a girl reading book
මනෝ විද්‍යාව

ව්‍යවහාරික මනෝවිද්‍යාවේ ඉතිහාසය හා විකාශනය පිළිබඳ විමසුමක්

Photo Credit : Graphicstock

මනෝවිද්‍යා සාහිත්‍ය තුළ න්‍යායාත්මක හා ව්‍යවහාරික යනුවෙන් ප්‍රධාන අංශ දෙකක් යටතේ මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රය සාකච්ඡාවට ලක් කෙරේ. ඉන් න්‍යායාත්මක අංශය තුළ මනෝවිද්‍යාවෙහි එන සංකල්ප හා මූලධර්ම පිළිබඳව කතා කෙරෙන අතර ප්‍රායෝගික අංශය යටතේ එම සංකල්ප හා මූලධර්ම ප්‍රායෝගිකව භාවිතාවට ගැනෙන ආකාරය පිළිබඳව කතා කරනු ලබයි. ඒ අනුව මනෝවිද්‍යාවෙහි න්‍යායාත්මක අංශය මුල් කාලීනව ද එහි විකාශනයට සමගාමීව පුද්ගල හා සමාජීය අවශ්‍යතා හේතු කොට ගෙන පසුකාලීනව ව්‍යවහාරික මනෝවිද්‍යාව බිහිවන්නට විය. මෙම ලිපිය මගින් එම ව්‍යවහාරික මනෝවිද්‍යාව ආරම්භ වූ ආකාරය ත් යුගයෙන් යුගයට සමාජයෙන් සමාජයට එහි විකාශනය සිදු වූ අයුරුත් වර්තමානයේ දී එම විෂයේ නව ප්‍රවනතා සම්බන්ධයෙන් ද විස්තර කිරීම සිදු කරයි. එමගින් මනෝවිද්‍යාවෙහි ව්‍යවහාරික අංශය ගොඩනැගුණු ආකාරය ත් සංවර්ධනය වූ ආකාරය ත් පිළිබඳව වැටහීමක් ලබාදීම මෙහි අරමුණයි.

හැඳින්වීම

ව්‍යවහාරික මනෝවිද්‍යාව යනු මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයන් සහ මනෝවිද්‍යාත්මක සොයා ගැනීම් භාවිතා කර සතුන්ගේ සහ මිනිසුන්ගේ චර්යාමය මෙන් ම අත්දැකීම් පිළිබඳව පවත්නා ප්‍රායෝගික ගැටලු වලට විසඳුම් ලබාදෙන මනෝවිද්‍යාවෙහි ම උප විෂය ශාඛාවකි. මෙකී නිර්වචනයට අමතරව ව්‍යවහාරික මනෝවිද්‍යාව යනු කුමක්දැයි යන්නට තවත් නිර්වචන රැසක් ඉදිරිපත්ව පවතී.

වෛද්‍ය ශබ්දකෝෂයෙහි සඳහන් පරිදි ව්‍යවහාරික මනෝවිද්‍යාව යනු මනෝවිද්‍යාවට අයත් අධ්‍යාපන, ආයතනික, සමාජීය, වෙළෙඳ හා සෞඛ්‍ය වැනි විවිධ උපවිෂය ක්ෂේත්‍රයන් තුළ පවත්නා ප්‍රායෝගික ගැටලු දෙස මනෝවිද්‍යාත්මක මූලධර්ම භාවිතා කර විසඳුම් ඉදිරිපත් කිරීම යි.

ඔක්ස්ෆ්ර්ඞ් ශබ්දකෝෂයෙහි (Oxford Dictionary) සඳහන් වන පරිදි මනෝවිද්‍යාවේ උපවිෂය ශාඛාවන් මුල්කොට ගත් පර්යේෂණයන් ඇසුරෙන් අනාවරණය කර ගන්නා  ලද ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුම් ලබාදීම ව්‍යවහාරික මනෝවිද්‍යාව නම් වේ.

මේ අනුව ව්‍යවහාරික මනෝවිද්‍යාව යනු මූලික හෙවත් ශුද්ධ මනෝවිද්‍යාවට අයත් උපවිෂය ක්ෂේත්‍රයන් හී ම පවත්නා විෂයනහී ප්‍රායෝගික භාවිතයක් වශයෙන්  සරලව විග්‍රහ කළ හැකි ය.

ආරම්භය හා විකාශය

ව්‍යවහාරික මනෝවිද්‍යාව පිළිබඳව ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී දැකිය හැකි සුවිශේෂී ලක්ෂණය වනුයේ මනෝවිද්‍යා දැනුම විවිධ ක්ෂේත්‍රයන්හි භාවිතයට ගැනීම ඔස්සේ ව්‍යවහාරික මනෝවිද්‍යාව බිහි වී වර්ධනය වී ඇති බව යි.

ව්‍යවහාරික මනෝවිද්‍යාවේ මූලාරම්භකයා වනුයේ හියුගෝ මන්ස්ටර්බර්ග් (Hugo Munsterberg) නැමැත්තා ය. මොහු ඉතාලියේ ජීවත්ව සිට ඇමරිකාවට සංක්‍රමණය වීමෙන් අනතුරුව 19 වන සියවසෙන් පසුව බොහෝ මනෝවිද්‍යාඥයන් අපේක්ෂා කරන්නා වූ පරිදි මොහු ද දර්ශනය විෂය පිළිබඳව හදාරන්නට විය. එහෙත් මන්ස්ටර්බර්ග් දර්ශනයට අමතරව මනෝවිද්‍යාවට අයත් උප විෂය ශාඛාවන් වූ අර්ථය පිළිබඳ මනෝවිද්‍යාව (Purposive Psychology), අධිකරණ මනෝවිද්‍යාව, සමාජ මනෝවිද්‍යාව වැනි විෂයන්  කෙරෙහි ද ඇල්මක් දක්වන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස  වර්ෂ 1907 දී ඔහු විසින් සාක්ෂි පිළිබඳ නෛතික අංශය (Legal aspects of Testimony), පාපොච්චාරණය සහ අධිකරණ අවකාශ ක්‍රියාපටිපාටිය (Confessions and courtroom procedures) නමින් ලිපි කිහිපයක් සඟරා සඳහා ලියන්නට විය. එහි වර්ධනීය අවස්ථාවක් ලෙස “සාක්ෂි මත පදනම්ව” (On the Witness stand) නමින් කෘතියක් ද රචනා කරන්නට විය. අනතුරුව හාර්වර්ඞ් විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ වී ඇමරිකානු මනෝවිද්‍යා සංගමය යටතේ පවත්නා ව්‍යවහාරික මනෝවිද්‍යා කොට්ඨාසය (Division of Applied Psychology) ආරම්භ කරන්නට විය. මේ ආකාරයට වසර 9 ක පමණ කෙටි කාලයක් තුළ දී පමණක් මන්ස්ටර්බර්ග් විසින් Applying Psychology to Education, Industrial Efficiency, Business and  වැනි කෘති 8 ක් සම්පාදනය කරන ලදි. අවසානයේදී මන්ස්ටර්බර්ග් මනෝවිද්‍යාවට ලබාදුන් දායකත්වය හේතුවෙන් ව්‍යවහාරික මනෝවිද්‍යාවේ නිර්මාතෘ වශයෙන් නම් දරන්නට විය.

යුධ මනෝවිද්‍යාව

වර්ෂ 1920 දී මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රය පිළිබඳ ජාත්‍යන්තර විද්වත් සංගමය තුළ ව්‍යවහාරික මනෝවිද්‍යාව පිළිබඳව ද ජාත්‍යන්තර සංගමය (International Association of Applied Psychology  – IAAP ) නමින් නව කණ්ඩායමක්  පිහිටුවන ලදි. කෙසේ වෙතත් ව්‍යවහාරික මනෝවිද්‍යාවට පදනම ගොඩනැගෙනුයේ දෙවන ලෝක යුධ සමය පදනම් කොට ගෙන බව මනෝවිද්‍යා ඉතිහාසය පිරික්සීමේදී විද්‍යාමාන වේ.

බොහෝ ඇමරිකානු වෘත්තීය මනෝවිද්‍යාඥයින් දෙවන ලෝක යුධ සමය දක්වා ම ශාස්ත්‍රීය පසුබිමක් තුළ පමණක් සිය වැඩකටයුතු වල නිරත වූ අතර දෙවන ලෝක යුධ සමය අතරතුරේදී යුධ හමුදා සේවා බලකාය සහ උපායමාර්ගික සේවා පිළිබඳ කාර්යාලය මගින් හමුදාභට කණ්ඩායම්හී මානසික ශක්තිමත්භාවය වැඩිකරමින් ඔවුන් සතු ගැටලු විසදීම සඳහා මනෝ විද්‍යාඥයන්ගේ සේවය කුලී පදනම මත ලබාගන්නා ලදි.

යුධ මනෝවිද්‍යාවේ ඉතිහාසය සම්බන්ධයෙන් ඉතා වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් හමුදා සේවය සඳහා බුද්ධි පරීක්ෂණ යොදා ගැනීම සැලකිය හැකිය. වර්ෂ 1900 ට පෙර යුගයේ සිට පැරිස් පාසලේ තියොදෝරේ සීමන් (Theodore Simon) සහ ප්‍රංශ මනෝ විද්‍යාඥ ඇල්ෆ්‍රඞ් බීනේ (Alfred Binet) යන දෙදෙනාගේ එකතුවෙන් ආරම්භ කරන ලද බීනේ-සීමන් බුද්ධි පරීක්ෂණ වර්ෂ 1916 දී ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලෙවිස් එම්. ටර්මන් (Lewis M. Terman) විසින් නැවත ස්ටැන්ෆර්ඞ්-බීනේ පරිමාව ලෙසින් සංශෝධනය  කරන ලදි. දෙවන ලෝක යුද්ධය අතරතුර ඇමරිකානු සෙබළුන් 17 000කට අධික පිරිසකට මේ පරීක්ෂණය පවත්වන ලද අතර එහි ප්‍රතිඵලයන් රොබර්ට් එම්. යර්ක්ස් (Robert M. Yorks) විසින් (Army Report)   යුධ හමුදා වාර්තාව ලෙසින් ලියවිල්ලක් සකස් කොට ප්‍රකාශයට පත් කළේ ය.

යුධ හමුදාව සඳහා පළමුව සකස් කරන ලද පරීක්ෂණ අතර ආමි ඇල්ෆා සහ ආමි බීටා යන පරීක්ෂණ  ද්විත්වය හඳුනාගත හැකි අතර විශාල පිරිසක් යුධ හමුදාව සඳහා බඳවා ගන්නා විට ඔවුන් ඇගයීම සඳහා මෙම පරීක්ෂණ යොදාගනු ලබයි. ආමි බීටා පරීක්ෂණය ඉංග්‍රීසි කතා නො කරන සේවා සාමාජිකයින් මැනීමට මෙන් ම ඔවුන්ගේ සහජ බුද්ධිමය හැකියාවන් මැනීම සඳහා නිර්මාණය කර ඇත. මීට පෙර යුගයේ දී මෙම පරීක්ෂණ ද්විත්වයට සමාන එම අරමුණින්  ම යුධ හමුදා සාමාන්‍ය වර්ගීකරණ පරීක්ෂණය සහ නාවික හමුදා සාමාන්‍ය වර්ගීකරණ පරීක්ෂණය (Army/Navy General Classification Test) යනාදිය ද භාවිතා විය.

වර්ෂ 1917 දී ඇමරිකානු මනෝවිද්‍යා සංගමයේ සභාපතිවරයා වශයෙන් රොබට් එම්. යර්ක්ස් කටයුතු කරමින් සිටි අවධියේදී ඔහු ඊ. බී ටීච්නර් (E. B. Titchener) හා තවත් සම්පරීක්ෂණවාදීන් සමඟ එක්ව කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් හමුදා භටයින් බඳවා ගැනීමට සහ යුධ වින්දිතයන් සඳහා ප්‍රතිකාර කිරීමට උනන්දු වී ඇත. අනතුරුව වර්ෂ 1919 දී  ඇමරිකානු යුධ හමුදා වෛද්‍ය සේවා බලකායේ මේජර්වරයෙකු ලෙස යෝර්ක්ස් නැමැත්තාව පත් කරනු ලබයි. එහි ප්‍රතිඵලයක් ලෙස 1919 දී ජොර්ජියාවේ වෛද්‍ය පුහුණු කඳවුරේ ඇති වෛද්‍ය දෙපාර්තමේන්තුව තුළ යුධ හමුදා මනෝවිද්‍යා අංශයක් ස්ථාපනය කරන්නට විය. මෙහි විශාල පිරිසක් බඳවා ගැනීමේ කටයුතු මෙන් ම මානසික පරීක්ෂණ කිරිමට නිලධාරීන් පුහුණු කරවීමත් සිදු විය.

දෙවන ලෝක යුධ සමය මනෝවිද්‍යා ක්ෂේත්‍රය සඳහා විශාල ඉල්ලුමක් පැවති කාලවකවානුවක් වූ අතර මෙකල ප්‍රධාන අංශ 4ක් හේතුවෙන් ඉතා වැදගත් විය. එනම්,

  1. පුද්ගල හැකියාවන් පරීක්ෂා කිරීම  –           Testing of Individual abilities
  2. ව්‍යවහාරික සමාජ විද්‍යාව               –           Applied social Psychology
  3. උපදෙස්දීම හා පුහුණුව                   –           Instruction and Training
  4. සායනික මනෝවිද්‍යාව                   –           Clinical Psychology

දෙවන ලෝක යුධ සමය අවසන් වනතුරු ම ඇමරිකානු  යුධ හමුදාවට 1944 වන තෙක් සායනික මනෝ විද්‍යාඥයින් යොදා ගැනීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක් නොවූ අතර එකී දැඩි අවශ්‍යතාවය හේතුකොට ගෙන සායනික මනෝ විද්‍යාඥයන් බඳවා ගැනීම නිසා වර්ෂ 1945 වනවිට සායනික මනෝවිද්‍යාඥයන් 450 ක් පමණ සේවයේ නිරත වී ඇත.

දෙවන ලෝක යුධ සමය අතරතුර සහ ඉන් පසුව අත්දකින මානසික ක්ලමථය සහ මානසික අක්‍රමතාවයන් යනාදිය යුධ ජීවිතයේ ම කොටසක් වශයෙන් සලකන්නට වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස  සිහිවිකල් වූ පුද්ගලයින් සඳහා අතීතයේ දී ඉදිකරන ලද ඇමරිකානු රජයේ රෝහල වොෂිංටනයේ එලිසබත් රෝහල නමින් ප්‍රතිනාමකරණය කොට යුධ මානසික රෝගීන් සඳහා ඉදිකරන ලද ප්‍රථම රෝහල ලෙසින් භාවිතයට ගැණින.

මෙවැනි තත්වයන් ඔස්සේ යුධ මනෝවිද්‍යාව තුළ ඉතා සීඝ්‍රයෙන් පරිණත වීමක් සිදු විය. මෙහිදී මිනිස් ක්‍රියාකාරිත්වය කෙරෙහි පරිසර සාධකයන්ගේ බලපෑම, යුධ බුද්ධිය, මනෝවිද්‍යාත්මක ක්‍රියාන්විතය සහ රණකාමීත්වය , විශේෂ සේවාවන් සඳහා තෝරා ගැනීම, භටයින් සතු ආකල්ප, අභිප්‍රේරණය හා චිත්ත ධෛර්යය වැඩි කිරීම යනාදි කෙරෙහි වැඩි අවධානක් යොමු කරන්නට විය.

ව්‍යවහාරික මනෝවිද්‍යාවේ පසු සංවර්ධනය

දෙවන ලෝක යුධ සමයෙන් අනතුරුව මනෝවිද්‍යාඥයන් ශාස්ත්‍රීය කටයුතු නිරත වීමේ කාර්යයට අමතරව වෘත්තීය සීමාවෙන් ඔබ්බට ගිය විශාල වපසරියක වැඩ කිරීමට නැඹුරුවීමක් දක්නට ලැබුණි. මේ නිසා වර්ෂ 1970 දී විශ්වවිද්‍යාල තුළ ව්‍යවහාරික මනෝවිද්‍යාව ප්‍රථම උපාධිලාභීන්ගේ ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් දෙගුණවීමක් සිදු විය.  ඒ සමඟ ම වාර්ෂික පශ්චාත් උපාධිලාභීන්ගේ සංඛ්‍යාව ද ඉහළ අගයක් බවට පත් විය.

මේ සමඟ ම වෘත්තීය සංවිධාන විසින් ව්‍යවහාරික මනෝවිද්‍යාව යනු කුමක්ද යන අදහස ව්‍යාප්ත කිරීමේ අරමුණින් විශේෂ රැස්වීම් සහ අවස්ථාවන් ද සංවිධානය කරන ලදි. වර්ෂ 1990 දී ඇමරිකානු මනෝවිද්‍යා සංගමය විසින් “මිනිස් ප්‍රාග්ධන මූලාරම්භය” නමින් පාසල් අවධිය, කාර්යාලීය නිෂ්පාදන, මත්ද්‍රව්‍ය භාවිතය, හිංසනය, ප්‍රජා සෞඛ්‍යය වැනි චර්යා විද්‍යාවන් ඉහළ නැංවීමේ සහ නිවාරණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට විය. මෙහි ඉදිරි පියවරක්  ලෙස ඇමරිකානු මනෝවිද්‍යා සංගමය විසින් වර්ෂ 2000 සිට 2010 දක්වා කාල පරාසය චර්යාව පිළිබඳ දශකය ලෙසින් ප්‍රකාශයට පත් කරන ලදි.  මෙම කාලය අතරතුරදී මිනිස් ජීවිතය සහ සමාජය පිළිබඳ සමස්ත පැතිකඩයන් සඳහා මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයන් උපයෝගී කරගනු ලබන ආකාරය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කෙරිණ. අනතුරුව කාලානුරූපීප 19 වන සියවයේ අගභාගය වනවිට සමස්ත මනෝවිද්‍යාත්මක පුහුණුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ව්‍යවහාරික මනෝවිද්‍යාවේ පසු සංවර්ධනයක් ඇතිවිය.

වර්ෂ 1883 දී ෆ්‍රැන්සිස් ගාල්ටන් (Francis Galton) විසින් Inquiries into human faculty and its devein නමින් කෘතියක් ප්‍රකාශයට පත් කරන ලදි. ඒ තුළින් තනි පුද්ගලයකුගේ මනෝවිද්‍යාත්මක වෙනස්කම් මැනිය හැකි මිනුම් කවරේද යන්න පිළිබඳව ඉදිරිපත් කර ඇත.

තව ද ජර්මනියේ ලිප්සිග් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විල්හෙල්ම් වුඞ්න්ට් යටතේ මනෝවිද්‍යාව හැදෑරූ ජේම්ස් මැකීන් කැටල් (James Mckeen cattell) විසින් වර්ෂ 1890 දී මානසික පරීක්ෂණ හඳුන්වා දෙන ලදි. එමෙන් ම ක්‍රියාපටිපාටි ප්‍රමිතිකරණය (Standaredization of Procedures), ප්‍රතිමාන භාවිතය (use of norms) සඳහා වන අවශ්‍යතාව වර්ධනය කිරීම මෙන් ම පුද්ගල වෙනස්කම් අධ්‍යයනය කිරීම සඳහා සංඛ්‍යාන විශ්ලේෂණයන්ගේ භාවිතය (use of statistical analysis) පිළිබඳව සාකච්ඡාවට භාජනය කිරීම යනාදිය තවදුරටත් සිදු විය.

සායනික මනෝවිද්‍යාව

විල්හෙල්ම් වුඞ්න්ට් යටතේ ම මනෝවිද්‍යාව හැදෑරූ තවත් මනෝවිද්‍යාඥයෙකු වූ ලයිට්නර් විට්මර් (Lightner Witmer) නැමැත්තා විසින් ලෝකයේ පළමු මනෝවිද්‍යාත්මක සායනය පිහිටුවන අතර එය සායනික මනෝවිද්‍යාවේ පදනම බවට පත්විය. මෙහිදී ඔහු සායනික පුහුණුවීම් සහ අධ්‍යයනයන් සඳහා වැඩසටහන් නිර්මාණය කරන්නට ද විය. තව ද වර්ෂ 1907 දී මනෝවිද්‍යාත්මක සායනය නමින් සඟරාවක් ද ආරම්භ කරනු ලැබී ය. මීට අමතරව මානසික රෝග වලට ප්‍රතිවිරුද්ධ නිවාරණ මිනුම් මෙන් ම ප්‍රතිකාර ක්‍රම සංවර්ධනය ත් සමාජය තුළ ඇති මතයන් වෙනස් කිරීම ත් යන්න පිළිබඳව සායනික මනෝවිද්‍යාව මගින් සිදු කෙරේ.

ඉංජිනේරු මනෝවිද්‍යාව

මෙකී ව්‍යවහාරික විද්‍යාවන් මෙන් ම ඉංජිනේරු මනෝවිද්‍යාව ද දෙවන ලෝක යුධ සමය තුළ දී ම දියුණුවට පත්ව තිබේ. එනම්, වර්ෂ 1940 දශකය තුළ දී ඇමරිකාවේ යුධමය තත්වයෙහි අසමර්ථභාවය (ආයුධ විනාශ කිරීම සඳහා නියමිත ඉලක්කයට බෝම්බ හෙලීමට නොහැකි වේ) යි. මේ සඳහා මූලික හේතුව ලෙස ඔවුන් සොයාගෙන ඇත්තේ මිනිසා සතුව ම ඇති වැරදි ය. මෙම වැරදි මගහැරවීම සඳහා  සිදු කරන ලද පළමු සැලසුම වනුයේ එස්. එස්. ස්ටීවන් විසින් විසින් මනෝධ්වනිචාරය භාවිතය (use of Psycho-acoustics) යි.  ස්ටීවන් සහ එල.් එල්. බෙරනෙක් යන ඇමරිකානු මනෝ විද්‍යාඥයන් දෙදෙනා ප්‍රථම වරට මිනිසුන් සහ යන්ත්‍රෝපකරණ එකට වැඩ කරන ආකාරය වෙනස් කිරීම කෙරෙහි උනන්දු වී ඇත. ඒ අනුව හමුද ගුවන් යානා අභ්‍යන්තරයෙහි නැගෙන ඝෝෂාකාරී හඬ අඩු කිරීමට ත් හමුදා සන්නිවේදන පද්ධතීන්ගේ වටහාගැනීමේ හැකියාව වර්ධනය කිරීමට ත් කටයුතු කළේ ය. අනතුරුව ඉංජිනේරු මනෝවිද්‍යාවෙහි වර්ෂ 1945 න් පසුව දක්නට ලැබුණි.

අධ්‍යාපන මනෝවිද්‍යාව

මෙකල සිටි අධ්‍යාපන මනෝවිද්‍යාඥයන් විසින් ස්මාජය තුළ සිටි දක්ෂ පුද්ගලයින් පිළිබඳව නිරීක්ෂණය කර ඒ ගැන සොයා බලමින් ඔවුන් කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන්නට විය. මෙමෙගින් බලාපොරොත්තු වූයේ පුද්ගලයින් සතුව පවත්නා පෞද්ගලික, වෘත්තීයමය හා අධ්‍යාපනිකමය ඉලක්කයන් පැහැදිලිව හදුනා ගැනීමට හා එම ඉලක්කයන් මුදුන් පමුණුවාලීමට උපකාරී කිරීමයි.   මේ සඳහා උපදේශන මනෝවිද්‍යාඥයන්ගේ සහය ද ලබාගනු ලබයි.

උපදේශන මනෝවිද්‍යාව

උපදේශන මනෝවිද්‍යාව ද දෙවන ලෝක යුද්ධයෙහි ප්‍රතිඵලයකින් ආරම්භ වූ අතර එකල ඇමරිකානු හමුදාවට වෘත්තීය පුහුණුවීම් ලබාදීමේ අවශ්‍යතාවයක් පැවතුණි. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1950 දී හමුදා සේවයේ නියුතු හමුදා ප්‍රවීණයන්ගේ පරිපාලනය විසින් උපදේශන  මනෝවිද්‍යාව නැමති විෂය ක්ෂේත්‍රය නිර්මාණය කරන ලදි. එය වර්තමානයේ උපදේශන මනෝවිද්‍යා සංගමය ලෙස  හඳුන්වනු ලබයි.

කාර්මික මනෝවිද්‍යාව

කාර්මික හෙවත් ආයතනික මනෝවිද්‍යාව මගින් මානව සම්පත් සඳහා සහයවීම ත්  ඔවුන් පිළිබඳ සොයාබැලීම හා ඔවුන් සතු කුසලතාවන් සහ ගැටලු පිළිබඳව පූර්ව හදුනාගැනීම් කිරීම කෙරෙහි සෘජු අවධානයක් යොමු කෙරේ. තව ද තාක්ෂණවේදී රැකියා වියුක්තිය පිළිබඳ විසඳුම් සෙවීම සහ සංවර්ධනය වෙමින් පවත්නා රටවල මානව සම්පත සැලසුම්කරණය සහ කාර්මීකරණය ආශ්‍රිතව ඇති ගැටලු සඳහා සහය ලබාදීමක් සිදු කරන ලදි.

ක්‍රීඩා මනෝවිද්‍යාව

ක්‍රීඩා මනෝවිද්‍යාව පළමුව ශාරීරික අධ්‍යාපනය පදනම් කරගෙන බිහි වූ අතර ක්‍රීඩා උපදේශකයන් විසින්  ශාරීරික අධ්‍යාපනය හා සම්බන්ධ විවිධ ප්‍රපංචයන් පිළිබඳ පැහැදිලි කිරීම සඳහා මෙන්ම ක්‍රීඩා මනෝවිද්‍යාගාර දියුණු කිරීමට උනන්දු වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1920 දී රොබට් වර්නර් ෂල්ට් (Robert Werner Schulte) විසින් ප්‍රථම ශාරීරික අධ්‍යාපන විද්‍යාලයය පිහිටුවන ලදි. මෙය යුරෝපයේ ක්‍රීඩා මනෝවිද්‍යාව ව්‍යාප්තවීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙසින් ද හැඳින්විය හැක. මෙම විද්‍යාගාරය ශාරීරික ශක්‍යතාවයන් පිළිබඳ මැනීමට ත් ක්‍රීඩා අභියෝග්‍යතා මනීමට ත් භාවිතා කරන්නට විය. මේ සියල්ලෙහි සාරය ගෙන වර්ෂ 1921 දී රොබට් වර්නර් විසින් ක්‍රීඩාව තුළ කය සහ මනස (Body and Mind in Sport) නමින් කෘතියක් රචනා කරන්නට විය. මීට අමතරව ක්‍රීඩා මනෝවිද්‍යාවේ වර්ධනය සඳහා බොහෝ දෑ සිදු කෙරිණ. එනම්,

  • වර්ෂ 1925 – රුසියාවේ මොස්කව් සහ ලෙනින්ග්‍රෑඞ් යන නගර වල ශාරීරික සංස්කෘතික   ආයතන පිහිටුවා ඒ තුළ ක්‍රීඩාව පිළිබඳ මනෝවිද්‍යා සම්පරීක්ෂණ ආරම්භ කිරීම .
  • වර්ෂ 1930 –  විධිමත් ක්‍රීඩා මනෝවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කිරීම.
  • වර්ෂ 1980 – ඊ. ඩබ්. ස්ක්‍රිප්චර් විසින් චර්යාමය සම්පරීක්ෂණ සිදුකර  පාසල් ළමුන් ගේ චින්තන කාලය සහ දුර දුවන්නන්ගේ ප්‍රතික්‍රියා කාලය මැනීමට උත්සහ ගෙන ඇත.
  • වර්ෂ 1921 – ඇල්බර්ට් ජොහැන්සන් හා ජෝසෆ් හෝම්ස් විසින් බේස්බෝල් ක්‍රීඩකයින් පිළිබඳව සිදු කරන ලද පර්යේෂණය.(වේගය, ආශ්වාස ප්‍රශ්වාස, ප්‍රතික්‍රියා කාලය, මණික් කටුවෙහි චලන වේගය අධ්‍යයනය කිරීමෙන් චාලක කුසලතාවන් පිළිබඳව අධ්‍යයනය කිරීම)
  • වර්ෂ 1926 – 1928 –  ඇමරිකාවේ ප්‍රථම ක්‍රීඩා මනෝ විද්‍යාඥයා කෝල්මන් ග්‍රිෆිත් වන අතර ඔහු අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ මහාචර්යවරයෙකි. මුදල් සපයමින් ක්‍රීඩා විද්‍යාගාර තුළ පර්යේෂණ සිදුකරන ලදි. ක්‍රීඩා පුහුණුකරණයෙහි මනෝවිද්‍යාව (Psychology of Coaching) සහ මලල ක්‍රීඩාවෙහි මනෝවිද්‍යාව (Psychology of athletics) යන කෘති රචනා කරන ලදි.
  • 1938 – ග්‍රිෆිත් චිකාගෝවේ ළමයින් සඳහා ක්‍රීඩා ක්‍රීඩා මනෝවිද්‍යාඥයෙකු ලෙස සේවය කළ අතර හැකියාවන්, පෞරුෂය, නායකත්වය, කුෂලතා ඉගෙනුම වැනි සාධක හා සම්බන්ධ මනෝවිද්‍යාත්මක සාධක පිළිබඳව විභාගකළේ ය. ක්‍රීඩකයන් ගැන විශ්ලේෂණය කර පුහුණුවීම් වල සාර්ථකත්වය සඳහා යෝජනා ඉදිරිපත් කෙරිණ. ක්‍රීඩා කලමනාකරුවන්, උපදේශකයන්, පුහුණුකරුවන් සහ ප්‍රවීණ ක්‍රීඩකයින් සඳහා මනෝවිද්‍යා සායන පිළිබඳව නිර්දේශ කිරීම කෙරිණ.
  • වර්ෂ 1965  – ඉතාලියෙහි ක්‍රීඩා මනෝවිද්‍යාව පිළිබඳ ප්‍රථම ලෝක සමුළුව පැවැත්විණි. ඒ සඳහා රටවල් ගණනාවක වෘත්තිකයින් 450 ක් පමණ සහභාගී වී ඇත. මෙය අන්තර්ජාතික ක්‍රීඩා මනෝවිද්‍යාව පිළිබඳ සංගමය බිහිවීමට හේතු විය.
  • වර්ෂ 1973 – තෙවන ක්‍රීඩා මනෝවිද්‍යා සමුළුව පැවැත්විණි. මෙය ක්‍රීඩා මනෝවිද්‍යා සංවිධානයට පදනම් සපයන ලදි.
  • වර්ෂ 1968 –  ක්‍රීඩා මනෝවිද්‍යාව පිළිබඳව යුරෝපා සන්ධානය
  • වර්ෂ 1977 – මනෝචාලක ඉගෙනුම හා ක්‍රීඩා මනෝවිද්‍යාව සඳහා වන් කැනේඩියානු සංගමය
  • වර්ෂ 1985 – ව්‍යවහාරික ක්‍රීඩා මනෝවිද්‍යා අභිවර්ධන සංගමය
  • වර්ෂ 2007 ව්‍යවහාරික ක්‍රීඩා මනෝවිද්‍යා සංගමය පිහිටුවීම සිදු විය.

පාරිසරික මනෝවිද්‍යාව

පරිසර මනෝවිද්‍යාවෙහි ඓතිහාසික වර්ධනය අධ්‍යයනය කිරීමේදී විලී හෙල්පෑච් වැදගත් වන අතර ඔහු විසින් පරිසර මනෝවිද්‍යාව යන යෙදුම පළමුවරට යොදන ලදි.  මොහු හිරු හා සදු මානව ක්‍රියාකාරිත්වය සඳහා බලපාන ආකාරය එහි වර්ණය සහ හැඩයෙහි බලපෑම පිළිබඳව සාකච්ඡා කරන ලදි. පරිසර විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් නිර්මාණය කළ ලොව ප්‍රථම ආයතනය එක්සත් රාජධානියේ සරේ විශ්වවිද්‍යාලය යි. වර්ෂ 1973 පරිසර විද්‍යාපති උපාධිය දක්වා මෙම් ක්ෂේත්‍රය වර්ධනය වේ. එමෙන් ම මුල් කාලීන පරිසර මනෝවිද්‍යාඥයන් විද්‍යාගාර වලින් පිටත අධ්‍යයන සිදු කර ඇති අතර නූතන පරිසර මනෝවිද්‍යා දැනුම ලෙස ගෘහ නිර්මාණශිල්පය සහ සැලසුම්, රූපවාහිනී වැඩසටහන් යනාදිය ව්‍යවහාර කෙරේ.

අධිකරණ මනෝවිද්‍යාව

අධිකරණ මනෝවිද්‍යාවෙහි ඓතිහාසික විකාශය පිළිබඳව විමසා බැලීමේදී ජේ මැකීන් කැටල් වැදගත් වේ. මොහු කොලොම්බියා විශ්වවිද්‍යාලයෙහි සිසුන් යොදාගෙන සාක්ෂි පිළිබඳ මනෝවිද්‍යාව සම්බන්ධ පර්යේෂණ සිදු කරන්නට විය. තව ද ඇල්ෆ්‍රඞ් බීනේ ගේ නීතිය සහ අපරාධ අධිකරණය පිළිබඳ සම්පරීක්ෂණත් බුද්ධි පරීක්ෂණයත් විශාල පිටිවහලක් විය.

මීට අමතරව පෞරුෂය, යෝග්‍යතාවය සහ කාර්යඵලය වැනි මනෝවිද්‍යාත්මක විචල්‍යයන් පිළිබඳව විවිධ ඇගයුම් හා මිනුම්දඩු යනාදිය ද මනෝමිතිකයන් ද ව්‍යවහාරික් මනෝවිද්‍යාවට ම අයත් කොටසකි.

නිදසුන් :

  • ආවේගශීලීත්වය පිළිබඳ ගතිලක්ෂණ / කාංසාව පිළිබඳ ගතිලක්ෂණ
  • කාර්යාලයයීය ආකෘතියක් තුළ පීඩනය ඇති කරන සාධක
  • අපරාධ බහුල වටපිටාවක දෛනිකව ජීවත් වනවිට ඇති කරන බලපෑම

මේ ආකාරයට සමාජ, දේශපාලන, ආර්ථික තත්වයන් හේතුවෙන් සිදු වූ සොයාගැනීම් සහ පර්යේෂණ වලින් අහඹු ලෙස ලැබුණි ප්‍රතිඵල බහුවිධ ඩභාවිතයන් ලෙස ව්‍යවහාරික මනෝවිද්‍යාව තුළ යොදාගනු ලැබේ. එමෙන් ම ව්‍යවහාරික මනෝවිද්‍යාවේ අනෙකුත් ක්ෂේත්‍රයන් වන පාරිභෝගික මනෝවිද්‍යාව, ප්‍රජා මනෝවිද්‍යාව, පාසල් මනෝවිද්‍යාව  යනාදි තවත් විෂය ක්ෂේත්‍ර රැසක් මෙයට අයත් වේ.

ආශ්‍රිත ග්‍රන්ථ

  1. Definition of Applied Psychology, Retrieved 25 July 2016 from http://www.vocabulary.com
  2. Definition of Applied Psychology, Retrieved 25 July 2016 from http://www.oxforddictionary.com
  3. Carpintero, Helio, (2015). History of Applied Psychology, Retrieved 28 July 2016 from http://en.wikipedia.org
  4. History of Applied Psychology: IAAP Division 18, Retrieved 28 July 2016 from http://www.apa.org
Wasana Fernando

U. Wasana Lakshanthi Fernando Assistant Lecturer in Psychology, University of Kelaniya who is a former student of Samudradevi Balika Vidyalaya, completed all course units with a second class [Upper Division] Honors and with a GPA of 3.83.  She is following Advance Diploma in Psychotherapy and had followed a Diploma in Counselling Psychology in Mental Health Foundation,  Sri Lanka. ​

ව්‍යවහාරික මනෝවිද්‍යාවේ ඉතිහාසය හා විකාශනය පිළිබඳ විමසුමක්
Comments

ප්‍රසිද්ධ ලිපි

AdvertisementCloudways Managed hosting
To Top