තිස් වසරක යුද්ධය නිමා වී වසර ගණනාවක් ගතවී තිබේ. යුද්ධය අවසන් වූ දින ශ්‍රී ලාංකිකයන්ගේ සිතෙහි ඇතිවූ බලාපොරොත්තු වසර ගණනාවක් ගතවූ පසුවද එලෙසම තිබේ. හිරෝෂිමා, නාගසාකී පරමාණු බෝම්බයෙන් පසුව ජපානය විශාල ආර්ථික පිම්මක් ගෙන ගෝලීය ආර්ථිකයේ දැවැන්තයෙකු බවට පත්වීමට වැඩිකලක් ගත නොවීය. දකුණු කොරියාවේ නිෂ්පාදන යුරෝපීය වෙළඳ පොළ ආක්‍රමණය කරමින් පවතින මොහොතක, චීනය තම භාණ්ඩවල ගුණාත්මකභාවය වර්ධනය කරගනිමින් වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙයි. ඉන්දියාව තොරතුරු තාක්ෂණය මුල්කරගනිමින් ආර්ථිකය ගොඩනගා ගනිද්දී ශ්‍රී ලංකාව තවමත් හිටවූ තේකොළ ටික රට යැවීමට වෙර දරයි. නිවැරදි ආර්ථික දැක්මක් නොමැති අප ගෝලීය ආර්ථීකය තුල මංමුලා වූ මොහොතක අපගේ භාණ්ඩ හා සේවා අපටම විකුණාගත නොහැකි තත්ත්වයකට පත්වී තිබේ.

1957 දී ගානාව නිදහස් රටක් බවට පත්වන විට අනෙකුත් අප්‍රිකානූ රටවලට වඩා බොහෝ ඉදිරියෙන් සිටින්නේ ඔවුන් විශාල ලෙස කොකෝවා නිෂ්පාදනය කරමින් අපනයනය හේතුවෙනි. ඔවුන්ගේ වත්කම් ණය මෙන් හත් ගුණයක් වූ අතර එවකට අප්‍රිකානූ රටවල් අතරින් හොඳම ප්‍රවාහන යටිතල පහසුකම් ගානාව සතුවිය. මෙම කාල සීමාව තුල ගානාවේ ඒක පුද්ගලික ආදායම ඇමෙරිකානූ ඩොලර් 490 ක් වූ අතර දකුණු කොරියාවේ ඇ‍මෙරිකානූ ඩොලර් 491 ක් විය.

එසේම 1980 දී ගානාහී ඒක පුද්ගලික ආදායම ඇමෙරිකානු ඩොලර් 400 ක් වූ අතර දකුණු කොරියාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානූ ඩොලර් 2000කි. 1990 දී එය ඇමෙරිකානූ ඩොලර් 4832 දක්වා වර්ධනය කරගැනුමට දකුණු කොරියාව සමත් විය. දකුණු කොරියානූ ආර්ථිකය ගොඩ නැගීම පිළිබඳව සොයා බැලීම ගානා ආර්ථිකය බිදවැටීම ගැන කරුණු සෙවීමට වඩා වැදගත් යැයි මට සිතේ.

කිසිදා යුරෝපීය කොලනියක ආභාසය නොලද දකුණු කොරියාව, අපනයන ආර්ථිකයක් ඔස්සේ ඔවුන්ගේ ආර්ථිකය ගොඩනැගීම ආරම්භ කරන ලදී. කෘෂි ආර්ථිකයක් තුල සිරවී තිබූ ඔවුන්ගේ ආර්ථිකය භාණ්ඩ නිෂ්පාදන හා අපනයන ආර්ථිකයක් බවට පත්කිරීම ආරම්භ කරන ලදී. මුලින් නිමි ඇඳුම් පාවහන් ආදී සරල නිෂ්පාදනවලින් ඇරඹි දකුණු කොරියානූ ආර්ථිකය කෙමෙන් කෙමෙන් තාක්ෂණික භාණ්ඩ නිෂ්පාදනය සඳහා නැඹුරු කරන ලදී. මෝටර් රථ වාහන ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අද කොරියානූ ආර්ථිකයේ ප්‍රධාන වෙළෙඳ භාණ්ඩ බවට පත්වී තිබේ. 1950 දී 70 % පමණ කෘෂිකර්මය වෙත යොමුව තිබූ රටක අද එය 20% පමණ වෙමින් බහුතරය භාණ්ඩ නිෂ්පාදනය වෙත යොමුවී තිබේ.

දකුණු කොරියානූ ආර්ථිකය ලොව 15 වන ශක්තිමත් ආර්ථිකය බවට පත්වන විට 1957 දී ඔවුන් හා සමාන ආර්ථිකයන් දැරු ගානාව අද ලෝකයේ 79 වන ස්ථානය දරන අතර ලොව කඩා වැටුණු ආර්ථිකයන් අතර 10 වන ස්ථානය ගනී.

ලොව බොහෝ රටවල් අපනයන ආර්ථිකයන් ඔස්සේ තම රටේ ආර්ථිකය ශක්තිමත් කරගත් අතර භාණ්ඩ නිෂ්පාදනය පිරිවැය, ගුණාත්මකභාවය මෙන්ම අ‍ලවිකරණයද මෙහිදී වැදගත් කරුණු ලෙස සැලකිය හැකිය.

නිෂ්පාදන පිරිවැය කෙරෙහි බලපාන බොහෝ සාධක ඇත. මිනිස් ශ්‍රමය මෙන්ම බල ශක්තිය සඳහා යන වියදම මෙන්ම අමුද්‍රව්‍ය සඳහා යන වියදමද නිෂ්පාදන පිරිවැය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක වෙයි. බොහෝ රටවල් සිදුකරන ලද්දේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ආනයන කරන අමුද්‍රව්‍ය සඳහා බදු අඩුකිරීම හෝ සම්පූර්ණයෙන් අහෝසි කිරීමය. දකුණු කොරියාව,තායිලන්තය ආදී රටවල මෙම ප්‍රතිපත්තිය විශේෂයෙන්ම කැපී පෙනුනි. 2011 වර්ෂයේදී ශ්‍රී ලංකාවේද සංවර්ධන හා පර්යේෂණ අංශය සඳහා ආනයනය කරන ලද භාණ්ඩ සඳහා වැට් බද්ධ නිදහස් කලද අපේක්ෂිත අන්දමින් එම ක්ෂේත්‍රයේ දියුණුවක් නොවීය. බොහෝ නිෂ්පාදිත භාණ්ඩයන් අලෙවිකරණයේ දී අපහසුතා ඇතිවූ අතර ඇතැම් භාණ්ඩ සඳහා පර්යේෂණ සිදුකර ඇත්තේ මූලික අලෙවිකරණ සිද්ධාන්ත පවා නොසලකාය. පර්යේෂකයන් සඳහා මූලික අළෙවිකරණ දැනීමක් හෝ ලබාදීම වැදගත් වනුයේ මෙවන් පසුබිමක් තුලය.ගෝලීය වෙළඳපොළ තුල ඉන්දියානූ, මැලේසියානූ, චීන, තායිවාන්, කොරියා නිෂ්පාදන සමඟ තරග කිරීමට හැකි භාණ්ඩ හා සේවා අප විසින් නිපදවිය යුතුව තිබේ. මෙවන් රටවල සන්නාමයන් (Brand) සමඟ තරග කිරීමට හැකි සන්නාමයන් අප විසින් නිර්මණය කළ යුතුය. අප රටේ තේ සඳහා ඉල්ලුමක් පැවතියද අප කරනුයේ තේ අපනයනය කිරීම මිස මාර්කටින් (Marketing) කිරීම නොවේ. අමු ද්‍රව්‍යයන් ලෙස ලබාගන්නා අපගේ තේ කොළ යුරෝපියානූ සම්බවයක් ඇති ආයතන මගින් යුරෝපියානූ සන්නාමයන් යොදා අලවිකරමින් විශාල මුදලක් උපයයි. ස්විස්ටර්ලන්තයේ චොකලට් ලොව ප්‍රසිද්ධ වුවද එහි කොකෝවා වැවෙන්නේ නැත. නමුත් අනුන්ගේ කොකෝවා ගෙන චොකලට් සාදා විශාල විදේශ විනිමයක් උපයාගැනීමට තරම් ඔවුන් උපක්‍රමශීලී වී තිබේ.

බොහෝ ප්‍රචලිත වෙළඳ නාමයන් අද වෙළඳ පොළට පැමිණෙන්නේ චීන, ඉන්දියන් හෝ මැලේසියානූ නිෂ්පාදන ලෙස වීම ශ්‍රී ලංකාව වැනි රටකට වාසි සහගතය. එසේම ඉක්ටා වැනි වෙළඳ ගිවිසුම් ඔස්සේ ඉන්දියානූ නිෂ්පාදකයන් අප රට තුලට රිංගා ගැනීමට උත්සහ දරන්නේ මේඩ් ඉන් ඉන්දියන් නාමයට වඩා මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමයට ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ විශේෂ වටිනාකමක් හිමිවන බැවිනි. විදේශිකයන් අපගේ වෙළෙඳ වටිනාකම් විකුණමින් අතිශය ලාභයක් ලබන අතර අපි තවමත් විදේශ ආනයනයන් දෙස බලාගෙන සිටින්නෙමු.

භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණය අප සතුව නැතැයි කියමින් සිටීම විනා තාක්ෂණය ලබාගැනීමේ ක්‍රම‍වේදය පිළිබඳව තවමත් සලකාබලා නොමැත. විදේශ ආයෝජනයන් කෙරෙහි බලාපොරොත්තු ලබා සිටියද ඉන්දියාව, චීනය, මියන්මාරය වැනි රටවල් අභිභවා විදේශ ආයෝජනයන් ලබාගැනීම එතරම් ලෙහෙසි පහසු නැත. පරණ විෂය නිර්දේශයන් නවීන ගෝලීය වටපිටාවට ඔබින ලෙස තවමත් නවීකරණය වී නැත. සිසු පරපුර තුල තවමත් වෛද්‍යවරයෙකු වීමට සිහින මැවීම මිස සුළු වශයෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින මවන්නන් සොයා ගැනීම අසීරුය.

චීනය, හොන්කොන්, වියට්නාමය වැනි රටවල් තුල සුළු ව්‍යාපාර අතිශය බහුලය. නිවසේ සිට යම් යම් භාණ්ඩ නිෂ්පාදනය කිරීම හා ඒවා අන්තර්ජාලය ඔස්සේ අලෙවිකිරීම ඉතා ප්‍රචලිතය. එමගින් සැලකිය යුතු ආදායමක් ඔවුන් උපයාගනී.

අපගේ ව්‍යාපාරික ප්‍රජාවද යමක් ආනයනය කර විකීණීම මිස නිෂ්පාදනය කර විකිණීම වෙත සිත යොමුකර නැත. එම නිසා බොහෝ නිෂ්පාදනය කලහැකි භාණ්ඩ ආනයනය කිරීම සිදුවන අතර රජයෙන්ද දේශීය නිෂ්පාදනය දිරිමත් කිරීමට අවශ්‍ය පියවර ගෙන නොමැත.අසීරු වුවද ජාත්‍යන්තර වෙළඳාම මත බිහිවන ආර්ථිකයකට හුරුවීමට දැන් අවස්ථාව පැමිණ තිබේ. නිෂ්පාදනය කල හැකි හා නොහැකි භාණ්ඩ හා සේවා හඳුනා ගැනීම ප්‍රථමයෙන් කළ යුත්තකි. දේශීයව නිෂ්පාදනය කරන භාණ්ඩ සඳහා දේශීය වෙළඳ පොළක් ඇති කිරීම හා විදෙස් භාණ්ඩ හා තරග කළ හැකි ලෙස ගුණාත්මකභාවය වැඩි කිරීම ද අත්‍යවශ්‍ය කටයුත්තකි.

ආසියානූ රටවල් අතරින් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවට ඇති කීර්ති නාමය භාවිත කරමින් අපගේ නිෂ්පාදන භාණ්ඩ ජාත්‍යන්තර වෙළඳපොල වෙත යොමුකිරීම ඉතා හොඳ උපක්‍රමයකි. තේ සඳහා ඇති ඉල්ලුම මෙන්ම ක්‍රිකට් ක්‍රීඩා වෙන්ලබා ඇති ප්‍රසිද්ධියද මේ සඳහා හොඳ පසුබිමක් සපයයි. ඉතා පැහැදිලි අලෙවි සමීක්ෂණ දත්ත මත නිවැරදිව වෙළඳ පොල ඛන්ඩනය කරමින් (Marketing Segmentation) වෙළඳ නාමයන් (Brand) ස්ථාපනය කිරීම (Positioning) ජාත්‍යන්තර වෙළඳපොල ජයගත හැකි ප්‍රධානතම මාර්ගයකි.

මෙම ක්‍රියාදාමය ජයගැනීමට රාජ්‍ය අනුග්‍රහය මෙන්ම අලවිකරණය පදනම්කරගත් දැක්මක් ඔස්සේ ප්‍රතිපත්ති සකස්කිරීම අත්‍යවශ්‍ය කරුණකි.එසේ නොවුනහොත් මෙම ණය උගුලෙන් ගැලවීම දවල් සිහිනයක්ම වනු ඇත.

English Edition: Sri Lanka in the International Market