කිසියම් රටක සංවර්ධනය යන්නෙන් එම රටේ භෞතික වර්ධනය පමණක් නොව අධ්‍යාත්මික ගුණ වගාව, සෞඛ්‍යය, අධ්‍යාපනය යන ක්ෂෙත්‍ර වල වර්ධනය ද අදහස් වේ. ඒ අනුව යම් රටක සංවර්ධන සංකල්පය ඵල දැරීමට රටේ මුළු මහත් ජනතා සහභාගිත්වය අවශ්‍ය වේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, මුළු ජනගහනයෙන් හරි අඩකටත් වඩා කාන්තාවෝ වෙති.

නමුත් සංවර්ධනය කරා පියවර මනින මෙරට තුල තවමත් බොහෝ දෙනා තුල කාන්තාව සංවර්ධනයේ ප්‍රධාන කොටස්කාරියක්ය; යන හැඟීම ඇතිවී නොතිබීම අවාසනවන්ත තත්වයකි. පුරුෂ පක්ෂයට මෙන්ම කාන්තා පක්ෂයටද සමතැනක් හිමිවිය යුතු බව මේ වන විට මුළු ලෝකයම පිළිගත් තත්වයකි. එක්සත් ජාතීන්ගේ සංගමය විසින් 1975 වසර කාන්තා වර්ෂය නමින් නම් කරමින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් හා සංවර්ධන කාර්යයට ඇගේ සහභාගිත්වයේ වැදගත්කම අවධාරණය කරන ලදී.

අතීතයේ පෙරදිග බ්‍රාහ්මණ ආකල්ප වලින් වැසීගත් රට වල කාන්තාව කාලාන්තරයක් තිස්සේම ගත කලේ තරමක්වහල් ජීවිතයකි. ශ්‍රී ලංකවේ පවා බ්‍රාහ්මණ ආකල්ප, ආගමික සිතුම් පැතුම් පැළපදියම් වී තිබුණු ප්‍රාග් බෞද්ධ අවදියේ කාන්තාව කෙරෙහි දක්වනු ලැබ ඇත්තේ මෙවැනිම ආකල්පයකි.

කාන්තා නිදහස පිලිබඳ අදහස ප්‍රකට කල බුදුරජාණන් වහන්සේ, ප්‍රජ නායකත්වයේදී ස්ත්‍රී පුරුෂ භාවය වැදගත් නොවන බවත් අවධාරණය කළහ. අඹු සැමියන් වශයෙන්ද ඔවුන් කෙරෙහි සම සේ යුතුකම් හා වගකීම් පැවරෙන බව දක්වන ලද උන්වහන්සේ විසින් මවු පදවිය උත්තරීතර තත්වයක් ලෙස තව තවත් ලෝකයට පසක් කර දෙන ලදී.

වර්තමාන ශ්‍රී ලංකවේ තත්වය පිළිබඳ සලකා බැලීමේදී උගත්කම අතින් කාන්තාව පිරිමින්ට වඩා කිසි සේත් නොදෙවෙනි තත්වයක සිටී. විශේෂයෙන්ම වර්තමාන උසස් අධ්‍යාපන ආයතන බොහොමයක වැඩි ප්‍රතිශතයක් අධ්‍යාපනය ලබනුයේ කාන්තාවන්ය. තත්වය එසේ වුවත් ලෝකයේ සංවර්ධිත යැයි සම්මත රටවලට සාපේක්ෂව, සංවර්ධනය වෙමින් පවතින රටවල් වල කාන්තාවට රටේ සංවර්ධන කටයුතු වලට සම්බන්ධ වීමට ඇති අවස්ථා තවමත් සීමා වී ඇති ආකාරයක් දැකිය හැක.

මේ හේතූන් නිසා සංවර්ධනයේදී කාන්තාවගේ සේවය වඩාත් ඵලදායි ලෙස යොද ගැනීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කල යුතුව පවතී. විෂේශයෙන් ව්‍යවස්ථා සම්පාදන කටයුතු වලදී කාන්තා සහභාගීත්වය තව තවත් වැඩි කිරීමට මේ වන විට යෝජනා වී තිබීම පැසසිය යුතු තත්වයකි. නමුත් ඉන් නොනැවතී සමාජමය වශයෙන් ඇයට ඇති කර ඇති සීමාවන් ඉක්මවා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කටයුතු කල හැකි පරිසරයක් නිර්මාණය කිරීමට දායක වීම සැමදෙනා සතු යුතුකමක් බව අවධාරණය කල යුතුය.