මනස
මනෝ විද්‍යාව

නූතන මනෝවිද්‍යාව තුළ කාටිසියානු ද්වෛතවාදයේ වැදගත්කම

Photo by Freepik

හැඳින්වීම

මනෝවිද්‍යාව තුළ සාකච්ඡා කෙරෙන ප‍්‍රධාන සංකල්පයක් ලෙස, කය සහ මනස අතර සම්බන්ධතාවය පෙන්වාදිය හැකි වේ. නූතන මනෝවිද්‍යාවෙහි පදනම ගොඩනැගී ඇත්තේ ද මෙම ප‍්‍රපංචයන් ද්විත්වය මත ය. ඒ අනුව අතීතයේ දී මෙම සම්බන්ධතාවය පිළිබඳව ඉදිරිපත් කරන ලද මතයන් කෙබදු ද, ඒ පිළිබඳව ඇති බහුවිධ නිර්වචන සහ ආකෘති, බහුවිෂයික භාවිතය සහ පර්යේෂණ, නූතන මනෝවිද්‍යාව අතර ඇති සම්බන්ධතාවය කෙබදු ද යන්න පිළිබඳව සොයා බැලීම මෙම ලිපියෙහි මූලික අධ්‍යාශය වේ.

ආත්මය සහ මනස

මනස (The Mind) යනු, ජීවියෙකු සතුව පවත්නා සිතිවිලි සහ විඥානයේ මානසික සැකැස්මකි. ශරීරය හෙවත් කය (The Body) යනු, නියුරෝන සහ මොළයේ සැකැස්ම මත පදනම්ව ගොඩනැගෙන දෙයකි. මෙම ප‍්‍රපංචයන් ද්විත්වය පදනම් කොට ගෙන බොහෝමයක් ගැටලූ ඉදිරිපත්ව ඇති අතර ඉන් ප‍්‍රශ්නාර්ථ කෙරෙනුයේ කය සහ මනස අතර පවත්නා ක‍්‍රියාකාරීත්වය සහ එකිනෙකට බලපෑම් ඇති කෙරෙන ආකාරය පිළිබඳව යි. දර්ශනය සහ මනෝවිද්‍යාව යන විෂය ක්ෂේත‍්‍ර ද්විත්වයෙහි ම මෙම මනස සහ කය පිළිබඳ ගැටලූව බහුලව සාකච්ඡුාවට ලක් වේ. ඒ අනුව එවැනි අවස්ථාවල දී මූලික වශයෙන් විමසා බැලෙන කාරණා කිහිපයක් පවතී. එනම්,

  1. මනස සහ කය යන ප‍්‍රපංචයන් ද්විත්වය ම එකක් ද?
  2. මනස සහ කය යන ප‍්‍රපංචයන් ද්විත්වය එකිනෙකට වෙනස් දෙයක් ද? යන්න
  3. මනස සහ කය යන ප‍්‍රපංචයන් දවිත්වයෙන් වඩාත් ප‍්‍රබල කුමක්ද? යන්න

මුල්කාලීනව මනස යනු, ආත්මය (The Soul) ලෙසින් ද හඳුන්වන්නට වූ අතර මේ පිළිබඳව පළමුවරට අදහස් ඉදිරිපත් කරන ලද්දේ ප්ලේටෝ විසිනි. ඔහුට අනුව ආත්මය යනු, ”ශරීරයෙන් වෙන්ව පවතින දෙයක් මෙන් ම පුද්ගලයා තුළ පවත්නා පහන් සිතිවිලි මතක තබා ගැනීමට හැකියාවක් සහිත බලවත් ප‍්‍රදේශයකි.” එහෙත් රෙනේ ඬේකාට් ට අනුව මිනිසා ඉපදීමට පෙර සහ මරණයෙන් පසුව පමණක් ආත්මය ශරීරයෙන් වෙන්ව පවතින අතර ආත්මයේ පැවැත්ම සඳහා ශරීරය අත්‍යාවශ්‍ය නො වන්නකි. එම නිසා අනුමානය, පරිකල්පනය, බලාපොරොත්තු, සිහින මැවීම් සහ හේතු දැක්වීම් යනාදී සියල්ල ම මනස පදනම් කොට ගෙන සිදු වේ. ඒ අනුව චින්තනයට කායික පදනමක් අවශ්‍ය නොවන බව ඬේකාට් ප‍්‍රකාශ කරන්නට විය.

මීට අමතරව ඉන්දියාවේ උපනිෂද් ඉගැන්වීම් වලට අනුව මනස, බුද්ධිය සහ ප‍්‍රාණය පාලනය කරන ලද්දේ ආත්මය විසිනි. තවද ආත්මයට භෞතික ගතිගුණ කිහිපයක් තිබුණ අතර එය මිනිසාගේ හෘදය තුළ පිහිටා ඇතැයි එකල විශ්වාස කරන්නට විය. අනතුරුව කීර්තිමත් වෛද්‍යවරයෙකු වූ සුස්රුත නැමැත්ත මෙම සංකල්පය මුල්කොට ගෙන ආත්මයේ හරය මනස යැයි ප‍්‍රකාශ කරන්නට විය. පසුකාලීනව නූතන වෛද්‍යවිද්‍යාවේ පියා ලෙසින් සැලකෙන හිපොක‍්‍රටිස් විසින් ක‍්‍රි. පූ. 4 වන සියවසේ දී මනස යන්න මොළයේ ක‍්‍රියාකාරීත්වය මත පදනම්ව පාලනයවන බව අදහසක් ඉදිරිපත් කරන ලදි. එමෙන් ම ඇරිස්ටෝටල්, එපිකියුරස් සහ ඔහුගේ අනුගාමිකයින් ද මිනිසාගේ චින්තනය සහ සංවේදනය හෘදය විසින් පාලනය කරන බවට මත පළ කරන්නට වූහ්. ඒ අනුව මනසක් ඇතැයි බොහෝ පිරිස් ප‍්‍රකාශ කළ ද එය කුමන ආකාරයෙ දෙයක් ද එහි ක‍්‍රියාකාරීත්වය සිදු වන්නේ කෙසේ ද යන්න පිළිබඳව නිශ්චිත වශයෙන් ම මෑතක් වනතුරු මිනිසා දැන සිටියේ නැත.

ආත්මවාදය බැහැර කළ බුදුරජාණන්වහන්සේ ද මනසක් ඇති බව පැහැදිලිව පිළිගත් අතර එය පිහිටා ඇති ස්ථානය පිළිබඳව නිශ්චිතව ම සඳහන් කර නොමැත.

මධ්‍යතන යුගයේ පැවති දේව ධර්මවාදයේ ආධානග‍්‍රාහීත්වයෙන් යුරෝපය අඳුරු යුගයක් ලෙස හඳුන්වන්නට පෙර හිපොක‍්‍රටිස්ගේ මරණයෙන් ද වසර හයකට පසුව ගැලන් නම් වෛද්‍යවරයා විසින් සිදු කරන ලද පර්යේෂණයන්හි ප‍්‍රතිඵලයක් ලෙස මිනිසාගෙ සිතීමේ ශක්තිය ඇතිවන්නේ මොළයෙන් බව සනාථ කළ හැකි විය. මේ ආකාරයට මනස පිළිබඳව විද්‍යාත්මක ප‍්‍රවේශයකින් විමසා බැලීමට දිගු කාලයක් ගත වන්නට වූ අතර ඒ සඳහා විවිධ පර්යේෂණ සහ නිර්වචන ඉදිරිපත් කරන්නට විය. මේ සියල්ලෙහි ම මූලික අරමුණ වූයේ මනස සහ කය අතර සම්බන්ධතා කුමක්දැයි නිරීක්ෂණය කිරීමයි. එම අරමුණ මුල් කොට ගනිමින් ලෝකය තුළ ප‍්‍රධාන වාදයන් හතරක් බිහිවන්නට විය. එනම්,

  1. බටහිරවාදී ආකෘතිය ‐ ශරීරය පමණක් පවතී. මනස යනුවෙන් දෙයක් නො පවතී. “මනස යනු කයේ සෙවනැල්ලයි” – කාල් මාක්ස්
  2. බටහිර විඥානවාදී ආකෘතිය ‐ මනස පමණක් පවතී. ශරීරය යනුවෙන් දෙයක් නො පවතී.
  3. රෙනේ ඩේකාට් ‐ ශරීරය සහ මනස එකිනෙකට වෙනස් ප‍්‍රපංචයන් දෙකකි.
    • මනස පිළිබඳ අධ්‍යයන සඳහා ‐ මනෝවිද්‍යාව
    • කය පිළිබඳ අධ්‍යයන සඳහා ‐ වෛද්‍යවිද්‍යාව
  4. පෙරදිග ආකෘතිය ‐ ශරීරයි සහ මනස යනු එකිනෙකට වෙනස් වූත් අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වූත් දෙයකි.
    • කොන්ෆියුසස් දහම
    • තාවෝදහම
    • බුදුදහම

මෙම සතර වාදයන් පිළිබඳව ආකෘතික ස්වරූපයෙන් පහත පරිදි දැක්විය හැකි වේ.

Akruthi

ඉහත බටහිර ආකෘතිය සහ බටහිර විඥානවාදී ආකෘතිය යන ආකෘති ද්විත්වයෙන් ම දක්නට ලැබෙනුයේ මනස සහ කය පිළිබඳව හුදු ඒකෛකවාදයක් පමණක් වන අතර ලෝකය තුළ පළමුවරට මනස සහ කය එකිනෙකට වෙනස් ප‍්‍රපංචයන් දෙයක් ලෙස ත් එවැනි අංශ දෙකක් ඇති බවත් ප‍්‍රකාශ කරන ලද්දේ රේනේ ඬේකාට්ගේ ද්වෛතවාදී ආකෘතිය ඔස්සේ ය. ඩේකාට්ගේ අදහසට අනුව මනස ශරීරයට වඩා වෙනස් වූවකි. එනම්, මනසේ පැවැත්මට ශරීරය අත්‍යාවශ්‍ය නොවූව ද ශරීරයේ පැවැත්මට මනස අත්‍යාවශ්‍ය වේ. එම නිසා මේ ප‍්‍රපංචයන් දෙක අතර මුළුමනින් ම ක‍්‍රියාකාරීත්වයක් නැතැයි යනුවෙන් ඔහු විශ්වාස නො කරයි.

සාමාන්‍යයෙන් භෞතික වස්තුවක් සහ මිනිසා අතර වුවද යම් යම් සමානකම් දක්නට ලැබේ. එනම්, පර්වතයක් සහ මිනිසා යන වස්තූන් දෙක සංසන්දනය කිරීම දැක්විය හැක. පර්වතයක් ඝන හෝ ද්‍රව අංශු වලින් සෑදී ඇති අතර මිනිසා ද ඝන, ද්‍රව සහ වායු අංශු වලින් සෑදී ඇත. ඒ අනුව බාහිරින් ගත් කල මිනිසා සහ භෞතික වස්තුවක පවතින්නේ සමාන ලක්ෂණයන්ය. එහෙත් මිනිසා අනෙකුත් වස්තූන්ගෙ සුවිශේෂී වන්නේ මනස නම් වූ ප‍්‍රපංචය හේතුවෙනි. මෙම මනස හේතුවෙන් අනෙක් වස්තූන්ට සාපේක්ෂව මිනිසාට සිතීම සහ තර්ක කිරීම වැනි බොහෝමයක් උච්ච මානසික ක‍්‍රියා හෙවත් ප‍්‍රජානනික හැකියාවන් පවතී. මේ අනුව ප‍්‍රකෘති මිනිසා යනුවෙන් හඳුන්වනු ලබන්නේ කය සහ මනස යන ද්විත්වයෙහි ම ක‍්‍රියාකාරී පුද්ගලයාය. ඒ අනුව ඩේකාට්ගේ ද්වෛතවාදය මෙසේ දැක්විය හැකි වේ.

මනස සහ කය

රෙනේ ඩේකාට්ගේ මෙම කාටිසියානු ද්වෛතවාදය පසුකාලීනව කාලානුරූපීව තව තවත් සංවර්ධනය වෙමින් විකාශනය වන්නට වූ අතර ඒ සමඟ ම විවිධ විෂය ක්ෂේත‍්‍රය යටතේ ද මේ පිළිබඳව හදාරන්නට නැඹුරුතාවයක් ඇති විය. එනම්,

ද්වෛතවාදයේ බහුවිධ භාවිතයන් සහ ප‍්‍රවනතා

ඩේකාට්ගේ ද්වෛතවාදය 17 වන ශතවර්ෂයේ දී පමණ ආරම්භවී නූතන යුගය දක්වා විවිධ සොයාගැනීම් සහ පර්යේෂණ ඔස්සේ ක‍්‍රමිකව වඩාත් වර්ධනීය තත්වයකට පත්ව ඇත. එනම්,

  1. ඩේකාට්ගේ කය සහ මනස පිළිබඳ ද්වෛතවාදයේ ප‍්‍රතිඵලයන්
    • 17 වන ශතවර්ෂය ‐ කය සහ මනස පිළිබඳ ද්වෛතවාදයේ බලපැවැත්ම පිළිබඳ මතය
    • 18 වන ශතවර්ෂය ‐ මනස, ද්‍රව්‍ය සහ ඒකෛකවාදය
    • 19 වන ශතවර්ෂය ‐ මනස සහ මොළය පිළිබඳ මතය
    • මනස සහ මොළය අනුවර්තනය හෙවත් මස්තිෂ්ක ක‍්‍රියාකාරීත්වය මත මනසේ ක‍්‍රියාකාරීත්වය ස්ථානගත කිරීම.
    • සමාධිය සහ සිතේ ඇතිවන කම්පනයන්, ස්නායු අක‍්‍රමතා වල ක‍්‍රියාකාරීත්වය මෙන් ම උපවිඥානය පිළිබඳ සොයාගැනීම්
  2. සම්පරීක්ෂණ මනෝවිද්‍යාවේ වර්ධනය
    • 17 සහ 18 වන ශතවර්ෂය මනසේ ඥානවිභාගය පිළිබඳව
    • 19 වන ශතවර්ශය ස්නායු පද්ධතීන්ගේ ඥානවිභාගය පිළිබඳව
    • මනස, මොළය හා විඥානය පිළිබඳව
  3. ඇමරිකානු මනෝවිද්‍යාවේ දියුණුව
    • කය, මනස සහ සංස්කෘතිය
    • ජීවවිද්‍යාත්මක විඥානය සහ ඒ පිළිබඳ අත්දැකීම්

මීට අමතරව,

4. භෞතිකවාදය හෙවත් දේහාත්මවාදය (Materialism)
මොවුහු මනස යන ප‍්‍රපංචය පිලිගන්නා ලද අතර මොළයේ ක‍්‍රියාකාරීත්වය මනස ලෙසින් විශ්වාස කරන්නට විය. ඒ අනුව මානසික ක‍්‍රියාවලීන් සියල්ල මධ්‍ය ස්නායු පද්ධතියේ කායික සැකැස්මක් ලෙස පිලිගැනේ.

5. ඉන්ද්‍රීය පරඥානවාදය හෙවත් ප‍්‍රපංචවාදය (Phenomenalism)
මෙම ආත්මගත විඥානවාදය තුළින් විග‍්‍රහ කෙරෙන පරිදි මිනිසා සතු කායික අවස්ථා හා ප‍්‍රතිඵල සියල්ල ම මනසේ ක‍්‍රියාකාරීත්වය මත සිදු වේ. එනම්, ශරීරය යනු මනසේ ම ප‍්‍රතිරූපයකි. එනම්, මනසේ ක‍්‍රියාකාරීත්වය යනු කයෙන් ඇතිවන ප‍්‍රතිචාරයන් වේ. ඒ අනුව යමක් පළමුව නිර්මාණය වන්නේ මිනිස් මනස තුළය. අනතුරුව එය චර්යාවක් ලෙස බාහිරට පිළිබිඹු කෙරේ.

6. චර්යාවාදය (Behaviorism)
චර්යාවාදීන්ට අනුව පුද්ගල චර්යාව උත්තේජ සහ ප‍්‍රතිචාර සම්බන්ධතාවය මත පදනම්ව ඉදිරිපත්වන්නක් වන අතර මනස මුල්කොට ගෙන ඉන්ද්‍රීය ප‍්‍රත්‍යක්ෂය ඔස්සේ යම් යම් දෑ මනසට උත්තේජනය වේ. ඒ අනුව ඒ ඒ උත්තේජයන්ට ප‍්‍රතිචාර දැක්වීම සිදු වේ.

මේ පිළිබඳව හිල්ගාර්ඞ් සහ ඕර්නේ (Hilgard & Orne) නැමති පුද්ගලයින් විසින් පර්යේෂණයක් සිදු කරන්නට විය. එනම්, පුද්ගලයින් කණ්ඩායමක් ගෙන ඔවුන් මෝහන නිද්‍රාවට පත්කර අනතුරුව හොඳින් රත්වී ගිනියම් වූ ලෝහ කැබැල්ලක් අල්ලන්නට සලස්වන ලදි. එහිදී අතැඟිලි වල වතුර බිබිලි වැනි කායික ප‍්‍රතිචාර දැක්වීමක් දක්නට ලැබුණි. එහෙත් ඔවුහු සාමාන්‍ය මානසිකත්වයෙන් සිටින පුද්ගලයින් මෙන් කිසිදු කෑගැසීම හෝ අත ඉවතට ගැනීම වැනි ප‍්‍රතිචාරයක් සිදු නොකරන ලදි. ඒ වෙනුවට ඔවුන් එම ලෝහ දණ්ඩ අල්ලා සිටින්නේ පැන්සලක් හෝ ලීදණ්ඩක් අල්ලා සිටින්නාක් මෙන් ය. මෙම ස්වාභාවයට ප‍්‍රධාන හේතුව වනුයේ මනස පාලනය වී තිබීම යි. ඒ අනුව මෙමගින් ගම්‍ය වනුයේ ශරීර ක‍්‍රියාකාරීත්වය සඳහා මනසේ ස්වාභාවය ප‍්‍රධාන ලෙස ම බලපාන බවත් මනස මූලික කරගෙන ශරීර ප‍්‍රතික‍්‍රියා සිදුවන බවය. මෙමගින් අනාවරණය වනුයේ ද කය සහ මනස අතර පවත්නා අනෝ‍යා්න්‍ය සබඳතාවය යි.

නූතන මනෝවිද්‍යාවට අයත් පුරෝගාමී මනෝවිද්‍යාඥයෙකු වන කාල් රොජර්ස්ට (Carl Rogers) අනුව මිනිසා යථාර්ථය තුළ සිටින්නේ නම් මනා මානසික ක‍්‍රියාකාරීත්වයකින් ජීවත්විය යුතුය. එසේ නැතහොත් කායික ක‍්‍රියාකාරීත්වයේ ද දුබලතා ඇතිවීමට ප‍්‍රවනතාවයක් පවතී.

නිදසුන :‐
භින්නෝන්මාදය වැනි උග‍්‍ර මානසික රෝගයකින් පෙළෙන රෝගියෙකු ගතහොත් ඔහු හෝ ඇය තුළ මූලික ලෙස ම මානසික ව්‍යාකූල තත්වයක් ඇති බව හඳුනාගත හැකි වේ. එම නිසා එහි ප‍්‍රතිඵලයක් ලෙස එම රෝගියාගේ චර්යාව තුළින් ද යම්කිසි අසාමාන්‍ය ස්වාභාවයක් පෙන්නුම් වේ.

මනෝවිද්‍යාවේ සමකාලීන යුගයේ දී ප‍්‍රජානන මනෝවිද්‍යාව තුළ නව සංකල්පයක් ඔස්සේ මනස සහ කය පිළිබඳ සම්බන්ධතාවය විග‍්‍රහ කරන්නට උත්සුක වී ඇත. එනම්, කෘතිම බුද්ධිය හෙවත් (Artificial Intelligence – AI) යන්න යි. එසේත් නැතිනම් මෙය පරිගණකය ලෙසින් ද හැඳින්වීමට හැකි වේ. ඒ අනුව මොවුහු පරිගණකය මිනිසාට සමාන කිරීමක් කර ඇත. මූලික වශයෙන් පරිගණකය නිර්මාණය ඇත්තේ දෘඪාංග සහ මෘදුකාංග යන කොටස් දෙක එක්වීමෙනි. මෘදුකාංග යනු දෘඪාංග ක‍්‍රියාකාරීත්වය සඳහා දායකවන ප‍්‍රධාන අංගයන් ය. දෘඪාංග යනු ඝන ද්‍රව්‍යයගෙන් සැදුම්ලත් මෘදුකාංගවල ක‍්‍රියාකාරීත්වයෙන් පාලනය වන්නකි. ඒ අනුව මිනිස් සිරුර ගත්විට ද ශරීරය දෘඪාංග ලෙසටත් මනස මෘදුකාංග ලෙසටත් ප‍්‍රජානන මනෝවිද්‍යාඥයින් විග‍්‍රහ කරනු ලබයි. එනම්, ශරීර ක‍්‍රියාකාරීත්වයට මනස නැමැත මෘදුකාංගය අවශ්‍යය බව අවධාරණය කරමින් කය සහ මනස අතර පවත්නා අනෝ‍යා්න්‍ය සම්බන්ධතාවය තහවුරු කෙරෙනු ඇත.

නිගමනය

මේ අනුව රෙනේ ඩේකාට්ගේ මනස සහ කය යන ප‍්‍රපංචයන් මුල් කොට ගත් කාටිසියානු ද්වෛතවාදය නූතන මනෝවිද්‍යාවට අයත් චර්යාවාදය, ප‍්‍රජානන මනෝවිද්‍යාව, අධ්‍යාපන මනෝවිද්‍යාව, අසාමාන්‍ය මනෝවිද්‍යාව, සෞඛ්‍ය මනෝවිද්‍යාව, ක‍්‍රීඩා මනෝවිද්‍යාව සහ අපරාධ මනෝවිද්‍යාව වැනි බහුවිධ උපවිෂය ක්ෂේත‍්‍ර තුළ ද සාකච්ඡුාවට ලක්වන එමෙන් ම මනෝවිද්‍යාවට අයත් බොහෝමයක් න්‍යාය සහ එහි ප‍්‍රායෝගික භාවිතයේ වැදගත්වන සංකල්පයක් බව යි. මේ තුළින් නූතන මනෝවිද්‍යාව වඩාත් සංවර්ධනාත්මක ස්වාභාවයකින් යුත් විෂය ක්ෂේත‍්‍රයක් බවට පත්වීමට පදනමක් ලැබී ඇතැයි පැවසිය හැකි වේ.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

  • කලංසූරිය, ඒ. ඞී. පී., 2007, නූතන බටහිර දර්ශනය, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල.
  • පත්මපානි, ජය, 2017, සංකල්ප සාර සංග‍්‍රහය 45, ආත්මය, Retrieved on 27 January, 2018 from https://thathu.com/2017/09/09/සංකල්ප-සාර-සංග්‍රහය-45-ආත්ම/
  • රාධාක‍්‍රිෂ්ණන්, එස්. බගාල ඉන්දීය දර්ශනය, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව. බත්තරමුල්ල.
  • රිටිගල, ජයසේන, 2014, පාරභෞතික දර්ශනවාදය, විඤ්ඤානවාදය හ භෞතිකවාදය, Retrieved on 27 January, 2018 from srilankanatheists.wordpress.com/2014/07/31/පාරභෞතික‐ ද්වෛතවාදය
  • McLeod. Saul, 2007, Mind Body Debate, Retrieved on 27 January, 2018 from https://www.simplypsychology.org/mindbodydebate.html
  • Psychiatry Today, Penguin Books, David Stafford Clark, P.15.
  • Rene Descartes and the Legacy of Mind/ Body Dualism, 2018, Retrieved on 25 January, 2018 from https://serendip.brynmawr.edu/Mind/Descartes.html
  • Robinson. Howard, 2016, Dualism, Stanford Encyclopedia of Philosophy, Retrieved on 29 January, 2018 from https://plato.stanford.edu/entries/dualism/
Wasana Fernando

U. Wasana Lakshanthi Fernando Assistant Lecturer in Psychology, University of Kelaniya who is a former student of Samudradevi Balika Vidyalaya, completed all course units with a second class [Upper Division] Honors and with a GPA of 3.83.  She is following Advance Diploma in Psychotherapy and had followed a Diploma in Counselling Psychology in Mental Health Foundation,  Sri Lanka. ​

නූතන මනෝවිද්‍යාව තුළ කාටිසියානු ද්වෛතවාදයේ වැදගත්කම
ප්‍රතිචාර

ප්‍රසිද්ධ ලිපි

AdvertisementCloudways Managed hosting
උඩට යන්න