සමාජීය

සංවර්ධනය වෙමින් පවතින රටවල සංචාරක කර්මාන්තය

Photo by Linhao Zhang on Unsplash

හැදින්වීම

සංවර්ධිත රටවල සංචාරක කර්මාන්තය ප‍්‍රධාන වශයෙන්ම ආර්ථික බලපෑමක් ඇති කරනු ලබන සමාජීය කි‍්‍රයාවලියක් වශයෙන් සැළකෙන අතර සංවර්ධනය වෙමින් පවතින රටවලදී මෙය සමාජීය බලපෑමක් ඇති කරනු ලබන ආර්ථික කි‍්‍රයාවලියක් ලෙස සංචාරක විශේෂඥයෙකු වන මහාචාර්ය සී.එල්. ජෙන්කිංස් මහතා දක්වා ඇත. (පතිරණ; 2014; පිටුව 17)

වර්තමානය වන විට සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක්ම සිය රටවල සංවර්ධන ක‍්‍රමෝපායක් ලෙස සංචාරක කර්මාන්තය තෝරාගෙන ඇත. සංචාරක කර්මාන්තය මගින් රටකට උදාකරදෙන යහපත් ප‍්‍රතිලාභ සැළකිල්ලට ගනිමින් මෙලෙස සංවර්ධනය වෙමින් පවතින රටවල් සංචාරක කර්මාන්තයට අවතීර්ණ වී ඇති බව කිව හැකිය. දීර්ඝ කාලයක් තිස්සේ ලෝකයේ ප‍්‍රබල අධිරාජ්‍යවාදීන් විසින් සූරාකෑමට ලක්ව තිබූ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙනත් සම්පත් වල හිගකමත් , සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තය බිඳ වැටීමත් , අළුතෙන් හදුන්වා දී තිබූ වාණිජ වැවිලි කර්මාන්තය (තේ, පොල්, රබර්, උක්, කොකෝවා) ලොක වෙළඳ පොළේ තරගකාරීත්වයකට මුහුණදී සිටීමත් නිසා සංචාරක ව්‍යාපාරය සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවලට ආශිර්වාදයක් වී ඇත. කෙසේ වෙතත් වර්තමානය වන විට බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් සිය රට සංචාරක විභවතා සහිත ගමනාන්ත ලෙස ප‍්‍රවර්ධනය කිරීමට පෙළඹී ඇති ආකාරය හදුනාගත හැකිය. ලෝක සංචාරක සංවිධානයේ බහුතරයක් සාමාජිකයන් බවට පත්ව ඇත්තේද සංවර්ධනය වෙමින් පවතින රටවල්ය.

බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් ප‍්‍රධාන සංවර්ධන ක‍්‍රමෝපායක් ලෙස සංචාරක ව්‍යාපාරය යොදාගැනීම සඳහා බලපාන ලද සාධක කිහිපයක් යූ.පී.එස්. පතිරණ මහතා සිය “සංචාරණ සැලසුම්කරණය හා සංවර්ධනය” නම් ග‍්‍රන්තයෙහි සඳහන් කර ඇත.
එනම්,

  • දිගු සංචාරක ගමනාන්ත වලට යන සංචාරකයින් වැඩි මිලක් ගෙවිය හැකි පුද්ගලයින් වීම.
  • සංවර්ධිත රටවල් බොහොමයක පරිහරණය වනුයේ ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු කළ හැකි දැඩි මුදල්ය. එම මුදල් සංවර්ධනය වෙමින් පවතින රටවලදී වියදම් කිරීම මඟින් එම රටවල පවතින උග‍්‍ර විදේශ විනිමය හිඟය මැකීමට උපකාරී වීම.
  • වාණිජ භාණ්ඩ හා අනෙකුත් වෙළඳ භාණ්ඩ සඳහා මිල ගණන් සලාක හා අනෙකුත් බාධක යොදා තිබුනත් ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරය එම බාධක වලින් තොරය. පුළුල් වශයෙන් වීසා අහෝසි කිරීම්, චාරිකා සඳහා මුදල් සීමා කිරීම්, වෙනස් කිරීම් හෝ ඉවත් කිරීම, වර්ධනය වූ ජාත්‍යන්තර සම්බන්ධතා නිසා සංචාරක ව්‍යාපාරය සංවර්ධනය වෙමින් පවතින රටවල් කිහිපයක වෙළඳ තහංචි හා සීමා කිරීම් වලින් තොර අපනයනයක් වී තිබේ. තවද සංවර්ධිත රටවල විවේක නිවාඩු හා චාරිකා පිළිබද ආකල්ප අනුව තම රටවල ආර්ථිකය සුරැකීමේ පියවරක් වශයෙන් කිසිඳු රජයක් විසින් චාරිකා තහංචි නොපැමිණවීම.
  • මිනිසුන්ගේ විවේක කාලය හා අමතර ආදායම වැඩි වී ඇති අතර නවතම මෙන්ම අඩු මිල ගණන් සහිත තොග හා සිල්ලර චාරිකා කට්ටල නිර්මාණය වීම නිසා එම ඉල්ලුමට වැඩි බලපෑමක් ඇති කර තිබේ. ගුවන් සමාගම් විසින් තම ප‍්‍රවර්ධන මිල ගණන්් යටතේ සංගෘහිත චාරිකා කට්ටල හා අඩු මිල සහිත කුලී ගුවන් සේවා ආරම්භ කිරීම එම ඉල්ලුමට තවදුරටත් සවියක් ලබා දී තිබේ. තාක්‍ෂණික සංවර්ධනය මගින් ගුවන් යානා වල ගුවන් කාලය මෙන්ම ආර්ථික වශයෙන් ගුවන් ගාස්තුද අඩු වී තිබේ.
  • සංචාරක ව්‍යාපාරය ශ‍්‍රම සූක්‍ෂම කර්මාන්තයක් ලෙස සැලකේ. රැකියා උත්පාදනය මෙන්ම සෘජු සහ වක‍්‍ර වශයෙන් සංචාරක ව්‍යාපාරයේ මෙන්ම සහායක කර්මාන්ත වල රැකියා බිහිවීම සිදුවේ. සංචාරක ව්‍යාපාරය ආරම්භ වන මුල් අවධියේ බොහෝ විට නිපුණතා රහිත රැකියා රැසක් දේශීය ජනතාවට හිමිවේ.
  • සමහර රටවල සංචාරක සංවර්ධනය එම රටවලට අභිමානයක් ලෙස සැලකේ. හෝටල් හා ඒ හා සම්බන්ධ ආයතන සංකීර්ණයන් තුළින් රටෙහි නවීකරණයක් පෙන්නුම් කිරීම

වශයෙන් දැක්විය හැකිය. කෙසේ වෙතත් සංවර්ධනය වෙමින් පවතින සෑම රටක්ම සංචාරක ව්‍යාපාරයට යොමු වීම කෙරෙහි බලපාන ලද සාධක එකහා සමාන නොවන අතර දළ වශයෙන් පොදු කරුණූ කිහිපයක් හදුනාගත හැකිය.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සංචාරක ව්‍යාපාරයට යොමුවීමට බලපාන ලද සාධක

සංචාරක ව්‍යාපාරය අද ලෝකයේ විදේශ විනිමය ඉපැයීමේ හා රැකියා හා ආදායම් උත්පාදනය කිරීමේ කර්මාන්තයක් වශයෙන් පෙරට පැමිණ තිබේ. ලෝකයේ ඇති වූ බොහොමයක් ආර්ථික අර්බුදයන් හමුවේ සංචාරක ව්‍යාපාරය ඉක්මනින්ම හිස එසවීමට තරම් හැකියාව ලබා ඇත. ගෝලීය සංචාරක ව්‍යාපාරය 4% සිට 5% දක්වා වේගයකින් වර්ධනය වන බව වාර්තා වන අතර 2020 වනවිට ජාත්‍යන්තර සංචාරක සංඛ්‍යාව බිලියන 1.6 දක්වා වර්ධනය කර ගැනීමටද අපේක්‍ෂා කෙරේ.

බිලියන 2.8 කට වැඩි ජනගහනයක් නැතහොත් ලෝකයේ මුළු ජනගහනයෙන් අඩකට ආසන්න ජනගහනයක් ජීවත් වන්නේ දිනකට ඩොලර් 2කට අඩු ආදායමකිනි. එසේම බිලියන 1.2 ජනගහනයක් නැතහොත් 20% ජනගහනයක් ජීවත් වන්නේ දිනකට ඩොලර් 1 ට අඩු ආදායමකිනි. දිනකට ඩොලර් 1 ට අඩු ආදායමක් සහිත වැඩිම ජනගහනයක් වෙසෙන්නේ දකුණු ආසියානු කළාපය තුළය.අප‍්‍රිකානු මහද්වීපයේ 44.6%ක ජනගහනයක් නැතහොත් කලාපීය ජනගහනයෙන් අඩක් දරිද්‍රතාවයෙන් පෙළෙති. ලෝක ජනගහනයෙන් බිලියනයක් ජනතාවගේ සාක්‍ෂරතාවය ඉතා පහළ මට්ටමක පවතින අතර අධ්‍යාපනය සෞඛ්‍ය පහසුකම් හා ආහාර ජලය වැනි මූලික අවශ්‍යතාවයන් සදහාද දිළිඳුකම මඟ අසුරා ඇත.

සංචාරක ව්‍යාපාරය ලොකයේ දිළිඳුකම පිළිබඳ ප‍්‍රශ්නයට පිළිතුරු සෙවීමට ඇති හොඳම විසඳුමක් බව ප‍්‍රකාශ වී ඇත. සංචාරකයන් රටකට ආදායම් උත්පාදනය කරන්නේ එම සංචාරක ගමනාන්තයට පා තැබූ අවස්ථාවේ සිටය. ඒ අනුව අද වන විට බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් ඉහළ මට්ටමේ ආර්ථික වර්ධනයක් තුළින් දිළිඳුකම තුරන් කළ හැකි හෙයින් එම ආර්ථික වර්ධනය උදෙසා සංචාරක ව්‍යාපාරය යොදාගෙන ඇත. සංචාරක ව්‍යාපාරය මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට නංවාලීමට හැකිවීමද මේ සඳහා බලපා ඇත. සංචාරක ව්‍යාපාරය තුළින් විවිධ රැකියා අවස්ථා බිහිවීම හරහා දුප්පත් රටවල ජනතාවගේ ජීවන මට්ටම යම් බවකින් හෝ උසස් මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබී ඇත. විශේෂයෙන්ම අධික ජනගහන තදබදය නිසා ඇතිවන අධික රැකියා විරහිතභාවයට පිළිසරණක් වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් ආශි‍්‍රතව සෘජු හා වක‍්‍ර වශයෙන් රැකියා අවස්ථා රැසක් බිහි වේ. මීට අමතරව සංචාරකයන් බහුලව සංචාරය කරනු ලබන ප‍්‍රදේශ ආශි‍්‍රතව සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර මගින් රැකියා මෙන්ම දේශීය ආදායම උත්පාදනය වීමද සිදුවේ. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය ආශි‍්‍රත හස්ත කර්මාන්ත හා සිහිවටන කර්මාන්තයෙහිද වර්ධනයක් දැකගත හැකිය. බොහෝවිට ප‍්‍රාදේශීය මට්ටමේ දී එබඳු හස්ත කර්මාන්ත වල නියැලෙමින් රැකියා නියුක්තියේ යෙදී සිටිනුයේ ආර්ථිකමය වශයෙන් අඩු මට්ටමේ සිටින සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයෝ වෙති. එබඳු සිහිවටන හා අත්කම් භාණ්ඩ සංචාරකයන්ට විකිණීමෙන් එම පෙදෙස් වල ජනතාවට තම ජීවන වෘත්තිය නඟාසිටුවා ගැනීමට හැකියාව පවතී. එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවගේ දරිද්‍රතාවය නිසා අඩු අධ්‍යාපන සුදුසුකම් සහිතව රැකියා වෙළදපොළට එකතුවන තරුණ පිරිස් වලට පහසුවෙන්ම රැකියා සැපයීමට සංචාරක ව්‍යාපාරය ඉඩ සලසයි. මෙහිදී සංචාරක ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා අවශ්‍ය වන්නේ අධ්‍යාපනික මට්ටමට වඩා අදාළ පුහණුව හෝ නිපුණත්වයයි. මේ නිසා නිසි පුහුණුවකින් පසුව සංචාරක ක්ෂේත‍්‍රයට පිවිසීමට බොහෝදෙනාට හැකිවී තිබේ.

සංචාරක ව්‍යාපාරය හා ඈඳුණු සහායක සේවා රැසක්ද වේ. කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය වැනි ගතානුගතික කර්මාන්ත වලටද සංචාරක සංවර්ධනය නිසා වාසිදායක තත්ත්වයක් ඇති වේ. බොහෝ විට සංවර්ධනය වෙමින් පවතින රටවල දිළිදු ජනතාවගේ බහුතරයක් ගතානුගතික කෘෂිකර්මය තුළින් යැපෙන හෙයින් සංචාරක ව්‍යාපාරය හරහා ඔවුන්ටද අමතර ආදායමක් උපයා ගැනීමට හැකිවේ. වර්තමානයේ කෘෂි සංචාරණය වැනි විශේෂිත සංචාරක වෙළදපොළවල් මෙන්ම ප‍්‍රජාමූලික සංචාරක ව්‍යාපෘති තුළින්ද දිළිදුභාවයෙන් පෙළෙන ගැමි ජනතාවට ප‍්‍රතිලාභ අත්වෙමින් පවතී. තම කෘෂිකාර්මික නිෂ්පාදිත සදහා සංචාරක කර්මාන්තය හා යහපත් ආදායමක් හිමිකර ගැනීමට මෙන්ම ධීවර නිෂ්පාදිත සංචාරක හෝටල් වලට සැපයීමෙන් ආදායම් වැඩිකර ගැනීමට ද හැකියාව උදාවී තිබේ. උදාහරණ වශයෙන් ධීවර බෝට්ටු සංචාරකයන්ගේ විනෝදජනක චාරිකා වශයෙන් යොදාගැනීමෙන්ද ධීවර කාර්මිකයාට අමතර ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබේ.

සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රධාන ආර්ථික ප‍්‍රතිලාභය ලෙස සැලකෙනුයේ සංචාරක ව්‍යාපාරය මඟින් විදේශ විනිමය හෙවත් දැඩි මුදල් උත්පාදනය කිරීමයි. සංචාරක ව්‍යාපාරය මඟින් බොහෝ රටවල විදේශ ණයගැතිභාවය පහළට බැස ඇති අතර එම නිසා ම රජය විසින් ජනතාවගේ දරිද්‍රතාවය පිටුදැකීම උදෙසා සමාජ සුබසාධක ව්‍යාපෘති දියත් කිරීමටද හැකිවී තිබේ. එපමණක් නොව සංචාරක ව්‍යාපාරය නැංවීම උදෙසා දියත්කරනු ලබන බොහෝ යටිතල පහසුකම් සංවර්ධනය වැනි විශාල සංචාරක ව්‍යාපෘති වල ප‍්‍රතිලාභ දුප්පත් ජනතාවටද ලැබේ. සංචාරක ව්‍යාපාරය පාදක කරගෙන රජය විසින් ඉදිකරනු ලබන අධීවේගී මාර්ග, ගුවන් තොටුපළ, සංචාරක පොදු පහසුකම් ආදී විශාල පරිමාණයේ ව්‍යාපෘති මගින් ජනතාවට රැකියා හා ආදායම් උත්පාදනයට මඟ සලසා තිබේ. උදාහරණ වශයෙන් ඇල්ප්ස් කදුකරයේ සංචාරක හිම කී‍්‍රඩා සඳහා ප‍්‍රයෝජනයට ගතහැකි පරිදි ඉදිකෙරුණු ආසියාතික් අධිවේගී මාර්ගය දැක්විය හැකිය. වර්තමානයේ එම අධිවේගී මාර්ගය වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ දේශීය ජනතාවය.

සංචාරක ව්‍යාපාරයෙන් උදා කෙරෙන සංස්කෘතික ප‍්‍රතිලාභ සැලකිල්ලට ගැනීමේදීද දේශීය ජනතාවගේ සංස්කෘතික සිද්ධි ආකර්ෂණ හා සංස්කෘතික නැටුම් ආදියෙහි නියැලෙන ගම්බද ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටද බොහෝවිට උපකාරී වී ඇත්තේ සංචාරක ව්‍යාපාරයයි. ශී‍්‍ර ලංකාවේ උඩරට නැටුම්, වෙස්මුහුණු, බතික් හා රේන්ද කර්මාන්තයටද පුනර්ජීවයක් ලැබී ඇත්තේ සංචාරක ව්‍යාපාරය නිසාය.

එමෙන්ම සංචාරක ව්‍යාපාරයට අවශ්‍යය පහසුකම් සංවර්ධනය කිරීමේදී ප‍්‍රාදේශීය සංවර්ධනයක්ද සිදුවේ. උදාහරණ වශයෙන් ශ‍්‍රී ලංකාවේ මොණරාගල දිස්ත‍්‍රික්කයේ පිහිටි කතරගම ප‍්‍රදේශය දැක්විය හැකිය. විශේෂයෙන්ම දේශීය සංචාරක ව්‍යාපාරය නිසා එම ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නැංවී දිළිඳුභාවයෙන් මිදීමට හැකිවී ඇති ආකාරය පෙනේ. එලෙසම කලින් දිළිඳු ගම්මාන ලෙස සැලකුණු පින්නවල, දඹුල්ල, සීගිිරිය, කණ්ඩලම වැනි ප‍්‍රදේශවල ජනතාවගේ දරිද්‍රතාවය පිටුදැකීමට වර්තමානයේ සංචාරක ව්‍යාපාරය ඉවහල් වී ඇති බවද පෙනේ.

ගෝලීයකරණයේ ප‍්‍රතිලාභ ලබා ගැනීමේ ප‍්‍රධාන මෙවලමක් ලෙස සංචාරක කර්මාන්තය යොදාගැනීමටද සංවර්ධනය වෙමින් පවතින රටවල් උත්සාහගෙන ඇති ආකාරය පෙනේ. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ප‍්‍රතිපත්ති සම්පාදකයන් සංචාරක කර්මාන්තය දේශීය ආර්ථිකය සංවර්ධනය කිරීමේ උපාය මාර්ගයක් ලෙසට සැළකීම නිසා බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් සිය ආර්ථික න්‍යාය පත‍්‍රයේ පළමු හෝ දෙවන තැනට සංචාරක කර්මාන්තය ගෙන ඒමට කටයුතු කර ඇත.

එමෙන්ම ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර සංචාරක සංවිධානය වැනි ආයතන සංවර්ධනය වෙමින් පවතින රටවල සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා මූල්‍යමය හා තාක්‍ෂණික ආධාර ලබාදීමේ ප‍්‍රතිඵලයක් ලෙසට සංවර්ධනය වෙමින් පවතින රටවල් සංචාරක කර්මාන්තයට යොමුවී තිබේ. තවද සංවර්ධනය වෙමින් පවතින රටවල පවතින ස්වාභාවික සෞන්දර්යය, කාලගුණය, දේශගුණය, අඩු පිරිවැයකින් සංචාරය කළ හැකිවීම, සංචාරක මිල දර්ශකය පහළ මට්මක පැවතීම, ආදී වූ හේතු සාධක මත සංචාරකයින් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල සංචාරක කර්මාන්තයේ පවත්නා ඉල්ලුම ක‍්‍රමිකව වර්ධනය කරමින් සිටී.

මීට අමතරව සංවර්ධනය වෙමින් පවතින රටවල පවත්නා සුවිශේෂී ලක්‍ෂණ නිසාද සංචාරක ව්‍යාපාරයට යොමුවන ආකාරය හදුනාගත හැකිය. සුවිශේෂී ආගමික සිද්ධස්ථාන, ලෝක උරුම, පුරාවිද්‍යා ස්ථාන, ආයුර්වේදය වැනි දේශීය ක‍්‍රම, භාවනා වැඩසටහන් හරහා සංචාරක කර්මාන්තය සංවර්ධනය කළ හැකි බැවින් මෙම සුවිශේෂී ලක්‍ෂණ පදනම් කර ගනිමින් ඇතැම් සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙයට යොමුවී තිබේ.

මේ අනුව සමස්තයක් වශයෙන් සැළකූවිට ආර්ථික හා සමාජීය සංවර්ධනය ළගාකර ගැනීමට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කර ගැනීම යන ප‍්‍රධාන සාධක පදනම් කරගනිමින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සංචාරක ව්‍යාපාරයට යොමු වී තිබේ.

සංචාරක කර්මාන්තය සංවර්ධනයේ දී සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙනු ලබන අභියෝග

සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහෝමයක් සංචාරක කර්මාන්තය සිදුකරනුයේ හුදෙක් ඉන් හිමිවන ආර්ථික ප‍්‍රතිලාභ පිළිබඳ පමණක් සැලකිලිමත් වෙමිනි. මෙසේ සංවර්ධනය සඳහා සංචාරක කර්මාන්තය යොදා ගැනීමේ දී අභ්‍යන්තර හා බාහිර යන දෙයාකාරයෙන් ම බාධක හා ගැටලූවලට මුහුණ දීමට එම රටවලට සිදුවේ.

රටක් තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ දී මෙන් ම සංවර්ධනය කිරීමේ දී ඊට දේශීය ජනතාවගේ කැමැත්ත ද හිමිවිය යුතුය. ප‍්‍රජාවගේ සහභාගීත්වයක් නොමැති ව මෙවන් කර්මාන්ත දියුණු කිරීමට පවතින හැකියාව ඉතා අල්පය. සංවර්ධනය වෙමින් පවතින රටවල ප‍්‍රජාව බොහෝ දෙනෙක් සංචාරක ව්‍යාපාරය පිළිබඳ ව යහපත් ප‍්‍රතිචාරයක් නොදක්වයි. මෙම රටවල් දීර්ඝ කාලයක් තිස්සේ යටත් විජිතභාවයෙන් පෙළීම ඊට මූලික හේතුව වේ. යටත් විජිතවාදීන් තම රටට පැමිණ මුදල් වැයකොට ජනතාවගෙන් ආගන්තුක සත්කාර ලබාගැනීම වක‍්‍ර ආකාරයකට නව යටත් විජිතවාදයක් හදුන්වාදීමක් යැයි සමහරු සිතති. පෙරදිග ලෝකයේ සංචාරක ගමනාන්තවල ජනතාව ඔවුන්ට ම ආවේණික වු ආගමික හා සංස්කෘතික පසුබිමක් සහිත ව ජීවත් වන අතර ඊට බටහිර ජාතිකයන්ගේ පැමිණීමත් සමඟ දේශීය ප‍්‍රජාවගේ සමාජ හා සංස්කෘතික පදනමට හානි සිදුවේ යැයි සිතමින් ප‍්‍රජාව සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට හා සංවර්ධනය කිරිමට මැලිකමක් දක්වයි.එසේ ම සංචාරක කර්මාන්තය නිසාවෙන් මත්ද්‍රව්‍ය උවදුර, ගණිකා වෘත්තිය, ළමා ලිංගික අපයෝජනය, ලිංගාශි‍්‍රත රෝග පැතිරයාම වැනි සමාජ ගැටලූ හා රෝග රැසකට මුහුණ දීමට සිදුවන නිසා දේශීය ජනතාව එතරම් එකඟතාවයක් දක්වනු නොලැබේ. (පතිරණ,2010:106) ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ දී මුහුණ දෙනු ලබන අභියෝගයක් ලෙසින් සංචාරක ව්‍යාපාරය පිළිබඳ ව ප‍්‍රජාව තුළ පවතින අවබෝධය හදුනාගත හැකිය.

සංවර්ධනය වෙමින් පවතින රටවල් වල සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ දී මුහුණ දෙනු ලබන අනෙක් ප‍්‍රධානත ම අභියෝගය වන්නේ තරඟකාරී බවයි. මෙයට හේතුව වන්නේ රටක සංචාරක සම්පත් සහ ඒවායේ පහසුකම් වලට සාපේක්ෂ ව වෙනත් විකල්පයන් ගණනාවක් තිබීමයි. මේ නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ දී දැඩි තරඟකාරී බවක් තිබේ. මෙය අලූතෙන් පැමිණෙන සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට මෙන් ම නැවත පැමිණෙන සංචාරකයින් ගෙන්වා ගැනීමට අභියෝගයක් ව පවති. මේ නිසා ම බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල එක් වරක් පැමිණි සංචාරකයින් නැවත වරක් ගෙන්වා ගැනීම ද අභියෝගයක් ව පවති.

එමෙන්ම මහා පරිමාණ සංචරණය නිසා වැඩිපුර ම හානි සිදුවනුයේ එම රටෙහි පරිසරයටය. සංවේදි පරිසර පද්ධතීන්ට ඔරොත්තු නොදෙන ප‍්‍රමාණයට සංචාරකයින් ප‍්‍රමාණයක් පැමිණීම නිසා රඳවා ගැනීමේ ධාරිතාව ඉක්මවා යාම, පාරිසරික තුල්‍යතාවය බිඳවැටීම, ජෛව විවිධත්වයට හානි සිදුවීම, වනගහනය විනාශ වීම, පරිසර දූෂණය, කැළි කසළ ගොඩගැසීම, මුහුදු, ගංඟා, ජලාශ ආදියේ ජලය දූෂණය වීම ආදී විශාල ගැටලූ රාශියකට මුහුණ දීමට ගමනාන්ත රටවලට සිදුවේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල සංචාරක කර්මාන්තය සංවර්ධනයේ දී සංචාරක මිල දර්ශකය ඉතා වැදගත් වේ. කිසියම් රටකට සාපේක්ෂ ව අනෙකුත් රටවල සංචාරක මිල දර්ශකය පහළ මට්ටමක පවතී නම් සංචාරකයින් එම රටවලට ගමන් කිරීම නිතැතින් ම සිදුවේ. මේ නිසා සංචාරක මිල දර්ශකය තරඟකාරී මට්ටමකින් ස්ථාවර ව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. එහෙත් විවිධ හේතූන් මත සංවර්ධනය වෙමින් පවතින රටවල සංචාරක මිල දර්ශකය තරඟකාරීව හා ස්ථාවරව පවත්වා ගැනීම අභියෝගයක් වන අතර ඒ නිසා ම මිල දර්ශකයේ උච්චාවචනයක් සංචාරක කර්මාන්තය සංවර්ධනයේ දී ප‍්‍රධාන අභියෝගයක් ව පවති.

බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල ජාතික සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ දී පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය අතර එ්කාග‍්‍රතාවයක් දැකගත නොහැකිය. විශේෂයෙන් ම සංචාරක කර්මාන්තය තුළ පෞද්ගලික අංශය මෙන් ම රාජ්‍ය අංශයේ කාර්යභාරය ද ඉතා වැදගත් වේ. තව ද සංවර්ධනය වෙමින් පවතින රටවල ආයතනික ව්‍යූහය ද සංවර්ධන කටයුතු වල දී බොහෝ විට බාධකයක් ලෙසින් කටයුතු කරයි. එහි දී රටක යම් සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ දී රාජ්‍ය ආයතන රුසක් අනුමැතීන් ලබාගැනීම අවශ්‍ය වන අතර එ් සඳහා විශාල කාලයක් සහ මුදලක් වැය කිරිමට සිදුවේ. මෙලෙස විශාල රජයේ ආයතන රැසකින් අදාල සංචාරක ව්‍යාපෘතිය නිරවුල් කරගැනීම සඳහා ආයෝජකයන්ට විශාල කාලයක් හා ධනයක් ද වැය කරමින් පමණක් නොව සමහර අවස්ථාවල දී දේශපාලකයින්ගේ බලපෑම් වලට ද යටත් වීමට සිදු වේ (පතිරණ,2010:109). මෙවැනි අවස්ථාවල දී සමහර සංචාරක ව්‍යාපෘති ආයෝජකයන් විසින් අතහැර දැමූ අවස්ථා ද බහුලය. සංචාරක ව්‍යාපෘති සඳහා නිරවුල් කිරිම් අවශ්‍ය වන රාජ්‍ය ආයතන බොහොමයක් වෙන් වෙන් වශයෙන් ස්වාධීන ව තීරණ ගැනීමට පෙළඹීම නිසා අන්තර් ආයතන සම්බන්ධතාවයක් හෝ සහයෝගීතාවයක් දක්නට නොලැබීම ද සංචාරක සංවර්ධන කි‍්‍රයාමාර්ග වල දී මහත් බාධකයක් ව පවති.

බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් සංවර්ධිත රටවල්වලින් දුරස් ව පිහිටීම සංචාරක කර්මාන්තයට බාධා පමුණුවයි. මෙම රටවල් දුරස් ව පිහිටීම නිසා එම රටවල සංචරණය සඳහා ගතවන ගුවන් කාලය සහ ප‍්‍රවාහන පිරිවැය ඉහළ මට්ටමක පවති. මේ නිසා දියුණු රටවල්වලින් සංවර්ධනය වෙමින් පවතින රටවලට පැමිණෙන සංචාරකයින් සාපේක්ෂ ව අඩු මට්ටමක පවති. ඒ අනුව ඉහළ ආදායමක් සහිත එනම් වැඩියෙන් වියදම් කළහැකි සංචාරකයින්ගේ පැමිණීම අඩුවීම නිසා සංචාරක කර්මාන්තයට ලැබෙන ආදායම අඩුවේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල පවතින තවත් ප‍්‍රධාන බාධකයක් වනුයේ සංචාරක ක්ෂේත‍්‍රයට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ පළපුරුද්ද සහිත මිනිස් බලය හිඟවීමයි. ජාත්‍යන්තර කර්මාන්තයක් වශයෙන් සංචාරක ව්‍යාපාරය නඟා සිටුවීමේ දී අවශ්‍ය වන තාක්ෂණික දැනුම සංවර්ධනය වෙමින් පවතින රටවලට නොමැත. ඒ සඳහා අවශ්‍ය මිනිස් ශ‍්‍රමය පුහුණු කිරීම පිණිස අවශය වන යටිතල පහසුකම් හා විශේෂඥතාවයන් එම රටවල් සතු ව නොමැතිවීම ද විශාල ගැටළුවකි. ජාත්‍යන්තර සංචාරකයන්ට අවශ්‍ය වන ආකාරයේ පිළිගත් ගුණාත්මක සේවාවන් පවත්වාගෙන යාම සඳහා බටහිර රටවල අධ්‍යාපනය හා ශිල්පීය දැනුම ලැබු ශ‍්‍රමිකයන් බටහිර රටවලින් ආනයනය කිරීමට සිදුවේ. මෙහි ප‍්‍රතිඵලයක් වන්නේ විදේශික ශ‍්‍රමිකයන් වෙනුවෙන් වැටුප් ගෙවීමේ දී ඇමරිකානු ඩොලර් හා යූරෝ වැනි බටහිර ලෝකයේ මුදල් වලින් ම ගෙවීමට සිදුවන නිසා විදේශ විනිමය කාන්දු වීමයි (පතිරණ,2010:110).

2008 වර්ෂය තුළ දී ශී‍්‍ර ලංකාවේ තරු පහේ හෝටල් පහක පමණ සාමාන්‍යාධිකාරී වශයෙන් විදේශිකයන් සේවයෙහි යොදවා ඇති ආකාරයත්. එක් විදේශීය සාමාන්‍යාධිකාරීවරයෙකුගේ වාර්ෂික වැටුප, ශී‍්‍ර ලංකාවේ දී ඔහුට සැපයෙන සියලූ ම පහසුකම් වලට අමතර ව ඇමරිකානු ඩොලර් 80,000ක් වූ බව පැවසේ (පතිරණ, 2010:110). මින් පෙනී යන්නේ රටකට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ පුහුණු ශ‍්‍රමය හිඟ වූ විට විදේශ රටවලින් එම තත්ත්වය සපුරාලීමට සිදුවන නිසා රට තුළ පවතින විදේශ විනිමය කාන්දුවීමක් සිදුවන බවයි. මෙය සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සංවර්ධනය වෙමින් පවතින රටවලට විශාල අභියෝගයක් ව පවති.

සංචාරක කර්මාන්තය රටවල් කිහිපයක් මත රදා පැවතීම ද සංවර්ධනය වෙමින් පවතින රටකට බාධකයක් ලෙසින් කටයුතු කරයි. එක් කලාපයකට හෝ රටකට සීමා වී සිටීම එරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ දී බාධා පමුණුවයි. මේ නිසා රටවල් කිහිපයකට සීමා නොවී ඉන් බාහිර ව අනෙකුත් රටවලින් සංචාරකයින් ආකර්ෂණය කරගැනීම සිදුකළ යුතුය. තව ද සංවර්ධනය වෙමින් පවතින රටවල සිදුවන අක‍්‍රමවත් සහ අසමතුලිත වර්ධනයත් නිසා සංචාරක කර්මාන්තය සංවර්ධනයේ දී විවිධාකාර ගැටලූ උද්ගත වේ. යම් අවස්ථාවල දී අක‍්‍රමවත් සංවර්ධනයන් නිසා සංචාරක කර්මාන්තයේ ආකර්ෂණීය සම්පත් විනාශ වී යාම ද සිදුවේ. මෙය ද සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ දී අභියෝගයක් ලෙසින් පවති.

සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ සෑම සංචාරක ගමනාන්තයක් ම මුහුණ දෙන ගැටළුවක් ලෙසින් ආර්ථික දුෂ්කරතාවය හැඳින්විය හැකිය. සංචාරක ගමනාන්තයකට සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා විශාල තරඟයකට මුහුණ දීමට සිදුවේ. සංචාරක ආකර්ෂණය ලබාගැනීම සඳහා විවිධ ප‍්‍රවර්ධන කටයුතු සිදුකළ යුතුවේ. සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා විශාල වශයෙන් සංචාරක අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහන් දියත් කළයුතු අතර එවැනි අලෙවි ප‍්‍රවර්ධන කටයුතු සඳහා විශාල මුදලක් ආයෝජනය කිරීමට ද සංචාරක ගමනාන්තයන්ට සිදුවේ. ආර්ථික දුෂ්කරතාවලින් පෙලෙන සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම තත්ත්වය බාධාවක් ලෙසින් ක‍්‍රියාත්මක වේ. සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් දේශපාලන අස්ථාවරත්වය, අභ්‍යන්තර ගැටුම් සහ යුදමය තත්ත්වයන්ගෙන් පීඩා විඳිමින් සිටියි. මෙවැනි තත්ත්වයන් සංචාරක කර්මාන්තය සංවර්ධනයේ දී මුහුණ දෙනු ලබන ප‍්‍රධාන අභියෝගයක් ලෙසට හදුනාගත හැකිය. යම් සංචාරක ගමනාන්තයක සිවිල් යුද්ධයක්, ත‍්‍රස්තවාදී ක‍්‍රියා හෝ අසහනකාරී දේශපාලන වාතාවරණයක් පවතින්නේ නම් ජීවිත අවදානම නොසලකා එම සංචාරක ගමනාන්තයට සංචාරකයන් පිවිසෙන්නේ කලාතුරකිනි. බහුතරයක් සංචාරකයන් තම සංචාරයෙන් අපේක්ෂා කරන්නේ තම සුපුරුදු ඒකාකාරී පරිසරයෙන් මඳක් ඉවත් වී සැනසිල්ලේ තම විවේකය හෝ නිවාඩුව ගතකිරීමටය. ශ‍්‍රී ලංකාව ගතහොත් 1993 කළු ජූලිය, 1996 මහ බැංකුවට ඇති වු ත‍්‍රස්ත ප‍්‍රහාරය, 2001 කටුනායක ගුවන් තොටුපළට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය නිසා ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සීඝ‍්‍රයෙන් පහළ වැටුණි (පතිරණ,2010:111). ඒ අනුව ගම්‍යමාන වන්නේ සංචාරක කර්මාන්තය සංවර්ධන උපාය මාර්ගයක් ලෙසින් යොදාගන්නා රටකට එම රටෙහි පවතින වාතාවරණය බාධාවක් ලෙසින් කටයුතු කරන අවස්ථා පවතින බවයි.

මිනිසුන් සංචරණය කරන එක් ප‍්‍රධාන හේතුවක් වනුයේ මිනිසුන්ගේ ආර්ථික හැකියාවයි. ලෝකයේ සංචාරකයින් උත්පාදනය කරන සමහර රටවල වරින් වර ඇති වු ආර්ථික අර්බුද නිසා මිනිසාගේ සංචාරයට බාධා පැමිණවීයx.උදාහරණ ලෙස 2008 වර්ෂයේ සිට ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප‍්‍රංශය, ජර්මනිය, ජපානය වැනි සංචාරකයන් උත්පාදනය කෙරෙන රටවල උද්ගත වු ආර්ථීක පසුබෑම නිසා වියදම අවම කිරීමට එම රටවල ජනයාට සිදු වු අතර එම වියදම් කපාහැරීම සඳහා මුලින් ම බිලි වු වැය ශීර්ෂය වූයේ විදේශ චාරිකාවයි (පතිරණ,2010:112). මේ අනුව පෙනී යන්නේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ දී විශාල ගැටලූ හා බාධක රැසකට මුහුණ දීමට සිදුවන බවයි. මීට අමතර ව බහුජාතික සමාගම් වල ආධිපත්‍ය පැවතීම ද බාධකයක් ලෙසින් කටයුතු කරයි. තව ද ප‍්‍රජා සහභාගීත්වය අවම මට්ටමක පැවතීම, ආනයනික නිෂ්පාදනය මත රදා පැවතීමත්, සංචාරක සැලසුම්වල පවතින දුර්වලතාවයන් නිසා ද සංචාරක කර්මාන්තයට බාධා පැමිණේ. තව ද වසංගත රෝග ව්‍යාප්තිය ද සංචාරක ව්‍යාපාරයට බාධා ඇතිකරයි. උදාහරණ ලෙස 2008 වසරේ මෙක්සිකෝවෙන් ආරම්භ වු සූකර උණ රෝගය (Influenza A H1N1), අග්නිදිග ආසියාවේ පැතිරගිය කුරුළු උණ රෝගය (H2NS) දැක්විය හැකියx මීට අමතර ව ස්වභාවික විපත් ද සංචාරක ව්‍යාපාරය සඳහා බාධා පමුණුවයි. මීට කදිම උදාහරණය වන්නේ 2004 වසරේ දෙසැම්බර් මස ඇති වු සුනාමි ව්‍යසනයයි. ආසියානු කලාපයේ සංචාරක කර්මාන්තය මුළුමනින් ම විනාශ වීමට එය බලපාන ලදි (පතිරණ,2010:112). මේ අනුව පැහැදිලි වනුයේ සංවර්ධනය වෙමින් පවතින රටවලට සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ දී විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවයි.

මෙම සමස්ත කරුණු සැළකිල්ලට ගැනීමේදී, සංවර්ධනය වෙමින් පවතින රටවලට සංචාරක කර්මාන්තය තුළින් විවේකය, විනෝදය වැනි අවශ්‍යතා මත සංචාරක කර්මාන්තය ජනප‍්‍රිය වුව ද එම රටවල පවත්නා අරමුණු හා කාලීන අභියෝග සංචාරක කර්මාන්තය සංවර්ධනය සඳහා බාධාවන් ඇතිකරනු ලබයි. දරිද්‍රතාවයෙන් මිදීම සහ සංවර්ධන ඉලක්ක ළඟාකර ගැනීම සඳහා ප‍්‍රයත්න දැරීම සංවර්ධනය වෙමින් පවතින රටවල සුවිශේෂී අරමුණ වන්නේය. මේ නිසා සංවර්ධන ඉලක්ක ළඟාකර ගනිමින්, සංවර්ධනයේ දී ඇතිවන විරෝධතාවයන් සමනය කිරීමේ මාධ්‍යයක් ලෙසට සංචාරක ව්‍යාපාරය සංවර්ධනය වෙමින් පවතින රටවල ප‍්‍රවර්ධනය කිරීම වැදගත් වන්නේය. විශේෂයෙන් ම ආර්ථීකය වර්ධනය වීමේ දී නාගරික ජනගහනය ඉහළ යාම, කාර්මික නගර ඇතිවීම ආදි තත්ත්වයන් නිසා සෞඛ්‍ය පිරිහීම, පරිසර දූෂණය සිදුවිය හැකිය. එහෙත් සංචාරක කර්මාන්තය හරහා සිදුවන ආර්ථික සංවර්ධනයක දී ඉහත ගැටලූ ඇතිවන්නේ අවම වශයෙනි. එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සංචාරක කර්මාන්තය තුළින් ළගාකරගත හැකි ප‍්‍රතිලාභ උපරිම වන්නේය.

මූලාශ‍්‍ර

පතිරණ, යූ. පී. එස්. (2010). සංචාරක ව්‍යාපාරය පසුබිම, බලපෑම හා නව ප‍්‍රවණතා. දිවුලපිටිය: සරස්වතී ප‍්‍රකාශන

පතිරණ, යූ. පී. එස්. (2014). සංචාරක ව්‍යාපාරය,සංචරණ සැලසුම්කරණ හා සංවර්ධනය. දිවුලපිටිය: සරස්වතී ප‍්‍රකාශන

Kaushalya Gayani

කැලණිය විශ්ව විද්‍යාලයේ සංචාරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණය පිළිබඳ සහකාර කථිකාචාර්යවරියක වන කෞෂල්‍යා ගයනි, ගිරිඋල්ල. හමන්ගල්ල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. කැලණිය විශ්ව විද්‍යාලයෙන් සංචාරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණය පිළිබඳ විශේෂවේදී උපාධිය ප‍්‍රථම පන්ති ගෞරව සමාර්ථයක් (GPA – 3.95) සහිතව සම්පූර්ණ කරන ලද අතර කොරියානු භාෂාව පිළිබඳ සාමාන්‍යවේදී පාඨමාලාවද හදාරා ඇත. එමෙන්ම පුරාවිද්‍යාව පිළිබඳ සමාජීය විද්‍යාපති උපාධිය හදාරන ඇය කළමනාකරණය හා වෘත්තීය පුහුණු ආයතනයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවද හදාරා ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවල සංචාරක කර්මාන්තය
Comments

ප්‍රසිද්ධ ලිපි

AdvertisementCloudways Managed hosting
To Top