ක්ලමථය (Stress) යනු විවිධ අර්ථ සහිත  ඉතා පුළුල් පරාසයක් ඔස්සේ පැතිර පවත්නා සංකල්පයක් ලෙසින් හැඳින්විය හැක. මෙකී සංකල්පය පුද්ගලයා යම් උත්තේජනයකට මුහුණ දෙනු ලබන ආකාරය මත විවිධ ස්වරූපයන් ගනු ලබයි.
ඒ අනුව ක්ලමථයෙහි ස්වරූපයන් මොනවාද යන්නත් ක්ලමථය හේතුවෙන් පුද්ගලයා තුළ ඇති වන ක්ලමථකාරී ලක්ෂණ කවරේ ද යන්න ත් ක්‍රීඩාව සඳහා බලපාන්නාවූ ක්ලමථකාරකයෝ කවරේද යන්නත් මෙම ක්ලමථකාරකයන් ක්‍රීඩකයන් සඳහා බලපෑම් කරනු ලබන ආකාරය කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම මෙම ලිපියෙහි අරමුණ වේ.

ක්ලමථය නිර්වචනය කිරීම

ක්ලමථය යනු බාහිර උත්තේජනයකට පුද්ගලයා විසින් ඉදිරිපත් කෙරෙන අභ්‍යන්තරික ප්‍රතිචාරයකි. එහෙත් එක ම උත්තේජයකට වුවද පුද්ගලයා දක්වනු ලබන ප්‍රතිචාරය විවිධාකාර වනු ඇත. එසේ වනුයේ ඒ ඒ පුද්ගලයා සතුව පවත්නා දැරීමේ හා මුහුණදීමේ හැකියාව, අධිෂ්ඨානශීලීබව, පෞරුෂ ගුණාංග යනාදිය හේතුවෙනි. ක්ලමථය යන්නට ඉංග්‍රීසි බසින් “Stress” යනුවෙන් භාවිතා වන අතර එය ඉංග්‍රීසියට බිඳී එන්නේ ලතින් භාෂාවට අයත් “Stricuts” යන වචනයෙනි. එහි අර්ථය වනුයේ පීඩාව, විපත, ආයාසය, යන්නයි. එනම්, ක්ලමථය යනු සරල මානසික පීඩාවකි. මෙකී ක්ලමථය යන්න දාර්ශනික දෘෂ්ටිකෝණය යටතේ ඉච්ඡාභංගත්වය (Frustration) ලෙසින් ද වෛද්‍ය විද්‍යාත්මක දෘෂ්ටිකෝණය යටතේ ආතතිය (Tension) ලෙසින් ද හඳුන්වනු ලබයි.  ඒ අනුව ක්ලමථය යනු කුමක්දැයි යන්නට විවිධ නිර්වචනයන් ඉදිරිපත් කළ හැකිය. එනම්, “අප ජීවත්වන පරිසරය තුළින් ඇති වී අපගේ ශාරීරික හා මානසික ක්‍රියාකාරිත්වයට අවධානමක් හෝ බිඳවැටීමක් ගෙනදෙන සිදුවීම් වලට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියකි.””(Baron A. Robert, 2008) එසේ නැතිනම් ක්ලමථය යනු “පුද්ගලයාට අභියෝගයක් ඇති වූ පරිසරයට අනුගතවීමේ තත්වයකි”(Coon, Dennis, 1994).

ක්ලමථ වර්ගීකරණය හා ක්ලමථකාරී ලක්ෂණ

මෙකී ක්ලමථය ඉදිරිපත්වන ආකාරය මත පදනම්ව මූලික වශයෙන් ම ක්ලමථ වර්ග කීපයක්  හඳුනාගැනීමට හැක. එනම්,

  • ජීව විද්‍යාත්මක ක්ලමථය – Biological Stress
  • මනෝ විද්‍යාත්මක ක්ලමථය – Psychological Stress
  • පාරිසරික ක්ලමථය – Environmental Stress
  • සියුම් ක්ලමථය – Acute Stress
  • නිදන්ගත ක්ලමථය – Chronic Stress
  •  සාධනීය ක්ලමථය  – Eu stress
  • නිෂේධනීය ක්ලමථය  – Distress

ජීව විද්‍යාත්මක ක්ලමථයේදි  ශරීර අභ්‍යන්තරයෙහි සිදුවන රසායනික වෙනස්කම් (කෝටිසෝල් නම් රසායනිකය) වල බලපෑම හේතුවෙන් පුද්ගලයා ජීව විද්‍යාත්මක වශයෙන් ක්ලමථයට පත් වේ.

කය හා මනසෙහි පවත්නා අන්තර් සම්බන්ධතාවය හේතුවෙන් කයෙන් සිදුවන වෙනස්වීම් මනසට ද මනසෙහි සිදුවන වෙනස්වීම් පෙරළා කයට ද බලපාන බැවින් මනෝ විද්‍යාත්මක වශයෙන් ද ක්ලමථය ඇති වේ.

එමෙන් ම  පුද්ගලයා ජීවත්වන විවිධ පාරිසරික පද්ධතීන් තුළ දී හමුවන්නා වු ක්ලමථකාරකයන් (භෞතික පරිසරය, සමාජ අවස්ථා, නිවසේ   ආයතන වල වැඩ රාජකාරි, මහාමාර්ගය, සංස්ථා ගැටුම්) හේතුවෙන් පාරිසරිකමය වශයෙන් පුද්ගලයා තුළ ක්ලමථය ඇති කෙරේ.

තව ද ඉතාමත් කෙටි කාලයක් තුළ යම් යම් සරල කාරණාවන් (විවාහය,රැකියාවේ උසස්වීම්, පිරිසක් ඇමතීම) මුල් කරගෙන ද  පුද්ගලයා තුළ සියුම් ක්ලමථය ඇති වේ. නැතහොත්  ක්ලමථය කාලාන්තරයක් තිස්සේ යටපත්ව පැවතීම (කලත්‍රයා මියයාමේ දුක, ප්‍රේම සම්බන්ධතාවයක් බිඳවැටීමේ දුක) මත නිධන්ගතමය වශයෙන් පැවත පුද්ගලයා තුළ ක්ලමථය ඇති වේ.
එමෙන් ම විටෙක මෙම ක්ලමථය පුද්ගලයාට සාධනීය හෙවත් ධනාත්මකව ද (විභාගය, සම්මුඛ පරික්ෂණ) තවත් විටෙක නිශේධනීය හෙවත් ඍණාත්මකව ද (තරඟයක් පරාජයට පත්වීම, විභාග අසමත්වීම) බලපානු ඇත.

ඒ අනුව මෙකී විවිධ ක්ලමථයන් හේතුකොට ගෙන පුද්ගලයා තුළ කායික, ප්‍රජානනික, චිත්තවේගාත්මක හා චර්‍යාත්මක වශයෙන් විවිධ ක්ලමථකාරී ලක්ෂණයන් ඇති කරවනු ලබයි. එනම්,

කායික

චිත්තවේගාත්මක

ප්‍රජානනික

චර්‍යාත්මක

ශාරීරික
වේදනා

නොසන්සුන්බව

මතකය ආශ්‍රිත ගැටලු

ආහාර
රුචිය අඩු
/වැඩි
වීම

පාචනය

තරහායාම

අවධානයේ
ගැටලු

හුදකලාවීමට
උත්සහ කරයි

මලබද්ධය

කලබලකාරී
බව

තීරණ ගැනීම ආශ්‍රිත ගැටලු

නිය
සැපීම

ඔක්කාරය

හුදකලාබව

 ඍණාත්මක දෘෂ්ටිය

නින්ද
අඩු
/වැඩි වීම

කරකැවිල්ල

පීඩාකාරී
සිතිවිලි

කනස්සලු
සහගත බව

වගකීම්
පැහැර හැරීම

හෘද
ස්පන්දනය
වැඩිවීම

සතුටක්
නොදැනීම

කාංසාජනක
බව

මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වීම     

ලිංගික ප්‍රේරණය අඩු/වැඩි වීම

ක්‍රියාකාරකම් සඳහා මැලිවීම

ක්‍රීඩාව හා ක්ලමථකාරක

ක්ලමථකාරී ලක්ෂණ සඳහා මූලික ලෙස ම බාහිර හා අභ්‍යන්තරික වශයෙන් පුද්ගලයාට විවිධ බලපෑම් ඇතිවිය හැකි අතර ක්‍රීඩාවේදී ද විවිධ වූ ක්ලථකාරකයන් හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ද ක්ලමථය ඇතිවිය හැක. ඒ අතර ක්‍රීඩා පුහුණුකරුවන්, ආර්ථික ගැටලු, අන්තර්පුද්ගල ගැටුම්, රැකියාව, තරඟකාරීත්වය, මාධ්‍ය බලපෑම්,නවකයන්ගෙන් එල්ලවන අභියෝග, මුල්‍ය අනුග්‍රාහකයන්ගේ බලපෑම්, දේශගුණික හා පාරිසරික බලපෑම්, සමීප සම්බන්ධතාවන්ගේ බලපෑම් හා ගැටලු යනාදිය ප්‍රධාන වේ.

ක්‍රීඩාව ක්ලමථකාරකයන් බලපාන ආකාරය

පුහුණුකරුවෙක් සැමවිටම තමා යටතේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැගීම්, චිත්තවේග, පෞරුෂ ලක්ෂණ, මානසික තත්වය, ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ මනා අවබෝධයකින් සිටිය යුතුය. එනම්, ඔහු හෝ ඇය සතු ශාරීරික දරාගැනීමේ හැකියාව සහ සටන් කළ හැකි ධාරිතාවය යනාදිය යි. මන්දයත් එසේ නොවූ විට අධිපුහුණුව (Over Training) සිදු වී ඉන් ක්‍රීඩකයාගේ කායික හා මානසික සමතුලිතතාවයට බලපෑම් එල්ලවනු ඇත. මේ නිසා ක්‍රීඩකයා දැවීයාමකට (Burnout) හෝ ශාරීරික ආබාධයන්ට ලක්වීමට ද හැකියාවක් පවතී. එමෙන් ම ක්‍රීඩකයාගේ පෞද්ගලික ජීවිතයට (ලිංගික සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා, යහළු මිත්‍ර සම්බන්ධතා හා නිදහස) බාධා කිරීම නිසා ද ක්ලමථකාරී තත්වයන් ඇති වේ. මේ නිසා සැමවිට ම පුහුණුකරු ක්‍රීඩකයන්ගේ ආකල්ප, රුචි අරුචිකම්, පුරුදු යනාදිය ඉතාමත් සුහදව පාලනය කරමින් ඉන් මානසික පීඩාවක් ඇති නො වන ලෙස කටයුතු කිරීමට වගබලා ගත යුතු ය.එමෙන් ම ආර්ථික ගැටලු යන්න ද ක්‍රීඩාවේ ක්ලමථය ඇති කරවන තවත් ප්‍රබල සාධකයක් ලෙස හැඳින්විය හැක. පසුගිය දශක කිහිපය දෙස බැලීමේදී පෙනීයන්නේ ගම්බද පෙදෙස් ආශ්‍රිතව දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි වී ඇති බවකි. එබැවින් ඔවුන්ගේ පවුල් පසුබිම තුළ සිටින යැපෙන්නන් සංඛ්‍යාව වැඩිවීම, ක්‍රීඩා උපකරණ මිලට ගැනීමට සිදුවීම, කොළඹ නගරය ආශ්‍රිතව පදිංචි වීමට සිදුවීම යනාදි කාරණා හේතුවෙන් ඔවුන් තුළ ආර්ථිකමය වශයෙන් ගැටලු රැසක් උද්ගත වේ.

මීට අමතරව ඇතැම්විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරු හා වෙනත් නිලධාරීන් සමඟ විවිධ මත ගැටුම් ඇති කරගනු ලබයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම්විට තරඟ වලින් ඉවත් කිරීම, තරඟ සඳහා තේරීම් කිරීමේදී ප්‍රතික්ෂේප කිරීම යනාදිය ද සිදු වනු ඇත. වර්තමානයේදී බොහෝවිට මේ සඳහා දේශපාලනික මැදිහත්වීම් ද හේතු වේ. මෙවැනි අසාධාරණකම් හේතුවෙන් ද ක්‍රීඩකයන් තුළ පීඩාකාරී මානසික තත්වයන් ඇති කෙරේ.

එමෙන් ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අනුග්‍රාහකත්වය සැපයීම මත විවිධ රැකියා හිමිවීමේදී ද බොහෝවිට තම කැමත්ත හෝ අකැමත්ත කුමක් වුවද ආයතනික අවශ්‍යතා හා අරමුණු වෙනුවෙන් පෙනී සිටීමට සිදු වේ. එමෙන් ම තම හැකියාවන් මත පමණක් අනුග්‍රාහකත්වය රැඳී තිබීම නිසා අඛණ්ඩව ම තම හැකියාවන් පවත්වාගෙන යාම අනිවාර්‍ය අවශ්‍යතායක් වීම හේතුවෙන් ද ක්‍රීඩකයන් තුළ ක්ලමථය අධික වේ.

මීට අමතරව ක්‍රීඩකයන් අතර තරඟකාරීත්වය වැඩි වනවිට ද ජයග්‍රහණයට හෝ පරාජයට ක්ලමථය හේතුවනු ඇත. එනම්, ක්ලමථයේ එක්තරා මට්ටමකදී ක්‍රීඩකයාගේ කාර්‍යඵලය ඉහළ නංවනු ලබයි.

නිදසුන් :
උසේන් බෝල්ට් ප්‍රකාශ කරන පරිදි ඔලිම්පික් මීටර් 100 තරඟය සැමවිට ම තමාව පීඩාවට පත් කළ තරඟයක් වූ අතර එම පීඩාව තමාගේ ජයග්‍රහණයට හේතු වූ බව දැක්විය හැක.

එමෙන් ම රටක ජීවත්වන ජනතාවගේ ආකල්ප හා සංස්කෘතිය තුළ වෙනසක් ඇති කිරීම සඳහා ප්‍රධාන ලෙස ම ජනමාධ්‍යය බලපානු ලබයි. එලෙසින් ම ක්‍රීඩාවේ උන්නතිය සඳහා ද මාධ්‍ය යම්කිසි දායකත්වයක් සපයනු ලබයි.එනම්, ක්‍රීඩාව මාධ්‍ය කලාවට ආකර්ෂණීය පුවත් සපයනු ලබන අතර ක්‍රීඩා මාධ්‍යවේදීන් සාමාන්‍ය මාධ්‍යවේදියෙකුට වඩා වෙනස් භූමිකාවක් රඟදක්වනු ලබයි. මන්දයත් ක්‍රීඩාවේ ජය-පැරදුමේදී ක්‍රීඩාවට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද සමාජයට ද අහිතකර නො වන පරිදි මාධ්‍යය භාවිතා කළ යුතු ය. එසේ නො වන අවස්ථා වල ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල වේ.

තව ද ක්‍රීඩකයෙකුට තමා දිගු කාලයක් තිස්සේ දක්ෂතා පෙන්වමින් සිටි ඉසව්ව සඳහා නවක ක්‍රීඩකයන් පැමිණීම ද ක්ලමථය ඇති කරවන්නකි. එය ධනාත්මකව භාර ගැනීමෙන් ජයග්‍රහණය ද ඍණාත්මකව භාර ගැනීමෙන් පරාජය ද අත්වනු ඇත. මේ නිසා ඇතැම් ක්‍රීඩකයින් තරඟ අවස්ථා ද මගහරිනු ලබයි. එමගින් ඔවුන් ඉච්ඡාභංගත්වයට පත් වේ. එම නිසා පෙර  පැවති ජනප්‍රියත්වය හා ආකර්ශනය අඩුවී යාම මත තව තවත් ක්ලමථය වැඩි වේ.

නිදසුන්:
උසේන් බෝල්ට් වැනි ක්‍රීඩකයින්ගේ අදහස වනුයේ තම සගයා වූ යොහාන් බ්ලේක් නැමැත්තා තමාට පමණක්  දෙවැනි වන අතර උසේන්ට තමාගේ උපරිම ජවය ලබා ගැනීම සඳහා යොහාන් බ්ලේක් සිටීම අනිවාර්‍ය විය.

එමෙන් ම කණ්ඩායමට තරඟකරුවන් තේරීමේ දී, ශිෂ්‍යත්ව ලබාදීමේ දී, තරඟ සංචාර සඳහා තේරීමේ දී දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් ද ක්‍රීඩකයින් මානසිකව පීඩාවට පත් වේ.

ප්‍රේක්ෂකයා සහ ආධාරකරුවන් යන පාර්ශවයන් ද ක්‍රීඩාව නැමති ක්‍රියාවලියේ ප්‍රබල ම සාමාජිකයින් වන අතර ඔවුන්ගෙන් එල්ල වන ප්‍රතිචාර වල ස්වාභය ද ඍජුව ම එල්ල වනුයේ ක්‍රීඩකයින්ගේ මානසික ඒකාග්‍රතාවය වෙතට ය. විටෙක ප්‍රේක්ෂක ප්‍රතිචාර ජයග්‍රහණය සඳහා ද තවත් විටෙක පරාජය සඳහා ද හේතු වනුයේ එබැවිනි.

තව ද දේශගුණික හා පාරිසරික සාධක මත ද ක්ලමථය ඇති වේ. එනම්, දැඩි උණුසුම් හෝ සීත දේශගුණයක් සහිත වෙනත් රටක තරඟ වැදීමට සිදුවීම නිසා තම දක්ෂතා උපරිමයෙන් පෙන්වීමට අසීරුවීම ක්‍රීඩකයා තුළ දැඩි පීඩනයක් ඇති කරවනු ලබයි.

මෙකී කාරණාවන්ට අමතරව ක්‍රීඩකයන්ගේ මානසිකත්වය සඳහා දැඩිව බලපානු ලබන තවත් සාධකයක් වනුයෙ සමීප සම්බන්ධතා ආශ්‍රිත බලපෑම් හා ඒ ආශ්‍රිතව ඇතිවන් ගැටලු ය. එනම්, පවුල් සම්බන්ධතා හා වෙනත් සම්බන්ධතා අතර පවත්නා විවිධ ආරවුල් යනාදියයි.

මෙකී විවිධ ක්ලමථකාරී සාධක මුල්කොට ගෙන ක්‍රීඩාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුළ අඩු-වැඩි වශයෙන් ක්ලමථය ඇති කරනු ලබන අතර එකී ක්ලමථය ඍජුව ම ඔවුන්ගෙ මානසික ඒකාග්‍රතාවයට බලපෑම් එල්ල කරනු ලබයි. එහි ප්‍රතිඵලයක් ලෙස තම උපරිම දක්ෂතාවයන් දැක්වීමට නොහැකිවීම හෝ ඒ පිළිබඳව අවිශ්වාසයක් ඇති වීම, ඉච්ඡාභංගත්වයට පත්වීම යනාදි තත්වයන් ඇති විය හැක. එහෙත් තවත් අයෙකුට එය තම ජයග්‍රහණයට සහයක් හෝ දිරිගැන්වීමක් ලබාදෙන උත්තේජයක් විය හැක. ඒ සඳහා ඔවුන් සතු ප්‍රජානන, පුහුණුව, පෞරුෂය, අත්දැකීම්, අධිෂ්ඨානශීලීත්වය යනාදි සියල්ල ම හේතු වේ. ඒ අනුව මෙකි ක්ලමථය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කෙසේ බලපාන්නේදැයි නිශ්චිත වශයෙන් ම නිගමනය කිරීමට  අසීරු වන අතර ක්‍රීඩාවේදී ක්ලමථය යන්න ධනාත්මක හා ඍණාත්මක වශයෙන් දෝලනය වෙමින් බලපාන්නා වූ සාධකයක් ලෙසින් හැඳින්විය හැකි ය.

නොට්ගේ ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ස්තූතිය

  • ලිපි කවරය : Designed by Freepik
  • බණ්ඩාර, සම්පත්, 2013, මිහිමත බිහි වූ වේගවත් ම මිනිසා : උසේන් බෝල්ට්, ෆාස්ට් ප්‍රින්ටරි ප්‍රයිවට් ලිමිටඩ්, කොළඹ 10
  • හපුආරච්චි, සමරසිංහ සහ අලහකෝන්,2010, සෞඛ්‍ය මනෝවිද්‍යාව, සුසිත ප්‍රකාශන, රාජගිරිය.
  • Cohn, Patrick , How stress can affect sports performance. Available from : http://www.peaksports.com ” [23 September 2015]
  • Mallalieu, S D ,Stressors and spors. Available from: http://www.ncbi.nlm.nih.gov [27 May 2009]
  • Singe, Arunjoti ,Stress, Sports and performance. Available from:  http://www.serandip.brynwama.edu “[09 June 2014]
  • Sincero, Sarah , How does stress affect performance. Available from: http://explorable.com