මේ නිවාඩු කාලයේ පවුලේ අයත් එක්ක දුර බැහැර චාරිකාවක් යන්න කවුද අකැමති? විශේෂයෙන්ම කුඩා දරුවන් මෙවැනි අත්දැකීම්වලට ඉතාමත් කැමති බව අප සියලු දෙනාම දන්නා දෙයකි. නමුත් දුර බැහැර ගමන් යාමේදී, මාර්ගයේ ගතකරන දිගු කාලය නිසා දරුවන් වෙහෙසට පත්වීම හා නොසංසුන් වීම සිදුවිය හැකිය. පහත කරුණු 10 පිළිපැදීමෙන් ඔබගේ දරුවන්ගේ ගමන් මහන්සිය අවම කොට ප්‍රීමත් චාරිකාවක් වින්දනය කිරීමට ඔබට පිළිවන.

1. හිමිදිරි උදෑසනින් හෝ රාත්‍රියේදී චාරිකාව ආරම්භ කරන්න

උදෑසනින් නිවසින් පිටත් වූ විට දරුවන්ට ගමන අතරතුර තවත් පැය කිහිපයක් නිදාගත හැකිය. දුර ගමනකදී ගමන් විඩාවෙන් මිදීමට එකම පිළියම හොද නින්දක් ලබා ගැනීමයි.  උදෑසන 6.00 හෝ ඊට පෙර ගමන ආරම්භ කිරීම ඉතා යෝග්‍යය වේ.

2. චාරිකාව සඳහා Road Trip Scavenger Hunt එකක් සදාගන්න

මෙහිදී ඔබ චාරිකාවේදී දැකිය හැකි වස්තූන්ගේ නම් ඇතුළත් ලැයිස්තුවක් සාදා ගත යුතුය. මෙවැනි ලයිස්තු රාශියක් pinterest හි පවතී. ඒවා ඇසුරින් ඔබගේ චාරිකාවට අනුකූල road trip scavenger hunt එකක්  ඔබට පිළියෙල කොට මුද්‍රණය කරගත හැකිය. මෙහිදී ඔබ ලැයිස්තුවේ සදහන් වස්තුවක් චාරිකාව අතරමග දුටු විට එය සළකුණු කරගත යුතුය. මෙය දරුවන් සමඟ රසවිදිය හැකි ක්‍රියාකාරකමක් මෙන්ම ඔවුන්ගේ බුද්ධි වර්ධනයටද උපකාරීවේ.

3. දරුවන්ට චාරිකාව අතතුර අධ්‍යාපනික Mobile Apps භාවිතා කිරීමට ඉඩ ලබාදෙන්න

කෙසේ වෙතත් අවම විද්‍යුත් උපකරණ භාවිතය, චාරිකාවේ මානසික තෘප්තිමත් බව සාක්ෂාත් කිරීමට හේතු පාදක වේ.

4. හැකි තාක් ඡායරූප ලබාගන්න

චාරිකාවේදී ලබාගන්නා ඡායාරූප දිනක ඔබගේ මනස චාරිකාවේදී ඔබ අත්දුටු සොඳුරු මතකයන්ගෙන් කුල්මත් කරවන බව නොඅනුමානය. එබවින් චාරිකාව පුරාවට ඔබෙගේ කැමරාව හෝ ජංගම දුරකථනය නිතරම ඔබ ආසන්නයේ තබා ගන්න.

5. අළුත් දෙයකින් දරුවන් පුදුම කරන්න

සෑම චාරිකාවටම, දරුවන් සඳහා අලුත් දෙයක් සෙල්ලම් භාණ්ඩයක් හෝ ක්‍රියාකාරකම් පොතක් රැගෙන යන්න. මෙවනි දෑ දරුවන් චාරිකාව තුළ වෙහෙසින් සිටින විට ඔවුන්ගේ අවධානය වෙනස් කිරීමට හා සතුටු කිරීමට යොදා ගත හැකිය.

6. චාරිකාවට සෑහෙන තරම් රසකැවිලි රැගෙන යන්න

චාරිකාව යාමට පෙර දින චාරිකාවට සෑහෙන තරම්, පවුලේ අයගේ ප්‍රියතම බිස්කට් සහ වෙනත් රසකැවිලි බෑගයට දමා ගන්න. මෙවා චාරිකාව අතරතුර ඇතිවන පොඩි බඩගින්නට උපකාරී වනු ඇත.

7. විවේකයට නැරඹීමට යමක් තබා ගන්න

පවුලේ වැඩිහිටි සාමාජිකයට, නරඹා නොමැති ඔවුන්ගේ ප්‍රියතම ටෙලි නාට්‍යය කතාංගයන්, චිත්‍රපට භාගතකොට තබාගන්න. රාත්‍රී කාලයේ සියලු දෙනාට එකතු වී මෙම රූප රාමු රසවිදිය හැකිය. වර්තමානයේ නම් මේ සඳහා ඔබට  Netflix සහ Amazon Video වල සහය ලබා ගත හැකිය.

8. පවුලේ අය අතර තරඟ පවත්වන්න

ගමන අතරතුර ප්‍රශ්නාත්මක හා ගීතාත්මක තරඟ පැවැත්වීම මගින් කුඩා දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද උද්යෝගයට හේතු වේ.

9. සූදානම්ව සිටින්න

දරුවන් සමඟ චාරිකාවක් යනවිට නිතරම ඔවුන්ගේ සෞඛ්‍යයට අවශ්‍යය සියළු දෑ  රැගෙන යන්න. විශේෂයෙන්මෙ කුඩා තුවා, අත්‍යාවශ්‍යය ප්‍රථමාධාර කට්ටලක් හා බෙහෙත් වර්ග.

10. සැහැල්ලුවෙන් යන්න

ශරීරයට ඉතා පහසු ඇදුමකින් සැරසීම, ගමන අතරතුර භාවිතයට කුඩා කොට්ට කිහිපයක් රැගෙන යාමද ඔබගේ පවුලේ චාරිකාවේ ප්‍රීතිමත් බාවයට හේතුවේ.