මනෝ විද්‍යාව

මානසික සෞඛ්‍ය ප‍්‍රවර්ධනයෙහිලා මනෝ ප‍්‍රතිකාර වල න්‍යාය සහ භාවිතයෙහි ඇති වැදගත්කම

student with a book
ලිපි කවරය : Designed by Iaros​ / Freepik
මනෝවිද්‍යා විෂය ක්ෂේත‍්‍රයෙහි ව්‍යවහාරික මනෝවිද්‍යාවට අයත් තවත් එක් සුවිශේෂී විෂය ක්ෂේත‍්‍රයක් ලෙස ප‍්‍රතිකාර මනෝවිද්‍යාව (Therapeutic Psychology) යන්න හැඳින්විය හැකග මෙකී ප‍්‍රතිකාර මනෝවිද්‍යාව මූලික වශයෙන් ම වෘත්තීයමය විෂය ක්ෂේත‍්‍රයක් වන අතර එය උපදේශනයට සමගාමීව ක‍්‍රියාත්මක වේි.

මෙය පුද්ගලයින් තුළ පවත්නා මානසික ගැටලූ හා මානසික රෝග මුල්කොට ගත් යම්කිසි මනෝ  ප‍්‍රතිකාරකවරයෙකු විසින් සිදු කරනු ලබන සුවපත් කිරීමේ ක‍්‍රියාවලියක් ලෙසින් ද හැඳින්විය හැක. මෙකී ප‍්‍රතිකාර යන වචනය ඇසෙන විටම පුද්ගලයාගේ මනසට නැගෙන්නේ ඖෂධ ය. එහෙත් මිනිසුන් සුවපත්  කිරීමට භාවිතයට ගත හැකි  ඕනෑම දෙයක් ප‍්‍රතිකාර වශයෙන් හැඳින්විය හැක. එහිදී ප‍්‍රතිකාර යන්න වෛද්‍යමය හෝ වෛද්‍යමය නොවන දෙයක් වුව ද විය හැක.ඒ අනුව ප‍්‍රතිකාර යන්නට නිර්වචනයෝ රැසක් පවතී. එනම්, මානසික අසමතුලිතතාවයන් මගහරවා සුවය ලබා දෙන ක‍්‍රමවේදයක් ලෙස ද මානසික ආබාධයන්ට නිරාවරණය කිරීම සඳහා ලබාදෙන ක‍්‍රමවේදයක් ලෙස ද මිනිසාගේ චින්තනය හා චර්යාව වෙනස් කරවන ක‍්‍රමයක් ලෙස ද එනම්, මුළුමනින්ම පුද්ගලයා කායික, මානසික, සාමාජීය, අධ්‍යාත්මික හා ආවේදනාත්මක වශයෙන් සුවපත්භාවයට පත්කිරිමේ ක‍්‍රමවේදයක් ලෙස ද ප‍්‍රතිකාර යන්න සරලව නිර්වචනය කළ හැක.

මූලික වශයෙන් දෛනික ජීවිතයේ දී මුහුණදීමට සිදුවන්නා වූ විවිධ ගැටලූකාරී තත්වයන් හා අවස්ථාවන් මගින් මිනිසාගේ කායික හා මානසික සෞඛ්‍යයේ යහපැවැත්මට සෘජුව ම හෝ වක‍්‍රාකාරයෙන් විවිධ බලපෑම් එල්ල විය හැක. එහිදී මූලික ලෙසම දුක , බිය හා කෝපය යනාදී චිත්තවේග ඇති වීම හේතුවෙන් කාලානුරූපීව එකී මනෝභාවයන් මානසික ගැටලූ හෝ මානසික රෝග බවට පත් විය හැක. එවිට ඉන් මිදීම සඳහාත් ඒවා විඳ දරාගැනීම සඳහාත් අවශ්‍ය කුසලතා සංවර්ධනයට මෙකී මනෝ ප‍්‍රතිකාර ඉවහල් වේ. එහිදී පුද්ගල ජීවිත මනා සමබරතාවයකින් යුතුව පවත්වා ගෙන යාමට අවශ්‍ය හැකියාව එම පුද්ගලයා තුළින් ම මතුකර ගැනීමටත් ඒවා  දියුණු කර ගැනීමටත් අවශ්‍ය මගපෙන්වීම ලබා ගත හැකි වේ. එනම්, සෑම මනෝ ප‍්‍රතිකාරයක් මගින් ම පුද්ගලයා තුළ පවත්නා ගැටලූ විසදීම සඳහා දායකත්වයක් සලසනු ලබයි. ඒ සදහා මූලික වශයෙන් මනෝ ප‍්‍රතිකාර යටතේ ප‍්‍රතිකාර මනෝ විද්‍යාවේ එන විවිධ න්‍යාය හා සංකල්ප රැසක් ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නැංවීම සිදු වේ.

එමෙන්ම මෙකී මනෝ ප‍්‍රතිකාරයන්හී ආරම්භය හෙවත් ඉතිහාසය පිළිබඳව විමසා බැලීමේදී් පෙනී යන්නේ එය ප‍්‍රාග් ඓතිහාසික යුගය දක්වා ම දිව යන්නක් බවත් නූතන යුගය තෙක් ම විකාශනය වෙමින් සංවර්ධනය වූවක් බව ය. එනම්, වසර 30 000 ක් පමණ  ඉපැරණි ගල් යුගය (Stone Age) හෙවත් ප‍්‍රාග් ඓතිහාසික යුගයේ දී මෙකී මානසික ගැටලූ හා රෝග සඳහා යම් යම් අදෘශ්‍යමාන බලවේග, ආත්මයන්, ඉර-හඳ-තරු හා ග‍්‍රහලෝක යනාදියෙහි බලපෑම හේතු වන්නට ඇතැයි විශ්වාස කරන ලදි. එනම්, අධිස්වාභාවික (Super Natural)  පදනමකින් යුතුව පුද්ගලයා තුළ පැවති මානසික ගැටලූ හා මානසික රෝග පිළිබදව නිගමනයන්ට එළඹෙන්නට විය. එමෙන් ම මෙකල ප‍්‍රතිකාර සඳහා නො දියුණු තියුණු ආයුධ භාවිතා කරමින් හිස්කබලේ සිදුරක් (Whole Cut) විදිමින්  එමගින් සිරුරට අරක් ගත් ආත්මයන් පිටව යන බව විශ්වාස කරන්නට ද විය . තවද යාගහෝම, බලි තොවිල්, ශාන්තිකර්ම ආදිය මගින් ද පුද්ගලයා තුළ පැවති මානසික රෝ දුක් සුව කරන්නට විය .

එහෙත් ඉන් අනතුරුව එළඹි ග‍්‍රීක යුගය තුළ ග‍්‍රීක දාර්ශනිකයන්ගේ Mind & Body relationship යන සංකල්පය හේතුවෙන් ප‍්‍රථමවරට ජීව විද්‍යාත්මක පදනමකින් හා මනෝවිද්‍යාත්මක පදනමකින් යුතුව පුද්ගලයා තුළ විවිධ වූ මානසික රෝග පීඩා ඇතිවන බව පිළිගන්නට විය . ඒ අනුව මානසික රෝග ඇති වනුයේ මොළයේ සිදුවන අසාමාන්‍යතා හෙවත් මොළයට සිදුවන හානිකර තත්වයන් (Brain Pathology & Brain Trauma) පදනම් කොට ගෙනයැයි පිළිගන්නට විය . ඒ අනුව මෙකල  පුද්ගල මානසික රෝග පිළිබඳව දැක් වූ අදහස පෙරට වඩා මානුෂික පදනමකින් යුක්ත විය. මෙම කාලවකවානුවේදී නූතන වෛද්‍යවිද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක‍්‍රටිස් විසින්  රචනා කරන ලද (Hippocrates corpus) නම් ලිපියෙහි සඳහන් කර ඇති පරිදි පුද්ගලයාගේ අසාමාන්‍ය චර්යාවන් හා මානසික තත්වයන් සඳහා ප‍්‍රධාන වශයෙන් ශරීර අභ්‍යන්තර මූලධාතු 4ක් වැඩි වීම හේතු වන අතර රෝම වෛද්‍ය ගැලන්ගේ අදහසට අනුව එම ධාතු වැඩි වීමෙන් මොළයේ ක‍්‍රියාකාරිත්වය වෙනසක් සිදු වී එය අසාමාන්‍ය චර්යාවන් ඇති වීම කෙරෙහි බලපානු ලබන ලබයි .

Behaviours

  1. Black Bile – කළු පිත
  2. Yellow Bile – කහ පිත
  3. Phlegm – සෙම
  4. Blood – රුධිරය

මේ සඳහා සුදුසු මනෝ ප‍්‍රතිකාරය ලෙසින් හිපොක‍්‍රටිස් පෙන්වා දෙන ලද්දේ හුදු විවේකය යි. තවද ග‍්‍රීක වෛද්‍ය ඇස්කිලිපිඩස් නැමැත්තාට අනුව මෙකී පුද්ගල අසාමාන්‍යතාවන්ට හේතු වනුයේ චිත්තවේග වෙනස් වීමයි . ඒ අනුව ප‍්‍රතිකාර සඳහා පෙර යුග වල පැවති රුධිරය ගැලීමට සැලැස්වීම, සිරකර තැබීම වැනි කෘර තත්වයන් වෙනුවට Hallucination හා Delusions  සහිත රෝගීන්ට පැද්දෙන් ඇඳ හෙවත් Swinging Bed  වැනි කාරුණික ප‍්‍රතිකාර ක‍්‍රම හඳුන්වා දෙන්නට විය.අනතුරුව එළඹෙන යුරෝපයේ අඳුරු යුගය හෙවත් මධ්‍යකාලීන යුගය වන විට නැවතත් අධිස්වාභාවික කාරණා මත මානසික රෝග ඇති වන බව පිළිගැනෙන්නට විය. එකල සමාජය කතෝලික පල්ලියේ ආධානග‍්‍රාහීත්වයට යටත්ව පැවති බැවින් මෙසේ රෝගී වීම ආගම හා සදාචාරයට පටහැනි වීමක් ලෙස සිතා කුරුසය පෙන්වීම හෝ ශුද්ධ වූ පැන් ඉසීම ආදිය ප‍්‍රතිකාර වශයෙන් සිදු කරන්නට විය. ඒ සමඟ ම යුරෝපය පුරා පැතිර ගිය හිස්ටීරියා හෙවත් ජන උන්මාද තත්වය (Tarantism) හේතු කොට ගෙන රෝගී පුද්ගලයින්  සියල්ලන් ම පාපිෂ්ඨයන් සේ සලකමින් අමානුෂික ලෙස වධ හිංසනයට ලක් කරමින්, පුළුස්සමින්, උල තබමින්, කුසගින්නේ තබමින් හා පිටුවහල් කරමින් මරා දමන්නට විය.

එහෙත් නැවත පුනරුද සමය වන විට මෙකී අසාමාන්‍ය චර්යා දෙස වඩා විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බලන්නට වූ අතර Johann Weyer වැන්නන්ගේ මැදිහත්වීම මත මානුෂික ප‍්‍රතිකාරයන්ගේ වැදගත්කම නැවත වාරයක් හඳුන්වා දෙන්නට විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස 16 වන ශතවර්ෂයේ දී රෝහල් සංකල්පය ඉවත් වී උන්මත්තකාගාර හෙවත් Lunatic Asylum ආරම්භ විය. එහෙත් 18 හා 19 වැනි සියවස් වන විට නැවත රෝගී ප‍්‍රතිකාර ක‍්‍රම අඩපණ වීමේ ප‍්‍රතිඵලයක් ලෙස රෝගීන් ඉබාගාතේ ඇවිද යන, මිනිස් වාසයෙන් ඈත් කර තැබීමට තරම් දරුණු තත්වයට පත්ව උන්මත්තකාගාර පිස්සන්කොටු බවට පරිවර්තනය විය. මේ යුගයේදී  හිස්ටීරියාවට ප‍්‍රතිකාරයක් ලෙස Franz Anton Mesmer විසින් මෙස්මරියානු ප‍්‍රතිකාරය සොයා ගනිමින් හිස්ටීරියා රෝගීන් සුවපත් කරන්නට විය. එය මෝහන ප‍්‍රතිකාරයේ ආරම්භය ද විය. ඉන් අනතුරුව ක‍්‍රමයෙන් කාලීනව රෝගීන් හා මනෝ ප‍්‍රතිකාර පිළිබඳව නීති රෙගුලාසි, සනීපාරක්ෂක පහසුකම් හා විනෝදය, විවේකය සදහා විවිධ වැඩපිළිවෙළවල් හා වඩාත් විද්‍යාත්මක ප‍්‍රවේශයකින් යුතු රෝග වර්ගීකරණ හා ප‍්‍රතිකාර කටයුතු ගොඩනැගෙන්නට විය.

ඉන් අනතුරුව Jean Charcot , Bruar , Sigmund Freud වැනි අය මෝහන ප‍්‍රතිකාරය තවදුරටත් දියුණු කරමින් අසාමාන්‍ය චර්යාවන්ට හේතු සොයන්නට විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස අවසානයේදී මනෝ විශ්ලේෂණවාදී න්‍යාය බිහි විය.

මනෝවිශ්ලේෂණවාදයේ පියා ලෙස හැඳින්වෙන Freud  විසින් ඉදිරිපත් කළ මෙකී මනෝ විශ්ලේෂණවාදී සම්ප‍්‍රදාය මගින් පුද්ගල අවිඥානික ක‍්‍රියාකාරිත්වය කෙසේදැයි යන්න පිළිබඳව වඩාත් විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරන්නට හැකි විය. එහිදී පුද්ගලයාගේ යටි සිතේ ඇති ප‍්‍රධාන බලවේගයන් විශ්ලේෂණය කිරීම ඔස්සේ පුද්ගලයා තුළ පවත්නා මානසික ගැටලූ හා රෝග සඳහා රෝග මූලයන් සොයා බලන්නට හැකි විය. ඒ අනුව සිහින දැකීම, අවරෝධනය, සංරක්ෂණ ප‍්‍රයෝග, හෘදසාක්ෂිය, සදාචාර මනස හා සහජාශය ආදී මූලධර්ම මේ යටතේ සාකච්ඡුාවට ලක් කෙරිණ. තවද පුද්ගලයෙකු සතු යථාර්ථවාදී නොවන චර්යාවන් කෙරෙහි අවදානය යොමු කරමින් එම පුද්ගලයාගේ එම චර්යාවට ඉවහල් වූ අතීත අභ්‍යන්තරික අත්දැකීම් පිළිබඳව ද මෙහිදී අවදානය යොමු කරනු ලැබීය. මෙකී සිද්ධාන්ත පදනම් කොට ගෙන මනෝ විශ්ලේෂණය යටතේ මානසික රෝගීන් සුවපත් කිරීම සඳහා අන්තර් ප‍්‍රතිකාර ක‍්‍රම  හා තවත් එවැනි ම ක‍්‍රමවේදයන් කිහිපයක් භාවිතා කරන්නට විය. එනම්,

  • Hypnotherapy – මෝහන ප‍්‍රතිකාරය
  • Free Association – නිදහස් සංඝටනය
  • Sleep Therapy – නිද්‍රා ප‍්‍රතිකාරය
  • Psychodynamic Psychotherapy – මනෝගතික මනෝප‍්‍රතිකාරය
  • Slip of Tongue – කට වැරදීම්
  • Dream Analysis – සිහින විශ්ලේෂණය
  • Catharsis – භාවවිරේචනය

අනතුරුව J.B Watson නැමති ඇමරිකානු ජාතික මනෝ විද්‍යාඥයාගේ මූලිකත්වයෙන් චර්යාවාදී මනෝ විද්‍යා සම්ප‍්‍රදා ය බිහි වන්නට විය. එමගින් මනෝවිශ්ලේෂණවාදී සම්ප‍්‍රදාය තුළ කතා කරන ලද අන්තරාවලෝකන මනස යන සංකල්පය බැහැර කොට චර්යාව යන්න මනෝවිද්‍යාවේ පදනම වශයෙන් කතා කරන්නට විය. මේ සඳහා මූලික පදනම සපයන ලද්දේ් E L Thorndike සහ Ivan Petrich Pavlov යන අය විසිනි. මේ සඳහා වඩාත්ම බලපාන ලද්දේ Pavlov  විසින් සුනඛයෙකු යොදා ගෙන කරන ලද  සම්පරීක්ෂණය යි. එනම් ඉන් ගම්‍ය වූ චර්යාවාදී මූලධර්ම චර්යා ප‍්‍රතිකාරය සඳහා පදනම සපයනු ලැබීයි.

ඒ අනුව ඉගෙනුම හා පුහුණුව මගින්  සිදු කරනු ලබන චර්යා ප‍්‍රතිකාර රැසක් මෙකී චර්යාවාදී න්‍යාය තුළ ක‍්‍රියාත්මක වේ. එමගින් පුද්ගලයාගේ අසාමාන්‍යතාවයන්ට හේතු වන යම් යම් චර්යාවන්ගෙන් පුද්ගලයාව ඈත් කිරීම හෝ වෙනත් උත්තේජයකට හුරු කිරීම සිදු කළ හැකි වේ.

මීට අමතරව අන්තර්පුද්ගල ප‍්‍රතිකාරයේදී මානසික ගැටලූවකින් යුතු පුද්ගලයා බාහිර ලෝකය සමඟ පවත්වන සම්බන්ධතා කෙබඳුද යන්න පිළිබඳවත් ඔහු දරණ ආකල්ප කෙබඳුද  යන්න පිළිබඳවත් ප‍්‍රතිකාර ලබාදීමේදී සැලකිල්ලට ගනු ලබයි. එහිදී පුද්ගලයා තුළ යථාර්ථය පිළිබඳව අවබෝධයක් ඇති කරවමින් තමාගේ ගැටලූ තමාටම විසඳා ගැනීමට අවශ්‍ය අවබෝධය ලබාදීම සිදු වේ.

ගෙස්ටෝල්ට්වාදී මනෝවිද්‍යා න්‍යායට අනුව පුද්ගලයාගේ මානසික ගැටලූ සදහා හේතු වනුයේ පුද්ගලයා යම් අවස්ථාවක් හෝ කාරණාවක් තුළ එක් අන්තයකට කොටු වෙමින් හෝ එක් රාමුවකට සීමාවෙමින් සිතීම හා ජීවත් වීමයි. එනම්, ගෙස්ටෝල්ට්වාදීන්ට අනුව මිනිස් චින්තනය සැමවිටම සමස්තය දැකීමට හුරුකරවිය යුතුය. එනම්, තමාට යම් ගැටලූවක් ඇති වූ විට එම ගැටලූවට අදාළ සාධක සියල්ල සමස්තයක් ලෙස සලකා බැලීමෙන් ක්ෂණිකව එම ගැටලූවට විසඳුම් තමාටම ප‍්‍රත්‍යක්ෂ කරගත හැකි වේ.

ප‍්‍රජානන න්‍යායෙහි මූලික අරමුණ වනුයේ මානසික ක‍්‍රියාකාරකම් අධ්‍යයනය කිරීමයි. ඒ අනුව පුද්ගල චින්තනය කෙරෙහි මෙහිදී ප‍්‍රධාන ලෙස ම අවදානය යොමු කරනු ලබයි. මෙම න්‍යායෙහි ප‍්‍රායෝගික අංශය වන ප‍්‍රජානන චර්යා ප‍්‍රතිකාරය (Cognitive Behavior Therapy – CBT) Aaron T Beck විසින් ඉදිරිපත් කරන්නට වූ අතර Albert Ellis විසින් යථාර්ථ චිත්තවේගී ප‍්‍රතිකාරය  (Rational Emotive Therapy – RET) ඉදිරිපත් කරන්නට විය. එමගින් පුද්ගලයාගේ මානසික ගැටලූ සඳහා ඉවහල් වන ප‍්‍රජානනික විරෝධතා , මානසික රාමු (Mindsets) හා ආකල්පයන් වෙනස් කොට අනතුරුව චර්යාව වෙනස් කිරීම හෝ චර්යාව නවීකරණය කිරීම කරනු ලබයි. එමගින් පුද්ගල මානසික ගැටලූ ක‍්‍රමයෙන් නිරාකරණය කර ගැනීමට පුද්ගලයා තුළින් ම හැකියාවක් ඇති කරවනු ලබයි. එමෙන්ම පසුකාලීනව  Jean Piaget විසින් ඉදිරිපත් කරන ලද ප‍්‍රජානන සංවර්ධන න්‍යායන් ඔස්සේ ළමා ප‍්‍රතිකාර ක‍්‍රමයන් ද බිහිවන්නට විය.

මනෝවිද්‍යාවේ තෙවන බලවේගය ලෙසින් හඳුන්වනු ලබන මානුෂවාදී හා සාංදෘෂ්ටිකවාදී න්‍යායන්ගේ උපත සිදුවනුයේ දෙවන ලෝක යුධ සමයෙන් අනතුරුව ඇති වූ සමාන පරිසර තත්වයක් තුළදී ය. ඒ අනුව මෙමගින් ඉගැන්වෙන ප‍්‍රධාන ම සංකල්පය වනුයේ මිනිසාගේ මානසික හා සාමාජීය යහපැවැත්ම සඳහා යථාර්ථය අවබෝධ කරගැනීමේ වැදගත්කම පිළිබඳවය. එනම්, මෙහිදී මානසික ගැටලූවක් සහිත අයෙක් තම ගැටලූවෙන් මුදවා යථාර්ථයට පත්කිරීම සඳහා මගපෙන්වීමක් ප‍්‍රතිකාරකවරයා විසින් සිදු කරනු ලබයි. එහිදී ප‍්‍රධාන ලෙස ම ප‍්‍රතිකාරකවරයා විසින් පුද්ගලයාට තම වටිනාකම් සම්බන්ධයෙන් පැනනගින ව්‍යාකූලත්වය හා එය නිරවුල් කර ගැනීමට තමන් අනුගමනය කළ යුතු යථාර්ථමය ක‍්‍රියාපිළිවෙත් පිළිබඳ අවබෝධයක් ඇතිකරවනු ලබයි. ඉන් ප‍්‍රතිකාරලාභියා තුළ යථාර්ථය පිළිබඳව මනා අවබෝධයක් ඇති වී තම් ගැටලූවට පිළිතුරක් සොයා ගැනීමට හැකි වේ.

තවද වර්තමානයේ Carl Rogers yd Abraham Maslow යන අය විසින් හඳුන්වා දී ඇති මානුෂවාදී න්‍යාය ගතහොත් එමගින් පෙන්වා දෙන්නේ පුද්ගල ස්වීයත්වය හෝ ආත්ම සාක්ෂාත්කරණයට බාධා ඇති වීමෙන් පුද්ගල මානසිකත්වය තුළ ගැටලූකාරී තත්වයන් ඇති වන බවය. තවද පුද්ගල පැවැත්ම පිළිබඳව පුද්ගලයා තුළ නිවැරිදි දැක්මක් හා අවබෝධයක් නොමැති විට ද පුද්ගලයා රෝගීභාවයට පත් වේ. මේ සඳහා සාංදෘෂ්ටික ප‍්‍රතිකාරය හෙවත් අර්ථ ප‍්‍රතිකාරය (Logo Therapy) යනාදිය භාවිතයෙන් විසඳුම් සඳහා මගපෙන්විය හැක.

මෙකී ප‍්‍රතිකාර ක‍්‍රම අද වන විට වඩාත් දියුණු ක‍්‍රමවේද ඔස්සේ ක‍්‍රියාත්මක වෙමින් ඇති අතර නූතන ලෝකයේ සංකීර්ණත්වයත් සමඟ ප‍්‍රධාන වශයෙන් උද්ගත වී තිබෙන පුද්ගල සෞඛ්‍ය ගැටලූ හෙවත් කායික, මානසික, සාමාජීය, අධ්‍යාත්මික හා ආවේදනාත්මක යන අංශයන්ගේ අර්බුද හේතුවෙන් මෙකී මනෝ ප‍්‍රතිකාර වල අවශ්‍යතාවය තව තවත් ඉහළ ගොස් තිබේ . අතීත සමාජ සන්දර්භයට සාපේක්ෂව බලන කල නූතන සමාජ සන්දර්භයෙහි සමාජමය, සංස්කෘතිකමය, දේශපාලනිකමය හා ආර්ථිකමය වශයෙන් සිදු වී ඇති විපර්යාසයන් හමුවේ මිනිසාගේ චින්තනයෙහි හ මානසික තත්වයෙහි ද ගැටලූකාරී තත්වයන් රැසක් ඇති වී තිබෙන බව ගම්‍යමාන වේ. සමාජයේ තැනුම් ඒකකය වන පවුල් සංස්ථාව තුළට දැඩිව බලාපාන මෙකී සාධකයන්ගේ වෙනස් වීම හේතුකොට ගෙන එකල පැවති සරල හා සාමූහික පවුල් සබඳතාවයන් වෙනුවට හුදකලා වූත් සංකීර්ණවූත් නිරන්තර ගැටෙන්නාවූත් හුදු නාමමාත‍්‍රික පුද්ගල සබඳතා  වලින් යුතු පවුල් ඒකක වර්තමානයෙහි දක්නට ලැබීම සුලබ තත්වයකි. මේ නිසාම පවුල් ආරවුල්, මතභේද, කලකිරීම්, අතෘප්තිය, ආතතිය, දික්කසාදවීම්, ඉච්ඡුාභංගත්වය, මානසික අර්බුද ආදී තත්වයන් ප‍්‍රතිශතයක් ලෙසින් ගත්ත ද ඉතා ඉහළ අගයන් බවට පත් වී හමාර ය. මේ නිසාම නූතන ළමා පරපුරෙහි ද විව්ධ අසාමාන්‍යතාවයන්, දැරීමේ නොහැකියාව, අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වා ගෙන යාමේ නොහැකියාව, සමාජ විරෝධී පෞරුෂයන් , මුරණ්ඩු ගති පැවතුම් ආදිය වර්ධනය වීමක් දක්නට ලැබේ. මේ නිසා අනාගත ලෝකය ද විශාල අර්බුදයකට පත් වෙමින් සිටී.

නිදසුන් වශයෙන් ඇමරිකාවේ වයස අවුරුදු 8-10 අතර ළමුන්ගෙන්

  • 3.6% – Anxiety Disorder
  • 2.3% – Conduct Disorder
  • 2.9% – Severe Depression
  • 3.8% – Mood Disorder
  • 8.9% – ADHD  යන රෝග වැළඳී ඇති බව වර්ෂ 2006 දී කරන  ලද National Health Survey වාර්තාවට අනුව  දැක්විය හැක.

එමෙන් ම වයස අවුරුදු 18-24 අතර තරුණ පරපුරෙන් පිරිමි ළමුන් 48% ක් හා ගැහැනු ළමුන් 34%ක් ම  දිනකට වීදුරු 5ක් හෝ ඊට වැඩියෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බවට වාර්තා වේ (World Health Organization Health Report – 2010). එමෙන් ම අන්තර්ජාල භාවිතා කරන්නන්ගෙන් වැඩි ප‍්‍රතිශතයක් Depression, Anxiety, Stress වැනි මානසික රෝගී තත්වයන්ට ගොදුරු වී ඇති බවක් පෙන්නුම් කෙරෙති.
එනම්,

  • 2004 – 23%
  • 2006 – 21%
  • 2008 – 28%
  • 2010 – 32%
  • 2012 – 36%

මෙකී සංස්ථානික ගැටුම් හේතුවෙන් සෘජුවම් බලපෑම් එල්ල වනුයේ පුද්ගල මානසික සෞඛ්‍ය කෙරෙහි ය. මේ නිසා පුද්ගලයා කාංසාමය තත්වයකටත් ආතතිමය තත්වයකටත් පත් වේ. මෙකී සෘණාත්මක මානසික ස්වාභාවයන් දිගුකාලීනව පැවතීමෙන් මානසික ගැටලූ මානසික රෝගයන් බවට ද පත් වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතී. මෙහි ප‍්‍රතිඵලයක්  ලෙස නූතන සමාජ සන්දර්භය තුළ විශාදය, මධුලෝලීත්වය, උග‍්‍ර ආතතිය, ලිංගික අක‍්‍රමතා, පෞරුෂ අක‍්‍රමතා, සියදිවි හානි කර ගැනිම වැනි නොයෙක් මානසික අක‍්‍රමතාවයන්ට හා මානසික රෝගයන්ට ගොදුරු වී ඇති ප‍්‍රතිශතය ඉහළ ගොස් තිබේ. නිදසුනක් ලෙස ගතහොත් 2014 වර්ෂයේ දී ජාතික  මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙහි (National Institute of Menatal Health) වෛද්‍ය ජයාන් මෙන්ඩිස් විසින් කරන ලද සමීක්ෂණයකට අනුව ලංකාවේ සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන් 1ක් අයෙකු මානසික රෝගයකින් පෙලෙන අතර එය ප‍්‍රතිශතයක් ලෙස ගතහොත් 20% ක් පමණ වන අතර ලාංකීය ජනගහනයෙන් 50%ක් ම Alcoholism වලින් පීඩාවිඳින අතර මොවුන් මානසික රෝග වලට ගොදුරු වීමේ වැඩි ප‍්‍රවණතාවයක් ද පවතී. එමෙන්  නාගරික ප‍්‍රදේශ වලින් 19%ක් ම විශාද තත්වයන් පෙන්නුම් කරන බවද ගම්‍යමාන වේ.

තවද ළමා හා තරුණ පරපුර වැඩි වශයෙන් සමාජ හුදකලාභාවයට පත්ව තාක්ෂණය සමඟ අත්වැල් බැඳ ගනිමින් දෛනිකව දෙමාපියන්ගෙන් හා බාහිර සමාජයෙන් සීඝ‍්‍රයෙන් ඇත් වෙමින් පවතී. මේ නිසා අතීත සමාජයන් හී මිනිසුන් මෙන් සමාජය හා ගැටෙමින් විවිධ අත්දැකීම් ලබාගනිමින් ඒ තුළින් තම පෞද්ගලික ජීවිතයේ එල්ල වන ප‍්‍රශ්න, පීඩාකාරී තත්වයන් හමුවේ පීඩාවට පත් නොවී හොදින් මුහුණ දීමට ඇති හැකියාව ඉතාමත් පහළ අගයක් බවට පත් වෙමින් තිබේ. මේ නිසාම පසුගිය මාස කිහිපය ගත්ත ද සියදිවි හානිකර ගැනීමේ ප‍්‍රතිශතය ද ඉහළ අගයක් ගන්නට විය. මේ නිසාම පුද්ගලයා තුළ මෙකී සියලූ සමාජ, ආර්ථික, අධ්‍යාපනික, වෛවාහික, පුද්ගල අභ්‍යන්තරිකමය මානසික ගැටලූ හමුවේ කඩා නොවැටී සිටීමට අවශ්‍ය ශක්තිය මාර්ගෝපදේශනය සපයන මාර්ගයක් අත්‍යාවශ්‍ය ය . එනම් මනෝ උපදේශනයයි . මෙකී මනෝ උපදේශනයෙහි එන්නා වූ විවිධ න්‍යායන් හා සංකල්පයන්  ක‍්‍රියාවට නැංවනුයේ මනෝ ප‍්‍රතිකාර ඔස්සේ ය . ඒ අනුව මනෝ ප‍්‍රතිකාර යන්න නූතන සමාජ සන්දර්භය හමුවේ එල්ල වී ඇති මිනිස් මානසික ව්‍යාකූලතා, ගැටලූ හා රෝග නිවාරණයට අත්‍යාවශ්‍යම දෙයක් ලෙස හැදින් විය හැක.

සංස්කෘතික කාරණාවන් හෝ වෙනත් පෞද්ගලික් හේතූන් මත සමාජය තුළ ඉටු කර ගත නොහැකි ඇතැම් කාරණාවන් හෝ චිත්තවේගයන් යටපත් කිරීම හේතුවෙන් ඒවා කාලාන්තරයක් සිතේ යටපත්ව පැවතීමෙන් මිනිසුන් තුළ පසුකාලීනව මතුවන විවිධ මනෝකායික තත්වයන් සුවපත් කිරීම සඳහා මනෝප‍්‍රතිකාර ලෙස භාවිතයට ගැනෙන්නේ මනෝ විශ්ලේෂණ ප‍්‍රතිකාරයන් . නූතන සමාජ සංකීර්ණත්වය හමුවේ මිනිසුන්ගේ ජීවිත වල ඇති කාර්යබහුලත්වය නිසාවෙන් එකිනෙකාගේ අවශ්‍යතා හැඟීම් බෙදා හදා ගැනීමට අවස්ථාවක් නොලැබී යා හැක . මෙවන් අවස්ථාවකදී තම ගැටලූව යටපත් කරගැනීමකට හෝ නැතහොත් වෙනත් මාර්ගයකින් එය ඉෂ්ට කරගැනීම නිසා ද මානසික වශයෙන් විවිධ ගැටලූ ඇති වේ. මේ නිසා තම අදහස් නිදහසේ ප‍්‍රකාශ කිරීමත් තමාට කියා ගත නොහැකි යමක් පැවසීමෙන් මානසික සැහැල්ලූවක් ළඟා කර ගැනීමට මෙකී විශ්ලේෂී මනෝ ප‍්‍රතිකාරය උපකාරී වේ.

එමෙන්ම පසුගිය කාලවකවානුව තුළ විභාග අසමත්වීම්, පෙම් සබඳතා කඩවීම් වැනි නොයක් හේතූන් මත සියදිවි හානි කර ගැනීම,  තම අධ්‍යාපන කටයුතු අඩාල කර ගැනීම වැනි නොයෙක් කාරණා පදනම් කොට ගෙන පුද්ගලයා මානසිකව පීඩා විදින්නට විය. මෙහිදී යථාර්ථය අවබෝධ කර නොගැනීමත් ජීවිතයේ එක් අංශයක් මත තම සමස්ත ජීවිතයම රඳවා තැබීම් හා එක් රාමුවක් තුළ සිරවී සිටීම යන කාරණා මූලිකවම දැක ගත හැක . ආදරය, රැකියාව හෝ අධ්‍යාපනය යනු ජීවිතයෙ එක් අංශයක් පමණක් වන බවත් ඉන් එහා තම ජීවිතයේ සමස්තයක් ලෙස සලකා බැලීමේදී තවත් බොහෝ අංශ ඇති බවත් එමගින් තම ජීවිතය යලි නගා සිටුවීමට හැකි බවත් පෙන්වා දීම මගින් පුද්ගලයාට තම සමස්ත වටිනාකම් පිළිබඳව මනා අවබෝධයක්  තම ගැටලූව වෙනස් අයුරකින් දැකීමට අවශ්‍ය මගපෙන්වීමක් මෙකී මනෝ ප‍්‍රතිකාර මගින් ලබා දෙනු ලබයි.  මේ සඳහා මානුෂ හා සාංදෘෂ්ටිකවාදී ප‍්‍රතිකාර ක‍්‍රමයත්, මනෝ ගතික මනෝ ප‍්‍රතිකාරයත් ප‍්‍රතිකාර, ගෙස්ටෝල්ට් න්‍යාය ප‍්‍රතිකාර වශයෙන් භාවිතයට ගැනීම සුදුස ය .

ඇතැම් විට කාලාන්තරයක් මුළුල්ලේ මානසික රෝගී තත්වයකින් පෙලෙන පුද්ගලයෙක් වෙතොත් ඔහු හෝ ඇයට ඉන් මිදිම සඳහා අවශ්‍ය මානසික හා චර්යාමය වෙනස්කමක් ඇති කර ගැනීමට අවශ්‍ය සහය ප‍්‍රජානන චර්යා ප‍්‍රතිකාරය මගින් පෙන්වා දෙනු ලබයි. මෙසේ විවිධ මනෝ විද්‍යාත්මක න්‍යායන් ප‍්‍රායෝගිකව මනෝ ප‍්‍රතිකාරයන් ලෙස භාවිතයට ගත හැක.

මේ සියලූ කාරණාවන් සලකා බලන් කල මිනිසා තුළ ඇති මානසික සතුට සැනසීම යන කාරණාවන් සීඝ‍්‍රයෙන්  ඉතා පහළ අගයන් බවට පත් වෙමින්  ඇති බවක් දක්නට ලැබේ. එනම්,

Mental ilness

මෙසේ නූතන සමාජ  සන්දර්භය හේතුකොට ගෙන පුද්ගලයාට මුහුණ පෑමට සිදු වන විවිධ මානසික ගැටලූකාරී තත්වයන් හා මානසික රෝග හමුවේ නොවැටී සිටීම සඳහාත් ඉන් මිදිම සදහාත් මානසික ශක්තිය හා යථාර්ථාවබෝධය ලබා දීම සදහාත් මෙකී මනෝ උපදේශනය හා මනෝ ප‍්‍රතිකාර යන්න ඉතාමත් වැදගත් ක‍්‍රමවේදයක් ලෙසින් හැදින්වීම යුක්ති යුක්තය . ඒ තුළින් පුද්ගල මනෝ සෞඛ්‍ය වඩාත් යහපත් මට්ටමකින් සමතුලිතව පවත්වාගෙන යාමට හැකියාවක් ලැබේ. ඒ් අනුව ප‍්‍රීතිමත් ජීවිතයකට මගපෙන්වන ක‍්‍රියාදාමයක් වශයෙන් මෙකී මනෝ ප‍්‍රතිකාර භාවිතය යන්න නූතන සමාජ සන්ද්ර්භය තුළ අනිවාර්යයෙන් ම පැවතිය යුතු ක‍්‍රියාදාමයකැයි පැවසිය හැක.

නොට්ගේ ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ස්තූතිය

  • එදිරිසිංහ,දයා, 1998, මනෝවිද්‍යා ගුරුකුල සහ මනෝවිද්‍යාඥයෝ , වත්මා ප‍්‍රකාශකයෝ, දෙහිවල.
  • ජයතුංග,එම්.රුවන් ,2005, මනෝ විද්‍යාත්මක උපදේශනය සහ මනෝ ප‍්‍රතිකාරය , සිකුරු ප‍්‍රකාශකයෝ , පොල්ගස් ඕවිට.
  • පෙරේරා,ඥානදාස ,2011, උපදේශන මනෝවිද්‍යාව ,සහස‍්‍ර ප‍්‍රකාශකයෝ , කොළඹ 10.
  • එදිරිිසිංහ දයා ,හපුආරච්චි ගාමිණී ,2010, මනෝවිද්‍යාව-න්‍යාය සහ භාවිතය , වත්මා ප‍්‍රකාශකයෝ , දෙහිවල.
  •   www.ncbi.nlm.nih.gov
  • www.sundaytime.lk
  • www.pbs.org
Wasana Fernando

U. Wasana Lakshanthi Fernando Assistant Lecturer in Psychology, University of Kelaniya who is a former student of Samudradevi Balika Vidyalaya, completed all course units with a second class [Upper Division] Honors and with a GPA of 3.83.  She is following Advance Diploma in Psychotherapy and had followed a Diploma in Counselling Psychology in Mental Health Foundation,  Sri Lanka. ​

Comments

ප්‍රසිද්ධ ලිපි

AdvertisementCloudways Managed hosting
To Top