Beach boys
සමාජීය

වෙරළේ නිදැල්ලේ හැසිරෙන තරුණයින් සහ ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය

Photo by Arnaud Mesureur on Unsplash

ලෝකයේ සංචාරක ගමනාන්ත වශයෙන් කටයුතු කරන සංවර්ධිත රටවල් මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලද එම අදාළ රටෙහි සංචාරක ව්‍යාපාරයෙහි තිරසාර සංවර්ධනය උදෙසා සංචාරක මාර්ගෝපදේශකවරුන්ගෙන් ඉටුවන්නේ මහගු සේවයකි. විශේෂයෙන්ම සිය රට නියෝජනය කරමින් නිල නොලත් තානාපතිවරයෙකුගේ සේවාවක් සංචාරකයින් උදෙසා ඉටුකරන්නෙක් බවට සංචාරක මාර්ගෝපදේශකයා පත්ව ඇත. මන්දයත් සංචාරකයින් අදාළ සංචාරක ගමනාන්තයට ළගා වූ අවස්ථාවේදී හමුවන ප‍්‍රධානතම පුද්ගලයා සංචාරක මාර්ගෝපදේශකවරයා වන අතර සංචාරකයා අදාළ ගමනාන්තයේ ගතකරන සමස්ත කාලය තුළදී ඔහුට හෝ ඇයට අවශ්‍ය සියලු අවශ්‍යතා සපුරා ගැනීමට, සමීපව කතාබහ කිරීමට මෙන්ම සංචාරයට අදාළ පරිදි සබඳතා පැවැත්වීමට සිදුවන එකම පුද්ගලයා විය හැක්කේද සංචාරක මාර්ගෝපදේශකවරයෙකි. නමුත් ශ‍්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින්ට කුමනාකාරයක හෝ මාර්ගෝපදේශනයක් සලසන සෑම පුද්ගලයෙක්ම සංචාරක මාර්ගෝපදේශකවරයෙකු වශයෙන් හැදින්විය නොහැකිය.

1966 අංක 10 දරණ ලංකා සංචාරක මණ්ඩල පනතේ 48 (1) වන වගන්තිය යටතේ 1969-08-10 දිනැති අංක 1488/5 දරණ ගැසට් පත‍්‍රයට සංශෝධිත වශයෙන් 1986-07-02 දින නිකුත් කරන ලද අංක 408/8 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රයේ 1 හා 2 වන වගන්ති යටතේ දක්වා ඇති පරිදි නිසි බලධාරියා (වර්තමාන ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල්) විසින් 1986 සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය සංහිතාවේ දැක්වෙන විධිවිධාන යටතේ ලියාපදිංචි කොට සහ බලපත‍්‍ර නිකුත් කර ඇත්නම් මිස කිසිදු තැනැත්තෙකු සංචාරක මාර්ගෝපදේශකවරයෙකු වශයෙන් කටයුතු කිරීම හා සංචාරක මාර්ගෝපදේශකවරයෙකුගේ කාර්යභාරය ඉටුනොකළ යුතු බවද දක්වා ඇත. කෙසේ නමුත් නෛතික බලපත‍්‍රයන් නොමැතිව විදේශීය සංචාරකයන් කැටුව යන්නන් වර්තමානය වන විට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වෙරළාශ‍්‍රීත සංචාරක ආකර්ෂණ ආශි‍්‍රතව දැකගත හැකිය. මොවුන් වෙරළේ නිදැල්ලේ හැසිරෙන තරුණයිින් (Beach Boys) වශයෙන් හැදින්වෙන අතර එම අනවසර මගපෙන්වන්නන්ද සංචාරක මාර්ගෝපදේශකවරයින් වශයෙන් සැළකීමට සාමාන්‍ය ජනතාව පෙළඹී ඇති හෙයින් අනාගතයේදී සංචාරක ව්‍යාපාරයට එය මහත් තර්ජනයක් වනු ඇත. එම බලපෑම් පිළිබඳවත් එ්වා මඟහරවාගනිමින් තිරසාර සංචාරක කර්මාන්තයක් පවත්වාගෙනයා හැකි ආකාරය පිළිබඳවත් කරුණු දැක්වීම මෙම ලිපියේ අරමුණයි.

විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ වෙරළබඩ සංචාරක නිකේතන ආශි‍්‍රතව වෙරළේ නිදැල්ලේ හැසිරෙන තරුණයිින් (Beach Boys) මෙරට වෙරළ තීරයෙහි පහස විදීමට පැමිණෙන විදේශීය සංචාරකයන්ට මගපෙන්වන්නන් වශයෙන් කටයුතු කිරීම හා ඔවුන්ගේ අවධානය යොමුකර ගැනීමට බලවත් උත්සාහයක නිරතවෙමින් සිටින කණ්ඩායමක් වශයෙන් හදුනාගත හැකිය. මොවුන්ගේ සාමාන්‍ය හැසිරීම් ස්වභාවය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔවුන් විසින්ම නිර්මාණය කරගන්නා ලද දේශීය සංස්කෘතියට නොගැළපෙන ආකාරයේ හැසිරීම් රටාවක් දැකගත හැකිය. බාහිර ස්වරූපයෙන් වුවද ඉතා පහසුවෙන් හදුනාගත හැකි අතර විශේෂයෙන්ම ශරීරය පුරා පච්චා ඇඳ, විසිතුරු කරාබු මාල පැළඳ සහ කෙස් වර්ණ ගන්වා සිටින මොවුන්ව වරක් දුටු පමණින්ම වෙරළේ නිදැල්ලේ හැසිරෙන තරුණයෙකු (Beach Boys) වශයෙන් හදුනාගත හැකිය. වර්තමානය වන විට මොවුන්ගේ සංස්කෘතිය උප සංස්කෘතියක් බවටද පත්ව ඇත. සාමාන්‍යයෙන් අවුරුදු 14 සිට වයස් වලින් යුතු පිරිමි පුද්ගලයින් මේ සඳහා යොමුවන අතර ඔවුන් නිසි අධ්‍යාපනයක් නොලැබූවන් වන නමුත් ඉංග‍්‍රීසි භාෂාවෙහි සහ ජර්මන්, ප‍්‍රංශ හා ඉතාලි වැනි විදේශීය භාෂාවන්හි වචන කිහිපයක් හසුරුවා ගැනීමට හැකිවීම නිසා සංචාරකයින් පසුපස යමින් ඔවුන්ගේ ආකර්ෂණය ලබාගැනීමට නොයෙක් උත්සාහයන් වල නිරතවෙන ආකාරයක් දැකගත හැකිය.

ශී‍්‍ර ලංකාවේ මෙම තරුණයින් වැඩිවශයෙන් දැකගත හැකිවන්නේ ගාලු මුවදොර සිට ගල්කිස්ස, කළුතර, බෙිරුවල, හික්කඩුව දක්වා ප‍්‍රධාන මුහුදුබඩ සංචාරක ආකර්ෂණ ස්ථාන වලත් මීගමුව සිට වයික්කාල දක්වා වෙරළ තීරයේත් නැගෙනහිර වෙරළ තීරයේත්ය. මෙම වෙරළබඩ සංචාරක ආකර්ෂණ ස්ථාන ආශ‍්‍රිත ප‍්‍රදේශ වල ජීවත් වන රැකියා විරහිත අඩු අධ්‍යාපනයක් ලැබූ තරුණයින් වැඩි දෙනෙකු මේ සඳහා යොමුවීමට ප‍්‍රධානම හේතුව වී ඇත්තේ ඉතා පහසුවෙන් දෛනික ආර්ථිකය පිරිමසා ගැනීමට හැකිවන හෙයිනි. තවත් සමහරු විදේශගත වීමේ අරමුණින් ද මෙයට යොමුවන අවස්ථා දැකගත හැකිය. එ් අනුව මෙම තරුණයින්ගෙන් කොටසක් සංචාරක මගපෙන්වන්නන් ලෙස සංචාරකයින් කැටුව දිවයිනේ චාරිකා වල යෙදෙන අතර තවත් කොටසක් වෙළෙදුන් වශයෙන් සංචාරකයින්ට අවශ්‍ය දේ සපයා දෙමින් තම ජීවිකාව පවත්වා ගනී. තවත් කොටසක් සංචාරකයින්ගේ පෞද්ගලික අවශ්‍යතා පවා ඉතා ඕනෑකමින් සපයා දීමට යොමුවී සිටී.

වෙරළේ නිදැල්ලේ හැසිරෙන මෙම තරුණයින්ගේ ක‍්‍රියාකළාපය තුළින් මෙරට සංචාරක කර්මාන්තයේ තිරසාර සංවර්ධනයට මෙන්ම යහපත් ප‍්‍රතිරූපයට යහපත් බලපෑමක් ඇතිවන්නේ යැයි පැවසීම අසීරුය. වර්තමානය වන විට එය සංචාරක ව්‍යාපාරයට පමණක් නොව ශ‍්‍රී ලංකාවේ දේශීය හර පද්ධතියට මෙන්ම සමාජ ආචාරධර්ම වලට පවා තර්ජනයක් වී ඇති ආකාරය කාලීන සිදුවීම් දෙස විමසිල්ලෙන් අවධානය යොමුකිරීමේදී පසක් වන්නේය. ප‍්‍රධාන වශයෙන්ම වෙරළේ පහස විඳ ගැනීමට මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ නිදහසට බාධාවන අයුරින් සිදුවන මොවුන්ගේ හැසිරීම නිසා මෙරටට පැමිණෙන සංචාරකයා තුළ මෙරට පිළිබඳ අයහපත් ප‍්‍රතිරූපයක් ගොඩනැගේ. ඒ හරහා සිදුවන්නේ මෙරටට නැවත නැවත පැමිණෙන සංචාරකයින්ගේ ප‍්‍රමාණය අඩුවනවා පමණක් නොව කටවචනය හරහා මෙරට පිළිබඳව විදේශයන් තුළ අයහපත් ප‍්‍රතිරූපයක් ඇතිවීමයි.

එමෙන්ම මෙම තරුණයන් සංචාරකයන් ඉල්ලූම් කරන ඕනෑම දෙයක් එනම් මත්ද්‍රව්‍ය වල සිට ගණිකාවන් සැපයීම දක්වා සිදුකරයි. මෙහිදී සංචාරකයින්ගේ අවශ්‍යතාවය එයම නොවුනද ඊට පොළඹවා ගැනීමට පවා මොවුන් කටයුතු කරයි. මේ හේතුවෙන් මෙරට වෙරළබඩ කළාපයේ සංචාරක මධ්‍යස්ථාන ආශ‍්‍රිත ප‍්‍රදේශ වල නීතිවිරෝධී කි‍්‍රයා එනම් ලිංගික අපචාර, මත්ද්‍රව්‍ය භාවිතය, ළමා අපයෝජන වැනි අයහපත් සමාජයීය ප‍්‍රතිඵල සංචාරක ව්‍යාපාරය ආශ‍්‍රීතව පැන නැගීම සම්බන්ධයෙන් මෙම වෙරළේ නිදැල්ලේ හැසිරෙන තරුණයින්ගෙන් දායකත්වය ලැබෙන බවට චෝදනා එල්ලවීම සම්බන්ධව වාර්තාවන සිදුවීම්ද වැඩිවෙමින් පවතී. විශේෂයෙන් මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඔවුන්ගේ ඉල්ලීම මත හෝ පෙළඹවීමකින් ගණිකා වෘත්තිය සඳහා යොමුකරලීමට පවා මොවුන් කටයුතු කරයි. තවද මෙරට කුඩු ජාවාරමේ සහ ඊට යොමුවූවන් පිළිබඳව විමර්ශනය කිරීමේදී ඊට ඉතාම ඉහළින් දායක වන පිරිසක් ලෙස මොවුන් හදුනාගෙන ඇත. මේ නිසා සෑම විටම අප‍්‍රසන්න පෙනුමෙන් හා මනස විකෘති වූ බවකින් කටයුතු කිරීම නිසා සංචාරකයින්ට හිරිහැර සිදුවන අවස්ථාද පවතී.

විශේෂයෙන්ම හිරු රශ්මියේ පහස විඳ ගැනීමට පැමිණෙන විදේශීය කාන්තාවන් විවිධ අපහසුතාවන්ට පත්වන අවස්ථාද වාර්තා වී ඇත. එමෙන්ම සම ලිංගික ඇසුරු හා ඒ ආශි‍්‍රත සමාජ රෝග ව්‍යාප්ත වීම, විශේෂයෙන්ම ඒඞ්ස් වැනි සමාජ රෝග වර්ධනය වීමේ ප‍්‍රවණතාවයක්ද මොවුන් හරහා සිදුවෙන බව හදුනාගෙන ඇත. තවද නීතිවිරෝධීව සිදුවෙන ජවාරම් කටයුතු සඳහාද මෙම තරුණයින්ගේ මැදිහත්වීමක් දක්නට ලැබේ. මෙහිදී විදේශිකයින් විසින් නීතිවිරෝධීව මෙරටින් ශාක හා සතුන්, පිත්තල භාණ්ඩ ඇතුළු විසිතුරු භාණ්ඩ වටිනා ප‍්‍රතිමා ආදිය රැගෙන යාමේදී ඊට අතරමැදියන් ලෙස මෙම තරුණයින් කටයුතු කරන බවටද හදුනාගෙන ඇත. මෙහිදී ශ‍්‍රී ලංකා පොලිසිය හා සංචාරක පොලිසි එක්ව සිදුකෙරෙන වැටලීම් මගින් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පවා කටයුතු කෙරෙන අතර එමගින් සිදුවන්නේ අදාළ විදේශීය රාජ්‍ය හා මෙරට අතර පවතින සුහදශීලීභාවයට ගැටලුවකි.

ඉහත කරුණු වලට අමතරව වෙරළේ නිදැල්ලේ හැසිරෙන තරුණයින් හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාපාරයට සිදුවෙන අයහපත් බලපෑම පිළිබඳ සැළකීමේදී මෙම තරුණයින් විසින් වර්තමානය වන විට සංචාරක නිෂ්පාදන සැලසුම් කිරීමට යොමුවීම ප‍්‍රධානතම බලපෑමක් බවට පත්ව ඇත. මන්ද යත් කිසිදු වගකීම් සහගත බවකින් තොරව නිර්මාණය කෙරෙන මෙම චාරිකා සඳහා ඔවුන් ඇතුළත් කරන්නේ ඉතාම පහළ මට්ටමේ පහසුකම්ය. එමෙන්ම මොවුන් විසින් ග‍්‍රහණය කර ගන්නා සංචාරකයින් මත ඔවුන්ගේ සමස්ත පවුලම යැපෙන තත්ත්වයට පත්ව ඇත. සංචාරකයාද තම ලාභය හෝ වෙනත් අරමුණු වෙනුවෙන් ඔවුන්ගේ පහසුකම් භුක්තිවිඳීමට යොමුවේ. මෙහිදී නිර්මාණය වන ගැටලුසහගත තත්ත්වය වන්නේ සංචාරකයින් ශ‍්‍රී ලංකාවේ සැබෑ සුන්දරත්වය වෙනුවට මෙම පිරිස් විසින් නිර්මාණය කරන ලද සංස්කෘතියක ආශ්වාදය විඳීමයි. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය, සංස්කෘතිය වටිනාකම් මෙන්ම ආර්ථීකය පිළිබඳව නිවැරදි අවබෝධයක් දැනුමක් සංචාරකයාට නොලැබෙන අතර බොහෝවිට විකෘති කරන ලද තොරතුරු ලබාදේ. මෙමගින් සිදුවන්නේ මෙරට සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑමකි.

කෙසේ නමුත් මෙම තරුණයින්ගෙන් මෙරට සංචාරක ව්‍යාපාරයට සිදුවෙන බලපෑම අවම කරගනිමින් ඔවුන්ව විධිමත්ව මෙම ව්‍යාපාරයට යොමුකර ගැනීමට විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය කාලීනව වර්ධනය වී ඇති ආකාරය පෙනේ. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට සංචාරක ව්‍යාපාරය මගින් උදාකරදෙනු ලබන ආර්ථික ප‍්‍රතිලාභ උපරිම කරගන්නා අතරම අවිධිමත් සංචාරක සංවර්ධනය නිසා උද්ගත වන සියලු අයහපත් ප‍්‍රතිඵල අවම කරගත යුතුවේ. මේ සඳහා වෙරළේ නිදැල්ලේ හැසිරෙන තරුණයින් දැනුවත් කිරීම ඉතාම අත්‍යාවශ්‍ය වන අතර එය මූලිකව ගතහැකි පියවරද වන්නේය. විශේෂයෙන්ම මෙරට පිළිබඳව විශ්වාසය තබා මෙරට සුන්දරත්වය විඳගැනීමට පැමිණෙන විදේශීය සංචාරකයා ආරක්‍ෂා කරගතයුතු බවට ඔවුන් දැනුවත් කළ යුතුය. සංචාරක ව්‍යාපාරය ආශ‍්‍රිතව ජීවිකාව කරගත් මෙම තරුණ කොටස් විධිමත් ප‍්‍රවාහයකට ගෙන ඒමටත් එමගින් ඔවුන්ටද සංචාරක ක්ෂේත‍්‍රයේ පිළිගැනීමක් සහිත ස්ථාවරභාවයක් ලබාදීමටත් ශ‍්‍රී ලංකාවේ ජාතික සංචාරක සංවිධානය වන ලංකා සංචාරක මණ්ඩලය මූලිකත්වය ගතයුතුය. මෙහිදී මූලිකවම සංචාරක පොලිසි මාර්ගයෙන් මෙම තරුණයින්ගේ සත්‍ය තොරතුරු ලබාගත යුතුය. එනම් මොවුන්ගේ නම, පදිංචිය, අධ්‍යාපන සුදුසුකම් හා භාෂා දැනුම ආදී තොරතුරු සහිත ලිපි ගොනුවක් විවෘත කර ක‍්‍රමවත් ක‍්‍රමවේදයක් ඇතිකළ යුතුය. අනතුරුව මොවුන්ගේ අධ්‍යාපන මට්ටමට ගැළපෙන පරිදි විධිමත් පුහුණුවක් ලබාදී ක්ෂේත‍්‍රයට යොමුකරගත හැකිය. මෙහිදී සංචාරක සහායකයින් වැනි අනන්‍යතාවයක්ද ලබාදීමට කටයුතු කළ හැකිය. විශේෂයෙන්ම මෙම තරුණයින් ඇබ්බැහි වී සිටින දුරාචාර වලින් මුදවාගෙන යහපත් පෞරුෂයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු අතර සංචාරකයාට ප‍්‍රියමනාප පුද්ගලයකු බවට පත්කිරීම අත්‍යාවශ්‍ය වන්නේය. මෙහිදී සාමාන්‍ය ජනතාවගෙන් වෙන්කර හදුනාගැනීම සඳහා නිල ඇදුමක් ලබාදිමද කළ හැකිය. එමෙන්ම අනවසර ලෙස සංචාරකයින් පසුපස ගොස් වෙළඳාම් කරන තරණයින්ට එම කාර්යය එක් නියමිත ස්ථානයක සිට සංචාරකයාට කිසිදු ආකාරයක හිරිහැරයක් නොවන අයුරින් සිදුකිරිමට මගපෙන්වීම සහ පහසුකම් සැලසීමද කළ හැකිය. තවද මෙම තරුණයින්ගේ ක‍්‍රියාකලාපය පිළිබඳව නිතර අධීක්‍ෂණ මට්ටමෙන් කටයුතු කළ යුතු අතර මෙරටට පැමිණෙන සංචාරකයින්වද හැකි සෑම අවස්ථාවකදීම දැනුවත් කිරීම ඉතාම කාලෝචිත වන්නේය. විශේෂයෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයාගේ පූර්ණ ආරක්‍ෂාව තහවුරු කිරිම සඳහා සෑම සංචාරක පොලීසියකම ක‍්‍රියාකාරීත්වය තවදුරටත් උසස් කිරීමද අත්‍යාවශ්‍ය වන්නේය. මේ හරහා අප රට පිළිබඳව සංචාරකයා තුළ මෙන්ම ඔවුන්ගේ කට වචනය හරහා විදේශ රාජ්‍යයන් තුළද යහපත් ප‍්‍රතිරූපයක් නිතැතින්ම ඇතිකළ හැකි වන්නේය. සංචාරක ව්‍යාපාරයේ තිරසාර සංවර්ධනය ළගාකර ගැනීමටනම් මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඔවුන් බලාපොරොත්තු වන උපරිම ආශ්වාදය ලබාගැනීමට පූර්ණ නිදහස ලබාදිය යුතු අතර ඔවුන් ගැවසෙන සෑම ස්ථානයකම නිදහසේ රැදෙන්නට අවකාශය ලබාදිය යුතුය. කුඩා පරිමාණයෙන් වුව සිදුවෙන අයහපත් දෑ වළකාලීම සංචාරක ව්‍යාපාරයේ තිරසාර සංවර්ධනයක් අපේක්‍ෂා කරන රටක් වශයෙන් කළ යුතුම දෙයකි.

මේ අනුව පැහැදිලි වන්නේ මෙරට සංචාරක ව්‍යාපාරයේ අනාගතය සඳහා තර්ජනයක්ව පවතින වෙරළේ නිදැල්ලේ හැසිරෙන තරුණයින්ගෙන් සිදුවෙන බලපෑම අවම කරගැනීමට විධිමත් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීම තුළින් ඔවුන්වද සංචාරක ව්‍යාපාරයට විධිමත්ව යොමුකර ගැනීමට හැකිවන බවය.

මූලාශ‍්‍ර

පතිරණ, යූ.පී.එස්. (2010). සංචාරක ව්‍යාපාරය පසුබිම, බලපෑම හා නව ප‍්‍රවණතා. දිවුලපිටිය: සරස්වතී ප‍්‍රකාශන.

Kaushalya Gayani

කැලණිය විශ්ව විද්‍යාලයේ සංචාරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණය පිළිබඳ සහකාර කථිකාචාර්යවරියක වන කෞෂල්‍යා ගයනි, ගිරිඋල්ල. හමන්ගල්ල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. කැලණිය විශ්ව විද්‍යාලයෙන් සංචාරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණය පිළිබඳ විශේෂවේදී උපාධිය ප‍්‍රථම පන්ති ගෞරව සමාර්ථයක් (GPA – 3.95) සහිතව සම්පූර්ණ කරන ලද අතර කොරියානු භාෂාව පිළිබඳ සාමාන්‍යවේදී පාඨමාලාවද හදාරා ඇත. එමෙන්ම පුරාවිද්‍යාව පිළිබඳ සමාජීය විද්‍යාපති උපාධිය හදාරන ඇය කළමනාකරණය හා වෘත්තීය පුහුණු ආයතනයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවද හදාරා ඇත.

වෙරළේ නිදැල්ලේ හැසිරෙන තරුණයින් සහ ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය
ප්‍රතිචාර

ප්‍රසිද්ධ ලිපි

AdvertisementCloudways Managed hosting
උඩට යන්න