලින් හෙබි, එහෙත් නිස්කලංක වෙරළකට ඊළඟ නිවාඩුව ගත කිරීමට කැමැත්තක් පවතී නම් ඔබගේ ගමනාන්තය විය යුත්තේ මීගමුව (Negombo) වෙරළයි. මීගමු ප්‍රදේශයට කොළඹ නගරයේ සිට පැයක පමණ කාලයකින් ලඟා විය හැකි අතර හිරු බැසයාම නැරඹීමට, වෙරළේ පවත්වන සජීවී සංගීත ප්‍රසංගවලට (Live Concerts) සහභාගී වීමට හා ජල ක්‍රීඩා කිරීමටද මීගමු වෙරළ යෝග්‍යය වේ.

කොරල් පර නැරඹීම

ශ්‍රී ලංකාවේ දකුණු හා ඊසාන දිග මුහුදු කලාපය කොරල් පර නැරඹීමට (Coral Watching) අස්ථාව උදා කර ඇත. දකුණු හික්කඩුව මුහුදු තීරය මේ අතරින් ප්‍රමුඛ වේ. කිමිදීමෙන් හෝ වීදුරු පතුලක් සහිත විශේෂිත සංචාරක බෝට්ටු මගින් මෙම කොරල් පර ඔබගේ දෙනෙතට හසු කර ගැනීමට ඔබට හැකියාව පවතී.

තල්මසුන් නැරඹීම

ප්‍රමාණයෙන් විශාල මත්ස්‍ය විශේෂයක් වන තල්මසුන් (Whales)  නැරඹීම, කුතුහලය ඔබට දනවන ක්‍රියාවක් වීමට පුළුවන. නොවැම්බර් (November) හා මාර්තු (March) කාල වල තල්මසුන් හා ඩොල්ෆින් (Dolphin) මත්ස්‍යයින් ශ්‍රී ලංකාවේ වයඹ මුහුදු කලාපයේ කල්පිටිය (Kalpitiya) මුහුදු තීරයේ දැක ගත හැකි වනු ඇත. එලෙසම නොවැම්බර් හා අප්‍රියෙල් (April) කාලයන්හි දකුණු පළාතේ මිරිස්ස (Mirissa) මුහුදු තිරයේ නිල් තල්මසුන් (Blue Whales) ඔබට නැරඹිය හැකිය.

සාරාංශය

ශ්‍රී ලංකාව විවිධ මුහුදු ප්‍රදේශයන්ගෙන් සමන් විත සංචාරකයන්ගේ පාරාදීසයකි. ඔබගේ  අවශ්‍යතාවයට හොබින මුහුදු ප්‍රදේශ ඔබගේ මීළඟ චාරිකාවට තෝරා ගැනීමෙන් සුපිරි විවේකී වෙරළ අත්දැකීමක් අත්විදීමට ඔබට හැකි වනු ඇත.