හැඳින්වීම

පුද්ගලයා කායිකව මෙන්ම මානසිකව ද රෝගීභාවයට පත් වේ. එය විශ්වීය වූත් ස්වාභාවික වූත් ආනුභවික ධර්මතාවයකි. කායිකව රෝගීවීම ඉතාමත් සුලබව දක්නට ඇති අතර ඒ සඳහා නිසි ප‍්‍රතිකාර ලබා ගැනීම සහ ඉන් සුවපත් වීම සාමාන්‍යයෙන් දක්නට ලැබේ. එහෙත් මානසිකව රෝගීවීම හෝ ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිකාර ගැනීමට යොමුවීම යන කාරණාව පිළිබඳව වර්තමාන සමාජය සහ මිනිසුන් තුළ ද ඇත්තේ අගතිගාමී, සෘණාත්මක ආකල්පමය තත්ත්වයකි.

බටහිර ලෝකය තුළ මෙවැනි මානසික රෝගී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කෙරෙන විෂය ක්ෂේත‍්‍ර අතුරින් අසාමාන්‍ය මනෝවිද්‍යාවට සහ සායනික මනෝවිද්‍යාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙම විෂයන් ඔස්සේ සාකච්ඡා කෙරෙන කාරණා අතුරින් ප‍්‍රධානතම මාතෘකාව වනුයේ අසාමාන්‍ය චර්යා හෙවත් මානසික අක‍්‍රමතා සහ රෝග යනාදිය පිළිබඳව යි. මෙවැනි තත්ත්වයන්  ඕනෑ ම පුද්ගලයෙකුට එදිනෙදා ජීවිතය තුළ අත්දකින්නට ලැබීම ස්වාභාවික වන අතර සරල ආතතිය හැරුණු කොට ඉන් ඔබ්බට යන සරල සහ උග‍්‍ර මට්ටමේ මානසික අක‍්‍රමතා හෝ රෝග ඇත්නම් ඒ සඳහා නිසි උපදේශනය, ඖෂධ සහ මනෝප‍්‍රතිකාර සඳහා යොමුවීම හෝ යොමු කරවීම අත්‍යාවශයෙන්ම අවශ්‍ය කාරණාවකි. ඒ අනුව මෙලෙස ඇතිවන මානසික තත්ත්වයන් යටතේ සලකා බැලෙන උග‍්‍ර මානසික රෝග තත්ත්වයක් හෙවත් ප‍්‍රධාන සයිකෝෂිය අක‍්‍රමතාවයක් ලෙස හැඳින්වෙන භින්නෝන්මාදය සහ මායාත්මක අක‍්‍රමතා පිළිබඳව පරිපූර්ණ විග‍්‍රහයක් මෙම ලිපියේ අන්තර්ගත වේ.

භින්නෝන්මාදය පිළිබඳ හැඳින්වීම, නිර්වචන සහ එහි අන්වර්ථ නාමයන්

භින්න’ යනු දෙකඩ වූ බිඳුණු යන අරුත් ගැන්වෙන වචනයකි. ‘උන්මාද’ යනු මානසික රෝග යන අර්ථය ප‍්‍රකාශ වන ආයුර්වේදයට අයත්ව තිබූ වචනයකි. ඒ අනුව භින්නෝන්මාදය යනු (බිඳුණු+මානසික රෝග) දෙකඩ වූ මානසික තත්ත්වයක් හේතුවෙන් ඇතිවන රෝගයකි. මෙය ඉංගී‍්‍රසි  සහ නූතන ලතින් බසින් schizophrenia ලෙසින් හැඳින්වෙන අතර එය ඉංගී‍්‍රසියට බිඳී එන්නේ ගී‍්‍රක භාෂාවට අයත් skhizein සහ phren යන වචන ද්විත්වය එක්වීමෙනි. වර්ෂ 1900 දී මෙය ප‍්‍රථම වරට හඳුනාගන්නට වූ අතර නූතන මනෝ වෛද්‍ය විද්‍යාව තුළ මෙය උග‍්‍ර මානසික රෝගයක් ලෙස හඳුන්වනු ලබයි. එහෙත් මේ සඳහා ඉතිහාසය පුරාවට ම විවිධ අන්වර්ථ නාමයෙන් භාවිතාවට ගැනෙන්නට විය. එනම්,

Dementia Praecox (Precocious Madness / Premature Dementia)

වර්ෂ 1896 දී ජර්මානු ජාතික Emil Kraepelin විසින් මෙම නම හඳුන්වා දෙන්නට වූ අතර මොහුගේ අර්ථකථනයට අනුව භින්නෝන්මාදය යනු පුද්ගල මනස දෙකඩ වීම නිසා ඇතිවන තත්ත්වයකි. මේ අනුව ඔහු මෙහි ප‍්‍රධාන ලක්ෂණ 4 ක් පිළිබඳ ඉදිරිපත් කරනු ලබයි. එනම්,

  1. Hallucinations – භ‍්‍රාන්තිය 
  2. Delusions – මායාවන් 
  3. Attention Problems – අවධානය ආශ‍්‍රිත ගැටලූ 
  4. Vizard motor problems – අමුතු චාලක ගැටලූ

මෙම තත්වය තරුණ අවධියේ දී ඇතිවන තත්ත්වයක් ලෙසත් දිගුකාලීන ස්ථාවර ලෙස බලපවත්වන බවත් ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.

Schizophrenia

වර්ෂ 1911 දී ස්විස් ජාතික Eugen Bleuler විසින් මෙම නම හඳුන්වා දුන් අතර ඔහුගේ අදහසට අනුව මොළයේ මානසික පීඨයන් (mental faculties) දෙකඩ වීමක් මත මෙම තත්ත්වය හට ගනී. ඒ අනුව ඔහු දෙකඩ වූ මනස හෙවත් Split / Phren Mind යන අර්ථය මතු කරයි. එහෙත් ඔහුට මෙය නිෂ්චිතව සනාථ කිරීමට නොහැකි විය. එහෙත් ඔහු ඉන් අදහස් කරන්නට උත්සහ කරන ලද්දේ පුද්ගලයා තුළ පවත්නා ප‍්‍රජානන හැකියා අතර සම්බන්ධතාවය බිඳ වැටීමක්  ලෙස ය. 

වර්ෂ 1911 න් පසුව මෙම රෝගය පිළිබඳව වෛද්‍ය විද්‍යාව ද තුළ දැඩි අවධානයට ලක් විය. මේ අනුව භින්නෝන්මාදය පිළිබඳව තව තවත් නිර්වචනි සහ අර්ථකථන ඉදිරිපත් කරන්නට විය.

  • 1896 – Emil Kraepelin – භ‍්‍රාන්ති, මායාවන් හා අවධානය මඳකම හා අමුතු චර්යාවන් පදනම් කොට මෙය ඇති වේ.
  • 1911 – Eugen Bleular   – මානසික කි‍්‍රයාකාරීත්වය හා මානසික පීඨයන් දෙකඩ  වී ප‍්‍රජානන හැකියා අතර සම්බන්ධය බිඳ වැටීමෙන්  මෙය ඇතිි වේ.

1950 වර්ෂය වන විට අසාමාන්‍ය මනෝ විද්‍යාවේ හා මනෝ වෛද්‍ය විද්‍යාවේ ඇති වූ විශාල දියුණුවත් සමඟ DSM සහ ICD යන රෝග වර්ගීකරණ අත්පොත් ඉදිරිපත් වන්නට විය. ඒ සමඟ මෙම රෝග තත්ත්වය සම්බන්ධව ඉදිරිපත් වූ අර්ථකථනයන් ද වඩාත් පුළුල් විය. එනම්, නූතන පිළිගැනීමට අනුව භින්නෝමාදය යනු පුද්ගලයාගේ චින්තනය, සංජානනය හා මනෝභාවයන් ආශි‍්‍රතව ඇති කෙරෙන ප‍්‍රබල විකෘතියකි.

DSM හෙවත් මානසික රෝග පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත වර්ගීකරණ අත්පොතෙහි සඳහන් පරිදි භින්නෝන්මාදයේ රෝග ලක්ෂණ

  1. Delusions – මායාත්මක බව 
  2. Hallucinations – භ‍්‍රාන්තිය 
  3. Disorganized Speech – අසංවිධිත කථනය 
  4. Catatonic Behaviour – ප‍්‍රකෝපවීම් සහිත චර්යාව 
  5. Negative Symptoms – සෘණාත්මක ලක්ෂණ 

මෙම රෝග ලක්ෂණ අතුරින් දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් යම් පුද්ගලයෙකු තුළ දක්නට ලැබෙන්නේ නම් එය භින්නෝන්මාදය ලෙස විනිශ්චය කෙරේ.

භින්නෝන්මාදය

(A) Delusion of thoughts

Delusion යනු යථාර්ථවාදී නොවන සිතිවිල්ලකි. එසේත් නැතිනම් වැරදි විශ්වාසයන්ය. මේ අනුව Delusion වර්ග ගණනාවක් පවතී. එනම්,

  1. Delusion of persecution – මෙම තත්ත්වයේදී බාහිර පරිසරය හෝ වෙනත් අය තමාට එරෙහිව කටයුතු කරනනේ යැයි සිතිවිලි ඇති වේ. එමෙන් ම තමාට විරුද්ධව කුමන්ත‍්‍රණයක් කරතැයි හෝ අනෙක් අය තමාව විනාශ කරතැයි සිතමින් සැකෙන් හා බියෙන් ජීවත් වේ.
  2. Delusion of Control – මෙම තත්ත්වයේ දී පුද්ගලයා තම සිතිවිලි, හැඟීම් හා හැසිරීම් අනෙක් අය විසින් හෝ වෙනත් බාහිර බලවේගයක් විසින් හෝ ග‍්‍රහලෝකයක් හෝ උපකරණයක් විසින් පාලනය කරන බව සිතයි.
  3. Delusion of Reference – මෙම තත්ත්වයේ දී පුද්ගලයා විශ්වාස කරන්නේ බාහිර පුද්ගලයන්ගේ කතා බහට තමා වස්තු විෂය වී ඇති බවත් එම පිරිස හා ජනමාධ්‍ය වලින් තමා පිළිබඳ කතා කරෙතැයි සිතයි.
  4. Delusion of Grandeur – මෙම තත්ත්වයේ දී පුද්ගලයාට සත්‍ය ලෙස ම නැති හැකියාවක් , තත්වයක් ඇතැයි, ප‍්‍රසිද්ධ කෙනෙකු යැයි සිතන අතර මොවුන් අන් අයට කළ නොහැකි දේ කළ හැකි යැයි සිතයි. නිදසුන් : ගොඩබිමේ සිට ඈත මුහුදේ මාළු ඇල්ලීම.
  5. Delusion of Sin & Guilt – මෙම තත්ත්වයේ දී පුද්ගලයා සිතන්නේ තමා විශාල වැරදි වැඩක් කර ඇති බවය. එහෙත් සත්‍ය ලෙසම එවැනි කිසිවක් සිදු කර නැත. එහෙත් මොවුන් නිතරම බියෙන් හා සැකෙන් ජීවත් වේ. කුමන හෝ මොහොතක තමාට දඬුවමක් ලැබෙතැයි සිතයි.
  6. Hypochondriacal Delusions – මෙම තත්ත්වයේ දී පුද්ගලයා තමාට බරපතල කායික රෝගයක් ඇතැයි සිතයි. මෙය දැඩිව එල්බ ගත් සිතිවිල්ලකි.

(B) Disturbance of Thinking

  1. Thought Broadcasting – මෙහිදී තමාට දැනෙන සිතිවිලි අන් අයට සම්පේ‍්‍රෂණය කළ හැකැයි සිතයි.
  2. Thought Withdrawal – තමාට සිතෙන දේවල් අන් අය විසින් තමාගේ හිතෙන් ඉවත් කරතැයි සිතයි.
  3. Thought Insertion and Language Problem – අන්‍යයන් විසින් තම මනසට විවිධ සිතිවිලි ඇතුළු කරන්නේ යැයි සිතයි. එමෙන් ම පොදුවේ ගත් කළ භාෂාව ආශි‍්‍රත ගැටලූ කීපයක් ද ඇති වේ. භාෂාව යනු පුද්ගල චින්තනයේ බාහිර ස්වරූපය යි.
  • කතා කරගෙන යන විට එක්වර ම කතාව නැවතී නිශ්ශබ්ද වීම (Blocking)
  • කතාවේ අසංවිධානාත්මක බව (Disorganized Speech)
  • පරස්පර විරෝධී කථනය
  • කතාවේ අන්තර්ගතයක් නැති වීම (Word Salad)

(C) Disturbance of Perception

සංජානන විකෘතීන් (Hallucinations) ලෙස හඳුන්වයි. එනම්, යථාර්ථ නොවන දේවල් හෙවත් සංජානන වැරදීන්යx මෙහි ප‍්‍රධාන ස්වරූප කීපයකි.

  1. Auditory Hallucinations – මෙම තත්ත්වයේ දී යථාර්ථවාදී නොවන කටහඬවල්, සාකච්ඡා, අපැහැදිලි සංගීත නාද, සතුන්ගේ හඬවල් ඇසෙන්නට පටන් ගනී.
  2. Visual Hallucinations – මෙහිදී යථාර්ථවාදී නොවන දේවල් වන යකුන්, භූතයන්, දෙවිවරු, මිය ගිය අය දෘශ්‍යමාන වේ.
  3. Tactile Hallucinations – මෙම තත්ත්වයේ දී කෙනෙකු තමාව ස්පර්ශ කිරීම, පහර දීම, කිති කැවීම, කේන්ති වීම වැනි යථාර්ථවාදී නොවන ස්පර්ශ සංවේදන දැනේ.
  4. Gustatory Hallucinations – මෙම තත්ත්වයේ දී විවිධ රසයන් දැනෙන්නට පටන් ගනී. එමෙන්ම කිසිවිටෙකත් ආහාර වල රසයක් නොදැනීමට ද පුළුවන. එබැවින් ආහාර වලට වස දමා ඇතැයි සිතේ.
  5. All Factory Hallucinations – සෑම දෙයක්ම නරක ලෙස සංජානනය වී යථාර්ථවාදී නොවන දෘශ්‍ය හා ගන්ධ, ශ‍්‍රව්‍ය, ස්පර්ශ සංජානනයන් ඇති වේ.

(D) Disturbance of Moods 

මෙම තත්ත්වයේ දී පුද්ගලයාගේ බාහිර ස්වරූපය දැඩිව වෙනස් වේ. එනම්, චිත්තවේග හා මනෝභාවයන්ට දැඩිව බලපෑම එල්ල වේ. සාමාන්‍යයෙන් දෛනිකව සාමාන්‍ය පුද්ගලයකුගේ මුහුණේ ඉරියව් වලින් ඔහු සිටින මනෝභාව තත්ත්වය හඳුනාගත හැක.

  • Blunted Affect – මතුපිටින් සාමාන්‍ය චිත්තවේග ප‍්‍රකාශ වුව ද අභ්‍යන්තරිකව ඊට වඩා හාත්පසින් ම වෙනම ම  තත්ත්වයක් පවතී. එහෙත් එය මතුපිටට නොපෙන්ව යි. එනම්, එය එම පුද්ගලයාගේ සැබෑ හැඟීම නොවේ.
  • Flat Affect – කිසිඳු චිත්තවේගයක් දක්නට නොලැබේ. මොවුන් තුළ “Everything is flat” චිත්තවේගාත්මක බවක් නැති තරම් ය. 
  • Inappropriate Affect  – මොවුන් සුදුසු නොවන අවස්ථානෝචිත නොවූ චිත්තවේග පළ කරයි. නිදසුන් : අවමඟුල් අවස්ථාවක දී මහ හඬින් සිනහ වීම

(E) Disturbance of Behaviours  

භින්නෝන්මාද රෝගීන් තුළ අමුතු අසාමාන්‍ය චර්යාවන් පවතී. බොහෝ විට මෙම හැසිරීම් සිටින පරිසරය සමඟ නොගැළපෙන අතර එසේ වුවත් එක ම චර්යාව හෝ නැවත නැවත කරයි. බොහෝවිට එය පැය ගණන් පවත්වා ගෙන යනු ලබයි.

නිදසුන් : ඇවිදීම, මුමුණා කතා කිරීම, ඉඳගෙන යමක් දෙස ම බලා හිඳීම, අත් වැනීම, නොපෙනෙන අය සමඟ කතා කිරීම.

ඒ් අනුව මෙවැනි භින්නෝන්මාද සහිත පුද්ගලයන් තුළ දිගින් දිගට ම සිදු කරන පුරුද්දක් හෝ චර්යාවක් හඳුනාගත හැක. එම නිසා ඔවුන් වැරදි සංජානනයන්, චින්තනයන් හා සිතුවිලි වලට පමණක් ප‍්‍රතිචාර දක්වයි.

භින්නෝන්මාදයේ අනු-කාණ්ඩ (Subtypes of Schizophrenia)

ඉහත වර්ගීකරණයන්ට අමතරව භින්නෝන්මාද රෝගය ඉදිරිපත් වන ආකාරයන් අනුව ද  ප‍්‍රධාන වර්ග කිහිපයකට බෙදා දැක්යවිය හැකි වේ. එනම්, 

Disorganized type

මෙය මුල් කාලීනව “Hebephrenic” ලෙස හඳුන්වන්නට වූ මෙය DSM-V වල සඳහන් පරිදි ප‍්‍රධාන රෝග ලක්ෂණ 3ක් දක්නට ලැබේ. එනම්,

  1. Disorganized Language (Word Salad)
  2. Mood Disturbance – Blunted & Flat Affect 
  3. Disorganized Behaviour – අපිරිසිදු / අපිළිවෙළ චර්යාවන් 

මෙහි දී බහුතරය තුළ දාා ඉැය්ඩසදමරි දක්නට ලැබේ. පුද්ගලයෙක් නැතිව කතා කිරීම, විකාර හැසිරීම නිසා මූළුමනින්ම සමාජයෙන් ඈත් වේ.

Catatonic Type 

  • චාලක කි‍්‍රයාකාරකම් සමඟ අසාමාන්‍යතාව ප‍්‍රකට වේ.
  • එකම ඉරියව්වක වැඩි වේලාවක් ගත කිරීම.
  • අසාමාන්‍ය ඉරියව්වක සිටීම. (වැනීම / පැද්දීම)

Paranoid Type

සෑම කෙනෙක් ම සෑම දෙයක් ම සැක කරයි. මෙවැනි අයට Paranoid Delusion සහ Hallucination පවතී.

Indifferent Type

මෙහිදී ඉහත වර්ග 3 ට ම අයත් ලක්ෂණ සහිත මිශ‍්‍ර ස්වභාවයක් දක්නට ලැබේ.

Catatonic + Disorganized + Paranoid = Mix

මේ අනුව ලෝක ජනගහනයෙන් 1% – 2% පමණ ප‍්‍රමාණයකට භින්නෝන්මාදය පවතින අතර කාන්තාවන්ට සාපේක්ෂව පුරුෂයින්ට වැළඳී ඇති ප‍්‍රමාණය සාපේක්ෂව ඉහළය. ශ‍්‍රී ලංකාව තුළ භින්නෝන්මාද රෝගීන්ගේ ප‍්‍රතිශතය පිළිබඳ නිශ්චිත සංඛ්‍යා දත්ත නොමැති අතර රටේ සමස්ත ජනගහනයෙන් ලක්ෂ 2ක් පමණ ප‍්‍රමාණයක් මෙවැනි රෝගීන් සිටිති යැයි අනුමාන කරනු ලැබේ. එහෙත් විවිධ හේතූන් මත ප‍්‍රතිකාර කරා යොමු වන ප‍්‍රමාණය ඉතාමත් අවමය.

චීනයේ මෙවැනි රෝගීන් ප‍්‍රතිශතය ඉතාමත් ඉහළ වන අතර ලංකාවේ ද හැඳල, මුල්ලේරියාව, අංගොඩ වැනි ස්ථාන වල ඒකක ලෙසින් මෙම රෝගී මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි.

Delusions Disorders

මෙහි දී චින්තනයේ ගැටලූ සහිත රටාවක් පමණක් දක්නට ලැබෙන අතර භින්නෝන්මාද ලක්ෂණ දක්නට නොලැබේ. එනම්,

  1. මනෝ භාව වල වෙනසක් නොමැත.
  2. බාහිර පෙනුම සාමාන්‍ය ය.
  3. සංජානන විකෘතිතා නොමැත.
  4. චින්තනය ආශි‍්‍රත ව පමණක් ගැටලූ ඇති වන අතර කථාව සහ හැසිරීමෙන් එය බාහිරට විද්‍යමාන වේ.
  5. සාමාන්‍ය පුද්ගලයාට වඩා තරමක් දුරට වෙනස් චර්යා ඉදිරිපත් කෙරේ.

මෙහිදී ද වර්ග ගණනාවක් දක්නට ලැබේ. එනම්, 

Persecutory Type

  1. අන් අය තමාට විරුද්ධ ව වැඩ කරතැයි සිතයි.
  2. අන් අය සමඟ ගැටේ.
  3. සැක කරයි.

 Erotomaniac Type

  1. ඉහළ තැනක සිටින අයෙක් තමාට ආදරය කරතැයි සිතයි.
  2. මෙය තමාට එවැනි අයෙක් නැති විට සංරක්ෂන ප‍්‍රයෝගයක් ලෙස ද අවිඥානිකව ඇති විය හැකිය.

Grandeur Type

  1. තමාට විශාල හැකියාවක්, දැනුමක් ඇතැයි සිතාගෙන සිටියි.
  2. සුවිශේෂී පුද්ගලයින්ගෙන් පමණක් තොරතුරු ලැබෙන බව සිතයි.
  3. ඇතැම් දෑ ආගම සමඟ ද සම්බන්ධ වේ.

Jealous Type 

තමා සහකරුවා හෝ සහකාරිය වෙනත් සබඳතා පවත්වන්නේ යැයි සැක කරමින් පදනම් විරහිත ව අවිහ්වාස කරයි.

Somatic Type 

Delusion සමඟ ශරීරයේ විවිධ ඉන්ද්‍රියන් පිළිබඳ විකෘති රෝග මවා  ගනිමින් සිටියි. ඇතැම් ඉන්ද්‍රියන් අක‍්‍රීය වී ඇතැයි සිතේ. නිදසුන් : විෂ බීජ නිසා සම වෙනස් වේ.

මෙම තත්ත්වයේ දී ප‍්‍රධාන ලෙසම සමාජ, පවුල් , විවාහ , වෘත්තීය සංකීර්ණතා උද්ගත වේ. මෙවැනි පුද්ගලයින් තුළ නුරුස්නා ස්වභාවය, කලකිරීම, හිංසාකාරී බව, ඊර්ශ්‍යාව වැඩිපුර දක්නට ලැබේ.

නිගමනය

මේ අනුව උග‍්‍ර මානසික රෝග හෙවත් සයිකෝෂීය අක‍්‍රමතා ගණයෙහිලා සැලකෙන භින්නෝන්මාදය, ඒ හා සබැඳි අනු භින්නෝන්මාද වර්ගයන් සහ මායාත්මක ආක‍්‍රමතාවන්හි සායනික ලක්ෂණ සහ එවැනි පුද්ගලයෙකුගේ චිත්තවේගාත්මක, චර්යාත්මක, චින්තනමය සහ මනෝභාවමය ස්වාභාවය කෙබදුදැයි ඉහත සඳහන් විග‍්‍රහය තුළින් මනාව හඳුනාගත හැකි වේ. එමෙන් ම මෙවැනි තත්ත්වයකදී සෑමවිට ම සමාජ දුර්මත පසෙකලා ඔබේ සමීපතමයෙකු ඇත්නම් ඔහු  ඕ ඇයගේ තත්ත්වය අවබෝධ කොට ගෙන ඉක්මණින් ම මනෝ වෛද්‍ය ප‍්‍රතිකාර, උපදේශනය සහ මනෝ ප‍්‍රතිකාර සඳහා යොමුවීම හෝ යොමු කරවීමට කටයුතු කිරීම ඉතා වැදගත් වේ. මෙහිදී රෝගියා භින්නෝන්මාද තත්ත්වයේ දැනට සිටින මට්ටම් ප‍්‍රමාණය සහ කාලපරාසය  මත ඔහු හෝ ඇයගේ සුවපත්වීම හෝ එම තත්ත්වය පාලනය කර ගැනීමක් සිදු වේ. එබැවින් ඇතැම් අවස්ථාවන්වලදී මෙම තත්ත්වය ඖෂධ සහ වෙනත් ප‍්‍රතිකාර ගැනීම සමඟ කළමනාකරණය කරගනිමින් සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් ම ක‍්‍රමයෙන් ඔහුට හෝ ඇයට නැවතත් වැඩකටයුතු කර ගැනීමට ද හැකියාවක් ලැබෙනු ඇත.