මා මේ සටහන තැබීමට පාදක වූයේ වසර කිහිපයකට ඉහතදී සහභාගී වූ නායකත්ව පුහුණුව තුල පැවැත්වූ විවාදය “කලාව” පදනම් කරගෙන මාතෘකා කොට ගෙන තිබූ හෙයිනි….​
“නූතන කලාව පුද්ගලයාගේ රසවින්දනය හීන කරයි”…මාතෘකාව වුයේ එයයි….මෙහිදී නූතන කලාව යනු කුමක්ද?සරලව ගත්කල අපට සිතෙන්නේ මෑතකදී අලුත් පරම්පරාවේ ජනිත වූ ගීත සමුදායය…නමුත් එහි බැරෑරුම් තේරුමක් ඇත….නූතනය යනු සාපේක්ෂ දෙයකි…..නාඩගම් සම්ප්‍රදායට සාපේක්ෂව නූර්ති කලාව එදා නූතන කලාවකි….එසේද සිතිය හැකිය……කෙසේ වුවද කලාව යනු කලාවමය…කලාව තුල පුද්ගලයගේ රසවින්දනය හීන නොවිය යුතුය…කලාව යනු ආනන්දයෙන් ප්‍රඥාව කරා මෙහෙයවන යම් දෙයක් ලෙස දැකිය හැකිය…. මිනිසාගේ හදවතෙහි ඉපිදෙන්නා වූ හැගීම් සමුදාය නිර්මාණශීලීව ඉදිරිපත් කිරීම කලාව ලෙස අර්ථ දැක්විය හැකිය…. සියලුම දේ කලාවක් ලෙස කෙනෙක්ට පෙනිය හැකිය..එසේ සිතුවහොත් ජීවත් වීමත් එක්තරා කලාවකි…නමුත් කලාව තුල නිර්මාණශීලීත්වය ගැබ් වී තිබිය යුතුය…නො එසේ නම් එමගින් ප්‍රඥාව කරා අප මෙහෙයවන්නේ දැයි සැක පහල වෙයි….. කලා කෘති දෙකක් සංසන්දනය කිරීම විහිලුවකි…..නමුත් එම කලා කෘති වල වටිනාකම බොහෝ සෙයින් වෙනස් විය හැකිය….වික්ටර් රත්නායකයන් ගායනා කරන ආදරයේ උල්පත වූ අම්මා ගීතය ශ්‍රේෂ්ඨ මවු ගුණ ගීතයකි….තවද සංගීත් විජේසූරිය මහතා ගායනා කරන ගායෙන් මං මුදවලා ගීතයද මවු ගුණ ගීතයකි…. මේ ගීත දෙකින් වඩාත් හොඳ ගීතය කුමක්ද කියා මම ඔබෙන් ඇසුවහොත් නිසැකවම ඔබ දෙන පිලිතුර ආදරයේ උල්පත වු අම්මා ගීතයයි…. මෙසේ ගීත දෙක සංසන්දනය කිරීම විහිලුවක් යැයි මට සිතේ…මන්ද කිවහොත් එම ගීතයේ පද රචකයන් දෙදෙනා වෙනස් සිතුම් පතුම් සමුදායන්ගෙන් යුක්ත පුද්ගලයන් දෙදෙනෙකු වන හෙයිනි…මේ නිස කලා කෘතින් දෙකක් සංසන්දනය කිරීම එතරම්ම ප්‍රායෝගික නැත..නමුත් මේ ගීත දෙකේම යම් රසවින්දනයක් ජනිත කරයි….එසේ නොවේ නම් එය කලාවක් නොවනු ඇත. නමුත් කලා මාධ්‍යක නිර්මාණශීලිත්වය ගැබ් වී තිබීම එක් කලා කෘතියකට වඩා අනෙකේ හාත්පසින්ම වෙනස් විය හැකිය…කෙසේ වුවද මෙම නිර්මාණශීලිත්වයද සාපේක්ෂ දෙයකි….නමුත් එය මිනුම් කිරීමට සාධක එමට තිබේ…

ප්‍රතිභාපූර්ණත්වය, ප්‍රබල පරිකල්පන මහිමය ව්‍යංගාර්ථය, විචිත්‍රභාණී හැකියාව, එලිවැට මේ ආදී කරුණු වඩාත් සාර්ථක කලා නිර්මාණයකට මග පාදනු ඇත…. එසේ නම් මෙකී නිර්මාණශීලීත්වය තුල රසවින්දනය ගැබ් වන්නේ කෙසේදැයි මතුවන තවත් ගැටලුවකි… මට සිතෙන ආකාරයට රසවින්දනය යනු ඕනෑම නිර්මාණයක් දෙස බැලීමේදී මිනිස් චිත්ත සන්තානයේ ඇතිවන භාව්‍යමය හැගීමයි… මෙකී භාව්‍යමය හැගීම් ජනිත කිරීමට තුඩු දෙන්නේ විවිධ රසයි….. ශෘංගාර රසය,වීර රසය, භක්ති රසය, ශාන්ත රසය ඉන් කිහිපයකි…මෙකී රස වර්ග ප්‍රතිභාව තුලින්, පරිකල්පනය තුලින්, විචිත්‍රභාණීහැකියාව තුලින් ප්‍රේක්ෂකයා වෙත අලංකාරවත් තනු නිර්මාණ සමගින් ලබා දීම තුල වඩාත් අරුත්බර ගීතයක් ජනිත වේ…… වර්තමාන පරම්පරාවේ ගීත තුල මේවා නැත්තෙම නොවේ…..රුවන් හෙට්ටිආරච්චි මහතා ගායනා කරන සීත මාරුතේ ගීතය තුල මෙකී සාධක ඇත….නව පරපුරේ බොහෝ ගීත හරසුන් බව කිව යුතුය..නමුත් හොඳ නිර්මාණ නැත්තේම නොවේ….. කෙසේ වෙතත් මා හට පවසන්නට අවශ්‍ය වූයේ කලාවට රසවින්දනය අඩු කිරීමට හැකියාවක් නොමැති බවයි….එය තුල යම් රසවින්දනයක් ජනිත කරවනවා විනා තියන රසවින්දනය හූරා කෑමට සමත් වන්නේ නම් එය කලාවක් නොවේ….. මෙකී කලාව ඉදිරිපත් කරන ක්‍රමවේදය නූතන විය හැකිය…එමගින් රසවින්දනය හීන වීමකට ලක්වේ….උදාහරණයක් ලෙස ගීතයකට රූප රචනයක් යෙදීම තුල එහි රසවින්දනය බාල කරයි….සිතීමේ ඉඩ අහුරයි….. යම් කෘතියක් අලලා චිත්‍රපට නිෂ්පාදනයද එසේමය….. මේ නිසා රසවින්දනය හීන වේ…

කලාව යනු රසවින්දනය හීන කරන මාධ්‍යයක් නම් නොවේ…මා හට පැවසීමට වුවමනා වුයේ එයයි.. වර්තමානය වන විට බොහෝ ගීත රචනා නොයෙක් ආකාරයන්ගෙන් අප සවනට ගලා එයි.නමුත් එකී ගීත රචනා කෙතරම් දුරට ශ්‍රාවකයන්ගේ සිත් බිත් ඇද ගනීද යන්න පුදුමයට කාරණාවකි.

මාගේ සිතට නැගෙන බැරෑරුම් ප්‍රශ්නයක් ඇත.අතීතයේ නිර්මාණය වූ ගීත බොහෝ ලෙස ශ්‍රාවකයාගේ සිත් සතන් ඇදගැනීමටත්, වර්තමානයේ ඇසෙන ගීත බොහෝමයක් එසේ නොවීමටත් හේතුව කුමක්ද යැයි විටෙක මම තදින් කල්පනා කළෙමි…

බොහෝ වේලාවක් කල්පනා කිරීමෙන් මා නිවැරදි පිලිතුර සොයා ගන්නා ලදී යැයි මට සිතේ..වර්තමානයේ භාෂා හැකියාවෙන් අනූන වූත් පරිපුර්ණ වූත් බොහෝ කලා කරුවන් දක්නට ලැබේ. නමුත් ඔවුන්ගේ නිර්මාණ වල අව්‍යාජත්වය කෙරෙහි, කලා නිර්මාණ වලට බලපෑ පාරිසරික පසුබිම ප්‍රධාන මෙන්ම වැදගත්ම සාධකය වී ඇතැයි මට සිතේ. වර්තමානයේ නිර්මාණය වන ගීත හා අනෙකුත් සියලුම කලාකෘති සදහා පාදක කර ගන්නා ප්‍රස්තූත කෙතරම් දුරට ගීත රචකයාගේ හෝ එකී කලා නිර්මාපකයාගේ ජීවිතය හා සමීපදැයි වඩාත් විමර්ශනශීලී ලෙස සලකා බැලිය යුතුය.කොතරම් භාෂාත්මක හැකියාවක් තිබුනද ජීවන අත්දැකීම් වල මද කම තම නිර්මාණ වල අසාර්ථකත්වයට බලපායි.මා හට දැන් අපූරු ගීතයක් මතකයට නැගේ. ප්‍රවීණ සාහිත්‍යධර රත්න ශ්‍රී විජේසිංහයන් හට දිනක් අහස දෙස බලා සිටින විට තරු පිරිවරාගත් චන්ද්‍රයා පූර්ණ සොමි ප්‍රභාව විහිදුවමින් අලංකාරවත් ලෙස දිදුලන ආකාරය ඔහුගේ නෙත් ගැටෙයි. ඒ අලංන්කාරය තම දුවා දරුවන්ට පෙන්වීමට ඔහුට සිත්වෙයි..

මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එලියට ආවොතින්
මේ මිහිරි දේවල් නුබටමයි

සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳී වෙලාවයි
මේ පොළොව කොතරම් සුන්දරද
මගෙ දූත් තනියම සිනාසෙයි

මේ පරිසරයේ සුන්දරත්වය ප්‍රායෝගිකව තම දූ දරුවන් හට කියා දෙන රත්න ශ්‍රී කවියා එම පනිවිඩය මුලු මහත් ලක්වාසී සියලුම දූ පුතුන්ට රැගෙන යන අරමුණින් මේ ගීතය පද රචනා කරයි. එපමණක් නොව මේ ලෝකයා විසින් අප හට දායාද කල ඒ සොඳුරු දේවල් අප විසින් රැකගත යුතු බවත් මේ ලෝකයේ ප්‍රගමනය උදෙසා අප විසින් යම් දෙයක් පෙරලා ලෝකයාට සිදු කල යුතු බවත් කවියා ගීතය තුලින් අපට ඒත්තු ගන්වයි. එසේම අප මේ ලෝකයට ආදරේ කළහොත් ලෝකයත් ස්වභාව ධර්මයත් අපට පෙරලා ආදරය කරන බව අවසාන ගී පද පේලි කිහිපය තුලින් පෙන්වා දේ…

ඝන කලුවරට අප පෙම් කලොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපිට
හෙට ලොවට පෙරලා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුලු ලොවම ඔබටත් ආදරෙයි

කරුණාරත්න දිවුල්ගනේ මහතා විසින් ගායනා කරනු ලබන මෙම ගීතයට තනු නිර්මාණය සංගීතවේදී රෝහණ වීරසිංහයන්ගෙනි. මෙම ගීතය රචනා කිරීම සදහා ඉතාමත් සරල බස් වහරක් යොදාගෙන ඇත. කවියකට මෙන්ම ගීතයකටද හොදම වචන හොදම පිලිවෙලට යෙදීම අතිශය වැදගත් වේ. මෙය ඖචිත්‍ය ගුණය හෙවත් ගැලපෙන ගුණය ලෙස හැදින්වේ. හොඳම වචන හොදම පිළිවෙලට යෙදීම ප්‍රකරණය ලෙසද හඳුන්වයි. කවියෙකු හෝ ගී පද රචකයකු ඉතා අසීරුවෙන් කල්පනාකාරීව යොදනු ලබන එකම වචනය වුවද සවන් දෙන්නාට හසු නොවීමට ඉඩ ඇති වාර ගණන එමටය. වඩාත් වැදගත්වන්නේ මේ ගීතය රචනා කිරීමට හේතු පාදක වූ ප්‍රස්තූතය හා පාරිසරික බලපෑම් සලකා බැලීමයි. එය ඉතාමත් සරල කාරණාවක් වුවද ගී පද රචකයා එකී ප්‍රස්තූතය තුල ප්‍රායෝගිකව ජීවත් වේ. එවිට වඩාත් ප්‍රශස්ත නිර්මාණයක් බිහි වේ.

​ වර්තමානයේ මුදල් පසුපස හඹා යන ලෝකයේ, පරිසර සුන්දරත්වය තම දරුවන් සමග රාත්‍රී කාලයේ විදීමට හැකිද යන වග සිතා බැලිය යුතුය. එලෙසින්ම ගීතයක් හෝ කවියක් නිර්මාණය කිරීම සදහා අවශ්‍ය වන නිදහස් චින්තනය හා නිදහස් මනස වර්තමාන කලා කරුවාට ඇත්දැයි සැක පහල වේ. කෙසේ වෙතත් කලාව යනු සාපේක්ෂ දෙයක් ලෙස මම නිරතුරුවම දකිමි. අතීතයේ කලාකරුවන් අතර අනෙකා පරයමින් සමාජයේ ඉස්මතු වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොවීය. නමුත් අද එය ව්‍යාපාරයක් බවට පත්ව ඇත. කලා කෘතියක් නිර්මාණය කරන පුද්ගලයා එකී කලා කෘතියට පාදක කර ගන්නා ප්‍රස්තූතය පිලිබදව ඔහුට හෝ ඇයට කිසිදු ප්‍රායෝගික අත්දැකීම් නැත.

නූතන බොහෝ ගීත නිර්මාණ වල ප්‍රකරණය නැමති මා පෙර සදහන් කල ගුණය අඩංගු නැත. එවිට සාපේක්ෂව උසස් රසවින්දනයකින් යුතු කලා නිර්මාණ බිහි නොවෙතැයි යන්න මාගේ විශ්වාසයයි. ​

වර්තමාන දක්ෂ කලා කරුවනි, ඔබ තාක්ෂණය සමග අත්වැල් බැඳ ගන්නා සේම පරිසරය සමගද ජීවන අත්දැකීම් සමග දමනා කොට අත්වැල් බැඳ ගන්න. එවිට එය ඔබට ප්‍රශස්ත කලා නිර්මාණයකට මග පාදාවි.